Language Switcher

V2025

සුදුසුම අපේක්ෂකයා ගෝඨා නම් චමල් නිකමෙක්ද ? මංගලගේ අභියෝගය භාරගන්න - විචාරකයන් 

බොහොම පැහැදිලිව රට ගොඩනගන්න,  රට ආරක්ෂා කළ හැකි එය කර පෙන්නු ගෝඨාභය රාජපක්ෂ  අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉදිරිපත් කර තිබෙන බවත්  අපගේ ජයග්‍රහණය බොහොම පැහැදිලි බවත්   විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ  ඒ බව පැවසුවේ අද (06)  හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙසේද පැවසීය.

අද ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා රට විනාශ වෙන්න දෙනවද නැත්නම් අපගේ අනාගත පරපුරට රටක් ඉතිරි කරනවාද කියා. පසුගිය වසර හතර තුළ අපේ සම්පත් ක්‍රමානුකූලව පිටරැටියන්ට විකුණුවා. අපි යුද්ධය අවසන් කර රට ගොඩනැගුවා. ගුවන් තොටුපොළවල් , වරායවල්, අධිවේගී මාර්ග සාදා රටේ වටිනාකම වැඩි කළා. මේ අය බලයට ඇවිත් ඒ සම්පත් ක්‍රමානුකූලව විකුණුවා.

මෙය නතර කළ යුතු කාලය ඇවිත්. මෙම සම්පත් අයිති අනාගත ඉපදෙන දරුවන්ට. නූපන් දරුවන්ට අයත් මෙම සම්පත් වසර පහකට බලයට ඇවිත් විකුණගෙන කන්න කාටවත් අයිතියක් නැහැ. ඔවුන් බලයට ආවේ  පළිගැනීමට පමණයි. දේශපාලන හතුරන්ගෙන් පළිගන්නද අපි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ. ඒත් ඒ ගැන සිතා බලා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරු පත් කර ගැනීම ජනතාවගේ යුතුකමක් "

චමල් නිකමෙක්ද ? විකුණු සම්පත් මොනවද ?

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් ප්‍රශ්න කර සිටින්නේ රට ගොඩනගන සහ ආරක්ෂා කරන එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නම් ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්ෂ පවුලෙන් ඇප මුදල් බැඳ සිටින චමල් රාජපක්ෂ කවුද යන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසිය යුතු බවයි.

සියල්ල කරන්න සිටින එකම අපේක්ෂකයා ගෝඨාභය නම් චමල් රාජපක්ෂ යනු නිකමෙක්ද යන ප්‍රශ්නය මතුවෙන බවත් ඔවුන් සඳහන් කරයි.

එසේම යහපාලන ආණ්ඩුව විසින් රටේ සම්පත් විදේශ වෙත විකුණූ බව පොහොට්ටු පාර්ශවය නිතර කියන නමුත් ඒ මොනවද යන්න නොකියන බවත් එබැවින් හමුදා මූලස්ථානය පැවති ගාලු මුවදොර ඉඩම ෂැන්ග්‍රීලා හෝටලය සඳහා සින්නක්කරව විකිණීමට රාජපක්‍ෂ රෙජීම පාලනය කටයුතු කල ආකාරයට වත්මන් ආණ්ඩුව විකුණා දැමූ රාජ්‍ය හෝ ජාතික සම්පත් මොනවද යන්න නිශ්චිත ලෙස පැවසිය යුතු බවත් දේශපාලන විචාරකයන් සදහන් කරයි.

මංගල සමග විවාදයට යන්න !

එමෙන්ම ආර්ථිකය සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියන කතා සම්බන්ධව විරෝධය දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වන විට ප්‍රසිද්ධ විවාදයකට මහින්ද රාජපක්ෂ වෙත ආරාධනා කර ඇති බවත් විපක්ෂ නායක මහින්ද කියන විකුණා ඇති රාජ්‍ය සම්පත් ගැන ඉතා පැහැදිලිව රට හමුවේ තැබීමට එහිදී මහින්ද රාජපක්ෂ වෙත අවස්ථාව ලැබෙන නිසා ඊට ප්‍රතිචාර දැක්වීම වැදගත් බවත් දේශපාලන විචාරකයන් සදහන් කර සිටියි.

තවද හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර සමග විවාද කිරීමත් එය සියළු මාධ්‍ය හරහා විකාශය කිරීම ගැන මංගල සමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කරන යෝජනාව සාධනීය බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ ඇත්ත නම් වඩාත් සුදුසු ඒ අභියෝගය බාරගැනීම බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.