Language Switcher

V2025

ගෝඨාට එරෙහි පෙත්සම් විභාගය : නීති ක්ෂේත්‍රයම අවධානයෙන් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද (ඔක්තෝබර් 02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි ලේඛන කිසිවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නෑ !

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ මුල් අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම බරපතළ ලෙස ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් යැයි තීරණයකට පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද සඳහන් කර සිටියේය.

සම්පූර්ණ ලේඛන නැත්නම් නඩුව ගෙනයාම ගෝඨාභයට අගතියක් - රොමේෂ් ද සිල්වා !

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා අනෙකුත් වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට කියා සිටියේය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එයට පිළිතුරු දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බවය.

කෙසේ වෙතත් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නේ, ඒ සඳහා ඔවුන්ට ඉඩ දිය යුතු බව පෙන්වා දෙමිනි.

ගෝඨාභය වෙත ඉදිරිපත් කර ඇති පුරවැසි සහතිකය බල රහිත ලියවිල්ලක් - සුරේන් ප්‍රනාන්දු !

පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ  වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවය.

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව ද නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කරනු ලැබ තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු එය නීති විරෝධී බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සතු බව පවසන ද්විත්ව පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු ගේ තර්කය විණි.

අමාත්‍ය මණ්ඩලය නොතිබූ නිසා ජනාධිපතිට පුළුවන් - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් !

වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයාට පැවරෙන බව සඳහන් කළ අතර අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව කියා සිටියේය.

යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ඔහු සඳහන් කරන්නට යෙදිණි.

මෙම පෙත්සම ගැන වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා හෙට දහවල් 1.30ට එය යළි කැඳවීමට නියමිතය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන් ගේ චෝදනාව වී තිබේ.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවෝ එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති.

ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

විදෙස් ගමන් බලපත්‍රය ගෙන ඇත්තේ අවිධිමත් ලෙස : පුරවැසියකු නොවී ජන්ද හිමි නාමලේඛණයට නම දාගත්තේ කොහොමද ? CID විමර්ශනයක් !

ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය අවිධිමත්ව ලබාගත් බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවට පසුගිය 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණයට කරුණු වාර්තා කළේය.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම ගැනද විමර්ශනයක් සිදුවන බව එහිදී ප්‍රකාශ විය.

මේ අතර සැප්තැම්බර් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් අධිකරණයට දැන්වුයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වාර්තා, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යංශය සතුව නැතැයි තමන්ට දැනුම්දී ඇති බවය. (බීබීසී )

මේ අතර ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සමේ සරල  සාරාංශයක් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් ලෙස යෙදීමට නීතිඥ අථිල අතාවුද කටයුතු කර ඇත.

පහත දැක්වෙන්නේ එම සටහනයි.

ගෝඨාට පුළුවන්ද බැරිද?

(රිට් පෙත්සමේ සඳහන් කරුණු සරළව)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත. 

එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු සැකෙවින් පහත පරිදි පෙළගැස්විය හැකිය:-

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත. 

2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ. 

3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. 

4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ. 

5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි. 

6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ. 

7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී. 

8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගතහැකි හෝ සනාථ කළහැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත. 

9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2005 නොවැම්බර් 23 වැනිදාය. 

10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය. 

11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම්‍ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය. 

12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත. 

13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ  පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. 

14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළයුතු ලේඛන රාශියක් තිබේ. 

15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ. 

16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත. 

17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය. 

18. එපමණක් නොව ඔහු එම ලේඛනය භාවිත කොට පසුව ලියාපදිංචි වූ (ඡන්ද හිමි නාමලේඛනය වැනි) සියල්ලේද වලංගුභාවය ඒ අනුව ප්‍රශ්නගතය. 

19. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ. 

20. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ. 

21. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සදහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැදුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.