එළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත්කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ ගබඩාවල තැන්පත් කර ඇත. මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිත ය.
මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි.
මෙම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයන් වෙත අලෙවි කෙරේ. මේ සඳහා ලංකා සතොස මගින් සහල් සඳහා වන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට නියමිත ය. ඒ අනුව එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරේ.

