Language Switcher

V2025

ජාති ආලවක මාධ්‍ය කපුටන් : ලේ සුවඳට ඉව අල්ලයි !

කුණු  මිනි කන්නන්ගේ අඩවියක් වන නෙත් ගුවන් විදුලි නාලිකාවට අයත් ෆේස්බුක් පිටු වන “නෙත් FM හී “නෙත් GOSSIP ” වෙත සබැඳියක් සහිතව  අද උදෑසන සටහන්ව තිබුණේ,  “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද – සිංහල භාෂාව දෙවන තැනට.! ” යනුවෙන්  හෙඩිම යොදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි නාම පුවරුවෙහි ජායාරූපයක් ද සමඟ ලියන ලද ලියවිල්ලකි. එය ඔවුන් අපුරු පුවතක් ලෙසින් හඳුන්වාගෙන තිබුණු බව ඉතා පැහැදිලිය.

72574823 2583294288416118 7923557303490445312 n

ගුවන් තොටුපල නාම පුවරුවේ   පිළිවෙලින් දෙමළ භාෂාවෙන්ද , ඉන්පසු සිංහල භාෂාවෙන්ද , ඉන් අනතුරුව ඉංග්‍රීසි භාෂාවෙන්ද අදාළ නම් සටහන් කිරීම කොට තිබුණි. ඒ අනුව ඒ නාම පුවරුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව මෙරට රාජ්‍ය භාෂා ද්විත්වයම සමඟ සන්ධාන භාෂාවද භාවිතා කොට තිබුණි.

පනින රිලවුන්ට ඉනිමන් බඳින්නට තක්කෙටම දන්නා මේ ජඩ මාධ්‍ය අල්ලන්නේම අමනුෂ්‍ය නිලකි. එසේ නොවේනම් කිසිදු නීතිමය වලංගු භාවයක් හෝ පදනමකින් තොර මේ පුවතින්  හිතාමතාම ජනතාව ගිනියම් කරන්නට තැත් කරන්නේ නැත.

“එම නාම පුවරු වල මෙරට ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසා …” යනුවෙන් නෙත් ගුවන් විදුලිය විසින් අදාළ ලියවිල්ලේ  අවසානයට ලියා තිබේ .

නෙත් ගුවන් විදුලියට අනුව මෙරටේ ‘ප්‍රධාන භාෂාව’ යයි එකක් තිබේ. එහෙත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ , භාෂාව සම්බන්ධයෙන් වන  4 වන පරිච්ජේදයේ 18 වගන්තියේ සිට 25 අ දක්වා දීර්ඝව විස්තර කර  ඇති භාෂා වර්ගීකරණයන් හා භාෂා  ප්‍රතිපත්තීන් ඇසුරෙහි එවන් ප්‍රබේදයක් ඇත්තේ නැත . එහි සඳහන් වන ප්‍රබේද අතර ඇත්තේ “රාජ්‍ය භාෂාව” , “ජාතික භාෂා” , “ පරිපාලන භාෂා” , “නීති පැනවීමේ භාෂාව ” , “අධිකරණයේ භාෂාව” යන ඒවාය.

vi1ඒ අනුව පළමුව නෙත් ගුවන් විදුලි නාලිකාව  තමන් විසින්ම  “ප්‍රධාන භාෂාවක්” ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන පරිච්ජේදයේ  18 වන වගන්තියේ 1 සහ 2 හි සඳහන් වන්නේ මෙසේය.

  • ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල වන්නේ ය . (13 වන ව්‍යවස්ථා සංශෝධනයේ 2 (අ) වැනි වගන්තිය මඟින් (1) වැනි අනු ව්‍යවස්ථාව ලෙස අංක කොට තිබේ).
  • දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව වන්නේය. (13 වන ව්‍යවස්ථා සංශෝධනයේ 2 (ආ ) වැනි වගන්තිය මඟින් එකතු කොට තිබේ).

එසේම “ ජාතික භාෂා” සම්බන්ධයෙන් කියවෙන 19 වන වගන්තියේ ‘සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය’ යනුවෙන් සටහන් කොට තිබේ.

vi2එසේ නම් දැන්  ගැටලුව කුමක්ද ?

සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙසත් ජාතික භාෂා ලෙසත් පිළිගන්නේ නම් මේ නාම පුවරුව සම්බන්ධයෙන් මේ මතු කරන සාවද්‍ය හා කුහක ප්‍රචාරණයේ අරමුණ වෙසෙසින්ම ජනයා නොමඟ යැවීමම නොවේද ?

අනෙක් අතට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක භාෂාව යෙදීමේදී  ප්‍රමුඛතා අනුපිළිවෙලක් ගැන සඳහන් කිරීමක් කොට නැති අතර ඒ සඳහා ආදේශ කර ගත හැකි ප්‍රතිපත්තීන් වටහා  ගැනීමට අවශ්‍ය නම් මෙහිදී කළ හැකිය. 

යාපනය පරිපාලනමය දිස්ත්‍රික්කය ඇතුලුව උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 කි. එනම් මුලතිව්, මන්නාරම, වවුනියා සහ කිලිනොච්චියයි. 2019 ජුලි 7 වන දිනට, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව  එහි ඇස්තමේන්තු ගත මුළු ජනගහනය 1,143,000 කී. එයින් දෙමළ ජාතික පුරවැසියන් ගණන 995,975 ක් එනම් එහි සමස්ත ජනගහනයෙන්  93.8 % කී. එසේම ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් 32,796 ක් ද , සිංහල ජාතිකයින් 31,985 ක් ද එයට අයත්ය.

vi3

ඒ අනුව ප්‍රදේශය තුළ මුලික සන්නිවේදන භාෂාව  දෙමළ භාෂාව බවට පත්වේ.  ඒ අනුව ප්‍රදේශය තුළ ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ කුමන භාෂා  භාවිතයට යන්න අවංකව ඔබට සිතිය හැකිය. එහෙත් මේ  කුහක ජාතිවාදී නරුමයින්ගෙන් මට අහන්නට ඇත්තේ ඔවුන් නිරන්තරයෙන්  මග හැර යන සත්‍යමය. එනම් එය දැන දැනත් මේ ලිපිය පළ කරන්නේ කුමන අරමුණක් සඳහාද යන්නය.

නාම පුවරුවක්  ප්‍රදර්ශනය කිරීමේ අරමුණ කුමක්ද ?

ස්ථානයක් , පුද්ගලයෙක්  හෝ වෙන යම් ඕනෑම දෙයක්   එහි අඩංගු භාෂාවෙන් හෝ වෙනත් සංකේත මඟින් හඳුනා ගැනීමට හා අවබෝධ කරවීමට සැලැස්වීම නාම පුවරුවක්  ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධාන අරමුණක් බව සරලව කිව හැකිය. භාෂාවක් නම් බොහෝ දෙනෙකුට කියවිය හැකි හා අවබෝධ කොට ගත හැකි භාෂා මාධ්‍යකින් පල කිරීම එහි ප්‍රායෝගික අවශ්‍යතාවයකි.  ඒ අනුව ජාතික භාෂා දිවිත්වයද ඇතුලත්ව විශේෂයෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හෙයින් එහි මුලික අත්‍යවශ්‍යතාවයක් වන “ඉංග්‍රීසි” භාෂාව ද  (අප රටේ සන්ධාන භාෂාව) ඉහත නාම පුවරුවට ඇතුලත් කොට තිබේ.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ඉහත 4 වන පරිච්ජේදයේම එන   “පරිපාලන භාෂා” සම්බන්ධයෙන් දැක්වෙන 22 (1) වගන්තිය මේ සන්දර්භය තුළ  අතිශය වැදගත්ය. එහි

“සිංහල හා දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂා විය යුත්තේය.රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු හා නැගෙනහිර පළාත් හැර … ලෙස පහත දැක්වෙන පැහැදිලි අර්ථ දැක්වීම කොට ඇත.

ඒ අනුව යම් භාෂාවක් එම භාෂාව භාවිතා කරන ජන අනුපාතයේ ප්‍රමාණය අනුව එහි පරිපාලන කටයුතු වලට යොදා ගැනීම ප්‍රායෝගික අවශ්‍යතාවක් හා සංවේදීතාවයක් මිස, එයින්  භාෂාවක් තවත් භාෂාවකට පහත් කිරීමක් වන්නේ කෙසේ දැයි යන්න සිහි නුවණින් විමසා බැලිය යුත්තකි.

අනෙක් අතට “ප්‍රධාන භාෂාව” යනුවෙන් භාෂාවක් ලංකාවේ ඇත්තේ නැත. එහි යොදන අනුපිළිවෙල හුදෙක්ම ඉහත කි ලෙසම ප්‍රයෝගික අවශ්‍යතාවයකි. දැන් එක දෙක කොට ඇත්තේ මේ බොරු ජාති ආලවකන් විසින්ම නොවේද?

වඩාම ජුගුප්සා ජනක කරුණ නම් ‘ලෝදිය රත්වෙන්නට හැර පිච්චෙන උන් දැක මේ ජඩ මාධ්‍ය  ගන්නා ආතල් එකය’.

“කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපළේ නාම පුවරු වල ඡායාරූප සමාජජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබුණි. ඒ එම නාම පුවරු වල මෙරට ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසාය”

ලෙස කියමින් නෙත් නම් ගුවන් විදුලි නාලිකාව විසින් දැන් ආශ්වාදනය කරමින් සිටින්නේ ඔවුන්ගේ කුලප්පු කිරීමෙන්  පශ්චාත් භාගය පුලිස්සා ගැනීමෙන් රත්වූ මිනිසුන්ගේ හැඟීම්, දැනීම් කෝපාවිෂ්ඨ කිරීමෙන් ලබන රමනයයේ තෘප්තියය.

දැන් පශ්චාත්භාගය  රත්වීමෙන් දඟලන බොහෝ දෙනා දන්නේ කුණු හරුප කීමට පමණි. සමාජ මාධ්‍ය වේදිකා වල කුණු හරුප ලියන බොහෝ දෙනා ඒ කුණු හරුප වැඩියක්ම ලියන්නේ නොදන්නා කම නිසාය. එක්කෝ එහි බරපතලකම  හෝ හානිය ගැන අවම තක්සේරුවක් වත් නැතිවය.

එහෙත් මාධ්‍යකට එසේ කළ හැකිද ?

වසර තිහක් පුරා මිනිසුන්ට මිනිසුන් මුණ නොගැස්සවූ , මිනිසුන්ට මිනිසුන් අමතක කරවූ, තවමත් හිඩැස් අතරින් ජීවිතය දකින්නට නොහැකිව, කෑලි කැබලි වී ගිය මනුෂ්‍ය ජිවිත හා කඳුළු බොන  මිනිසුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්නට මේ කුහක ජනමාධ්‍යට කළ හැකි ඉහලම වගකීමද මේ?  මොවුන්ට මා  ජාති ආලවක කුණු මාධ්‍ය කාක්කන්  හැර කියන්නට වෙනත් වචනයක් නම්  දන්නේ නැත. ඔවුන් පතුරු වන්නේ කුණු ගඳ මිස අන් කිසිවක්ම නොවේ.

UPDATE : 2018.10.17 -1806h නෙත් FM සංස්කාරක මණ්ඩලය විසින් ඉහත වාර්තා කළ ප්‍රවෘත්තියේ හෙඩිම සහ අන්තර්ගතය වෙනස් කොට ඇති බව නිරීක්ෂණය  කළ හැකි විය .

Ishara 2ඉෂාරා ධනසේකර | Ishara Dansekara