සජිත්ට සහය දෙන්නේ ඇයි : TNA හේතු පහදයි !

සජිත්ට සහය දෙන්නේ ඇයි : TNA හේතු පහදයි !

2019 ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙන බව දෙමළ ජාතික සන්ධානයට අයත් සියළුම පක්ෂ අද (07) නිවේදනය කළේය. 

පාර්ලිමේන්තුවේ හිමි ආසන ගණන සහ ඡන්ද ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට ගත් තීරණය ගැන හේතු දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. 

පහත දැක්වෙන්නේ එම නිවේදනයෙන් උපුටාගත් කරුණු කිහිපයකි.

  • පත්වන නව ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති, ඒකාධිපතිවාදයට විරුද්ධ අයකු වීම. මූලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවූ අයෙකු වීම. එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි රටක් තුළ සියළු පුරවැසියන්ගේ අනන්‍යතාවය රැකගත් හැකි අයකු වීම සිය පක්ෂයේ සහය දීම සම්බන්ධයෙන් සළකා බැලු මූලික කරුණු කිහිපයක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 
  • නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අතීත ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම අනුව සහ ඔවුන් දෙපළගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සළකා බැලීමෙන් අනතුරුව එම තීරණයට එළඹුණු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අතීත පාලනය පිළිබඳව පවතින්නේ "සෘණ වාර්තාවක්" බව පවසන දෙමළ ජාතික සන්ධානය 17 වැනි සංශෝධනය අහෝසි කිරීම, 18 වැනි සංශෝධනය බලගැන්වීම, ජනාධිපතිවරයා ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීම, අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, හිටපු හමුදාපතිවරයා එල්ලකළ නිස්සාරණය වූ චෝදනා, විරුද්ධවාදීන්ගේ මත නොඉවසා කටයුතු කිරීම එයට උදාහරණ ලෙස දක්වයි.  
  • සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝසප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ් ඝාතන සිදුවීම්ද ගෝඨාභය රාජපක්ෂට සහය නොදැක්වීමට හේතු ලෙස දෙමළ ජාතික සන්ධානය සඳහන් කර තිබේ. සිය සම්පූර්ණ සහය ලබාදී තිබියදී එවකට තිබු රාජපක්ෂ ආණ්ඩුව රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුන් බවද දෙමළ ජාතික සන්ධානය පෙන්වාදෙයි.  
  • ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව සහ ඔවුන්ගේ පසුගිය කාලයේ ක්‍රියා සලකා බැලීමේදී නිවැරදි තීරණය සජිත් ප්‍රේමදාසට සහය ලබාදීම බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
  • ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලන විසඳුමක් එක්සත් නොබෙදුණු බෙදිය නොහැකි රටක් තුළ ලබාදීම, අතුරුදහන්වුවන්ගේ, සිරභාරයේ සිටින්නන්ගේ ගැටළු විසඳීම, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම  සහ පුනුරුත්ථාපානය කිරීම, ශ්‍රී ලංකා රජය විදේශීය සහ දේශීය වශයෙන් සිදුකළ පොරොන්දු ඉටුකිරීම පත්වන නව ජනාධිපතිවරයා නිරාකරණය කළ යුතු ප්‍රශ්න බව ද දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශවයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි ඉරිදා (නොවැම්බර් 03) නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස වෙත සිය සහය ලබා දීම සඳහා "කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ," බවය.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න