විහිළු කරන්න එපා : ජනාධිපතිවරණය තහනම් කරන්න ගිය මෙත්සිරිට දැඩි  අවවාදයක් !

විහිළු කරන්න එපා : ජනාධිපතිවරණය තහනම් කරන්න ගිය මෙත්සිරිට දැඩි  අවවාදයක් !

ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  ( 04) තීන්දු කළේය. 

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව නිකුත් කෙරිණ.

එහිදී  පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා ගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය. 

එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ  පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි. අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මළල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

මෙම පෙත්සම ඊයේ (3) සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටළු සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කළේය.

මෙම පෙත්සමෙන් ලබන 7 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා  තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න