Language Switcher

V2025

ඇල්පිටියේ ජන්ද අපේක්ෂා : මෙන්න මෙහෙමයි !

මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම මේ වන විට සිදුවෙමින් පවතින අතර උදෑසන සිට ජනතාව ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

මෙවර ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 53384කි.

මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28 කි. එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරා පත් කර ගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ පත් කර ගන්නා සභිකයින් සංඛ්‍යාව 11 දෙනෙකි.

එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඡන්දය සඳහා තරග කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල සීමාව තුළ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව ද වාර්තා වේ.

"ගමට වගේ ම රටට සාධාරණයක් ඉටු කරන අයට අපි ඡන්දය දෙන්න ඕනේ, ඒකට මගේ ඡන්දය භාවිත කළා" තම ඡන්දය භාවිත කිරීමෙන් පසු බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඉරේෂා අංජලී කියා සිටියාය.

"අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා, ගමේ අඩුපාඩු ගොඩක් තියෙනවා. නිවාස ප්‍රශ්නයක් තියෙනවා. රැකියා ගැටලු තියෙනවා. අපි හිතනවා මේවට විසඳුමක් දෙයි කියලා," රෝහිණි කුලසේකර කියා සිටියාය.

 109190523 kushaniniranjala

"රට ගැන හිතන, රටට වැඩක් කරපු කෙනෙක්ට තමයි මම හිතලා ඡන්දය දුන්නේ, ආසාවෙන් බලාගෙන හිටියා මගේ මේ ඡන්දය දෙන්න මොක ද මේක මගේ පළවෙනි එක," තම කුළුදුල් ඡන්දය භාවිත කළ කුෂානි නිරංජලා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 269කදී ඉකුත් සැප්තැම්බර් 27 වන දින පැවැත්විණ.

එදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ඔක්තෝබර් 04 වන දින ඒ ඒ දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබිණ.

සිකුරාදා (ඔක්: 11) සවස 4ට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද ගණන් කිරීම අදාළ ඡන්ද විමසීම සිදුකළ මධ්‍යස්ථානයේදී ම ආරම්භ වන අතර රාත්‍රී 10ට පෙර ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ.

ඡන්දය කල් ගියේ ඇයි?

පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණ.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධයක් මතු විය.

පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත එම පක්ෂයේ නාම යෝජනා පත්‍රය භාර දීම මේ විරෝධතාවට මුල් විය.

ඉදිරිපත් වූ එම විරෝධතාව සලකා බැලීමෙන් පසුව එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් තම නාම යෝජනා පත්‍රය පිළිගන්නා මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව විභාග කර අවසන් වනතුරු ඡන්ද විමසීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ 2018 ජනවාරි 30 වන දිනය.

ඒ අනුව 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්විණි.

මේ අතර පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වන දින මැතිවරණය පැවැත්වීමට කොමිසම දින නියම කළේය.