රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ (30) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධියේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවේචනය කරමින් තර්ජනය කිරීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ වෛද්‍ය නවීන් ද සොයිසා විසින් මාධ්‍ය හමුවක් අමතා මැතිවරණ නිරීක්ෂන සංවිධාන නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් කළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත් පවසන ඔහු කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම විසින් පිළිගත් මෙරට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අපක්ෂපාතීව කටයතු කරමින් සිටින බවත් සිහිපත් කරයි.
කිසියම් ආකාරයක මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරිමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව අපක්ෂපාතීව ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසන ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ උත්සවයට එක්වීම පමණක් නොව දිවයින පරා විසිරී සිටින රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සාමාජිකයින් මෙන්ම ආණ්ඩුකාරවරුන් ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද මැතිවරණ වේදිකාවලට එක්වන අවස්ථා පිළිබඳව ද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කටයුතු කර ඇති බවය.
ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා පොදු වන මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් ඉඩදිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහා සිය යෝජනා ලබාදීමට අයිතිය ඇතත් ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උත්සව සඳහා සහභාගි වීමට කිසිදු නෛතික අයිතියක් නැති බව කැෆේ සංවිධානය අවධාරණය කරන අතර රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සූදානම් නොමැති බවත් දන්වයි.

