මංගලගෙන් මහින්දට අභියෝගයක් !

මංගලගෙන් මහින්දට අභියෝගයක් !
ජනාධිපතිවරණයක් ආසන්නයේ ජනතාව මුලා නොකර මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා ගිවිසුම හරහා රටට හෝ ජනතාවට හානියක් වෙනවා නම් ඒ කරුණු හෙළිදරව් කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත විවෘත අභියෝගයක් කර ඇත.
 
මෙම විවෘත අභියෝගය ලිපියක් හරහා ප්‍රසිද්ධියට පත්කරන්න අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි 
 
ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරනවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකරහුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටියි.
 
ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලානොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළිකරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරමි.
 
මෙයට පෙර මැතිවරණ සමයකදීද, ඇමරිකන් භීතියක් මවා සීගිරිය, සිංහරාජය හා ගාලු කොටුව ඇමරිකාවට විකිණීමට සූදානමක් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන යන ලදී. එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනතාවට වැටහී ඇතැයි විශ්වාස කරමි.
 
මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ද මෙම මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි අද වනවිට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වේ. කාදිනල්තුමන් මිලේනියම් ගිවිසුමට විරුද්ධයැයි යන පුවත ව්‍යාජ ප්‍රචාරයක් යැයි අගරදගුරු නිවසෙන් නිවේදනය කර තිබේ. ජනපතිවරණයෙන් පරාජය වීම වැළැක්වීම සඳහා ආගමික සිද්ධස්ථානද උපයෝගී කරගනිමින් සත්‍ය විකෘති කර දේශපාලන වාසි ගැනිමේ පහත් මට්ටමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැටී ඇති බව මෙමඟින් මනාව පැහැදිලි වේ.
 
ජනාධිපතිවරණයක් ආසන්නව තිබියදී ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී එය දරාගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්වන අතර, මෙමඟින්ද විපක්ෂය බලාපොරොත්තු වනුයේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීමටය.
 
මෙරටේ ජනාධිපතිවරණය හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකන් පුරවැසියකු ජනාධිපති කිරීමටත් හා ඇමරිකන් පුරවැසියකු ආර්යාව කරවීමටත් උත්සාහ දරන බංකොලොත් දේශපාලනඥයන්ම ඇමරිකන් විරෝධී භීෂණයක් රට තුළ මැවීමට කටයුතු කිරීම හාස්‍ය ජනකයි.
 
MCC  ගිවිසුම පිළිබඳව මුලින්ම සාකච්ඡා වූයේ 2002 වසරේදීය. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 කට සමාන රුපියල් මිලියන 88,000 ක පමණ මුදලක් ලැබෙනු ඇත.
 
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා MCC  පිළිබඳව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇතිකර තිබේ. එසේ වුවද මෙමගින් රටට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රකාශ කර නොමැත. රටට, ජනතාවට සෙතක් සැලසෙන, ආර්ථික ප්‍රතිලාභ ලැබෙන මෙම ගිවිසුම හරහා රටට කිසියම් හෝ අයහපතක් සිදුවන්නේ යැයි පවසන්නේනම් මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණ මවාපාමින් ජනතාව නොරවටා රටට කරුණු පැහැදිලි කරන ලෙසට විපක්ෂ නායකවරයාට අභියෝග කරමි.
 
මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් රටේ ස්වෛරීත්වයට හානියක් වනවායැයි පොදු පෙරමුණට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිල්ලො මවමින් සිටිති. එහෙත්,  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමකට පමණක්  තම චෝදනාව සීමා කර ඇති අතර, ජනතාව තුළ බොරු භීෂණ මැවීමේ වගකීම සැමදා බොරු කියන මන්ත්‍රීවරු දෙපළට භාරදී ඇති බව ඔප්පුවේ.
 
මෙම ගිවිසුම මගින් රටේ ආර්ථික වර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍ය වන ප්‍රවාහන සේවය හා ඉඩම් පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව විසින්ම හඳුනාගෙන යෝජනා කර ගිවිසුමට ඇතුළත් කර තිබේ. මෙහි සඳහන් ඉඩම් ගැටලු විසඳීම තුළින් ලක්ෂ 50 ක් පමණ පුද්ගලයන්හට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු ලබාගත හැකිවන අතර ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70 ක ජනතාවකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.
 
මෙම ගිවිසුමේ ප්‍රථම අදියර යටතේ රටේ දිස්ත්‍රික්ක 07 ක තිබෙන්නා වූ පෞද්ගලික හා රජයේ ඉඩම් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ඉඩම් පිළිබඳ සිතියමක් සකස් කරනු ලබන අතර, එමඟින් රජයේ ඉඩම් පිළිබඳ වෙනමම වට්ටෝරුවක් පවත්වාගෙන යාමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇත.
 
මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියළු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක්ද ලබාදේ.
 
මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වූ සෑම පාර්ශ්වයකටම එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී තිබේ.
 
ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන ඊනියා දේශප්‍රේමීන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල යුතුයැයි අවධාරණය කරමි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න