කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම : සජිත් සමාජ විප්ලවයේ ප්‍රධාන අංගයක් - රනිල් 

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම : සජිත් සමාජ විප්ලවයේ ප්‍රධාන අංගයක් - රනිල් 
දේශපාලන, සමාජයීය, ආර්ථික හා පරිපාලන ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී දායකත්වය ඉහළ නැංවීමටත්, ස්ත්‍රීන් මුහුණ දෙන තවමත් නොවිසඳුණු ගැටළු සඳහා විසඳුම් ලබා දීමටත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ පූර්ණ අවධානය යොමු කර ඇති බවත්, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සජිත්ගේ සමාජ විප්ලවයේ ප්‍රධාන අංගයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසීය.
 
පසුගියදා  බේරුවල හා නුගේගොඩ පැවති ජනාධිපතිවරණ රැළි අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  තව දුරටත් පෙන්වා දුන්නේ, ස්ත්‍රීන්ට අඩන්තේට්ටම් කරද්දී, ස්ත්‍රීන් අවමානයට ලක් කරද්දී ඊට එරෙහිව ආරක්‍ෂක ලේකම්වරයා හැටියට කිසිදු සාධනීය පියවරක් නොගත් ගෝඨාභය රාජපක්‍ෂට ස්ත්‍රීන්ගේ යහපත වෙනුවෙන් කතා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි.
 
මේ ප්‍රචාරක රැළි අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  මෙසේද පැවසීය.
 
 "පළාත් පාලන ආයතනයන්හි ස්ත්‍රී නියෝජනය අප සියයට 25 දක්වා ඉහළ නැංවූවා. ඊළඟ පියවර වශයෙන් පළාත් සභාවල ස්ත්‍රී නියෝජනයත් අප සියයට 25 දක්වා ඉහළ නංවනවා. පළාත් සභා නියෝජිතයන් අතරින් කාන්තා තේරීම් කාරක සභා පිහිටු වනවා.  ඒ විතරක් නෙවෙයි. දැනට සියළු දේශපාලන පක්‍ෂ ද්විතීය මණ්ඩලයක් හෙවත් සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතු බවට එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ ද්විතීය මණ්ඩලයටත් සියයට 25 ක ස්ත්‍රී නියෝජනය අනිවාර්ය කරනවා. මෙමගින් දේශපාලන ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා  කාන්තා නියෝජනය තහවුරු වෙනවා.
 
ස්ත්‍රීන් රටේ බහුතරය වුවත්, ශ්‍රම බලකායේ ස්ත්‍රී නියෝජනය සියයට 37 යි. අප මේ නියෝජනය සියයට 60 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරනවා. සමහර ක්ෂේත්‍රයන්හි තවමත් ස්ත්‍රීන්ට සම වැටුප් නැහැ. මේ තත්වයත් ඉදිරි වසර පහ තුළ අප නැති කර, සම වැටුප් ලබා දෙනවා.
 
ස්ත්‍රීන් එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටළු සඳහා ද විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. කාන්තාවන්ට සනීපාරක්‍ෂක පළඳනා නොමිලේ ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. එය ස්ත්‍රීන් වෙනුවෙන් ගත් විප්ලවීය ප්‍රතිපත්තියක් බව පෙන්වා දෙන්නට කැමතියි.
ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා ලිංගික අපරාධ සම්බන්ධයෙන් ද අප දැඩි පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය නව නීති රීති සම්මත කරගන්නවා. අධිකරණ ක්‍රියා මාර්ග කඩිනම් කර චූදිතයන්ට දැඩි දඬුවම් ලබා දෙනවා.
 
මෙරට ස්ත්‍රීන් වෙනුවෙන් සේවය කළේත්, ඉදිරියට සේවය කරන්නේත් අපියි. ස්ත්‍රීන්ට ගරුත්වය ලබා දුන්නේත්, ඉදිරියට ලබා දෙන්නේත් අපියි. බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දේශපාලන, සමාජයීය, ආර්ථික හා පරිපාලන ක්ෂේත්‍රයන්හි ස්ත්‍රීන්ට ඉදිරියට ඒමේ මග සකසා දෙන්නේ අපියි.
 
ඒ නිසා ලබන නොවැම්බර 16 වෙනිදා හංසයා ලකුණ ඉදිරියෙන් කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් කරගන්නා ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.” 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න