Language Switcher

V2025

මාධ්‍ය මර්දනයේ නව රැල්ල : වින්දිතයාව චූදිතයා කිරීමය : මධූකගේ අවනඩුව මෙන්න !

ලේක්හවුස් ආයතනයේ දී පසුගියදා පොහොට්ටු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කිහිපදෙනකු වෙතින් පහරකෑමට ලක්ව මරණ තර්ජන එල්ලවු මාධ්‍යවේදී මධුක තක්සල සම්බන්ධව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් සාවද්‍ය බව වාර්තා වෙයි.

එහිදී අමාත්‍යවරයා මධූක තක්සලගේ සිදුවීම සම්බන්ධව අවධාරණය කළ ආකාරය දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ මේ ආකාරයට ය.

දිනමිණ වාර්තාව මෙන්න !

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට අනිසි බලපෑම් කරන බවට මතයක් සමාජගත කිරීම සඳහා ලේක්හවුස් ආයතනය හැර ගිය පුද්ගලයකු උත්සාහ කරමින් සිටින්නේ යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

අනවසරයෙන් ආයතනයට ඇතුළු වී අප පාක්ෂිකයන් සමඟ ගැටුම් ඇති කර ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම මෙවැනි පුද්ගලයන්ගේ අරමුණ නමුත්, රජය කිසිම විටක දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා වැඩ බාර ගැනීමේ සුබ මොහොතට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්ව ගිය පුද්ගලයකු නැවත ආයතනයට පැමිණ ඒ පුටුවේ වාඩි වී තිබෙනවා. ඉල්ලා අස්ව ගිය කෙනෙක් පැමිණ වාඩි වුණේ ඇයි කියා අනෙකුත් නිලධාරීන් ඔහුගෙන් අසා තිබෙනවා. ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව යන්න කියාත් ඔවුන් කියා තිබෙනවා. ඊට විරුද්ධව කොටුව පොලීසියට ගිහිං පැමිණිල්ලක් ඔහු දමා තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය දී අනවසරයෙන් ආයතනයට ඇතුළුවීමට ඔහුට තිබෙන අයිතිය කුමක්ද? මේවා මාධ්‍යයෙන් ප්‍රචාරය වනුයේ මාධ්‍යවේදීන්ට කරදර කරනවා කියායි. කිසිදු හේතුවක් නිසා දේශපාලන පළිගැනීම් අපි කරන්නේ නැහැ. පසුගිය කාලයේ එවැනි දේ වූ නිසා රට ඉදිරියට යා නොහැකි වුණා. කිසියම් කෙනෙකු වැරැද්දක් කරනවා නම් රටේ නීතියක් තිබෙනවා. ඒ නීතියට අනුව කටයුතු කළ යුතුයි. දේශපාලන වශයෙන් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක කරන්න එපා කියා අපි උපදෙස් ලබා දී තිබෙනවා. එහෙම කරන්න ගියොත් රට අස්ථාවර වෙනවා. ආයතනවල රාජකාරිය දේශපාලනයෙන් තොරව කළ යුතුයි. රැස පුවත්පත සම්බන්ධයෙන් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා මට කතා කළා. අනවසරයෙන් ඇතුළු වීමක් වෙලා තිබෙන්නේ එයට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතුයි කියා ඔහු පැවැසුවා. ලේක්හවුස් එකේ සේවකයන් පස් දෙනෙක් මේ වන විට පොලීසියට කැඳවා තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි. කිසියම් හේතුවක් නිසා ඔහු ඉල්ලා අස් වුණා. නැවත ආයතනයට ඇතුළු වුණේ කුමන හෝ ගැටලුවක් ඇති කරගෙන අපේ පාක්ෂිකයන් සමඟ ගැටෙන්නයි. මෙවැනි අවස්ථාවල දී අපි කල්පනාකාරී විය යුතුයි. නිවැරැදි දේ අපි වාර්තා කළ යුතුයි. මාධ්‍ය ආයතනවලට සභාපතිවරුන් පත් කිරීම සුදුසුකම් අනුව සිදු කරනවා.

මෙම අවස්ථාවට තොරුතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහත්වරු සහභාගී වූහ.

අමාත්‍යවරයා ගේ ප්‍රකාශය ගැන මධූක තක්සලගේ පැහැදිලි කිරීම !

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදී මධූක තක්සල සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

Screenshot 20191214 141740

received 586399895523607

සංස්කාරක සටහන 

දිනමිණ වාර්තාව අනූව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සිදුකර ඇති ප්‍රකාශය අපට අනූව නම් මාධ්‍ය මර්දනයේ නව මාදිලියක් ගැන ඉඟියක් සපයයි. පහත කරුණු අප මතුකර දක්වන්නේ ඒ සම්බන්ධව සමස්ථ ජනතාව දැනුවත් විය යුතු බව විශ්වාස කරන නිසාය.

1. මධූක තක්සල නියමිත ආකාරයට සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති අතර ඊට අදාලව ලේක් හවුස් පාලනාධිකාරිය නිකුත්කර ඇති ලිපිය අනූව ඔහුගේ සේවය අවසන් වන්නේ දෙසැම්බර් 31 වනදා ය.

2. ඒ අනූව ඔහු ලේක් හවුස් ආයතනය වෙත යාමට නීතිමය බාධාවක් නොවන අතර නිවැරැදි නම් ඔහු දෙසැම්බර් 31 වනදා දක්වා සේවයට ද වාර්තා කළ යුතුව ඇත.

3. ඒ අනූව අමාත්‍යවරයා "ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්ව ගිය පුද්ගලයකු නැවත ආයතනයට පැමිණ ඒ පුටුවේ වාඩි වී තිබෙනවා. ඉල්ලා අස්ව ගිය කෙනෙක් පැමිණ වාඩි වුණේ ඇයි කියා අනෙකුත් නිලධාරීන් ඔහුගෙන් අසා තිබෙනවා. ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව යන්න කියාත් ඔවුන් කියා තිබෙනවා. ඊට විරුද්ධව කොටුව පොලීසියට ගිහිං පැමිණිල්ලක් ඔහු දමා තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය දී අනවසරයෙන් ආයතනයට ඇතුළුවීමට ඔහුට තිබෙන අයිතිය කුමක්ද?"

 යනුවෙන් සිදුකරනු ලබන්නේ මුලුමනින්ම ජනතාව නොමග යවන ප්‍රකාශයකි. අවම වශයෙන් දෙසැම්බර් 31වනදා දක්වා සේවයට වාර්තා කිරීමක් අනවශ්‍ය බවත් පාලනාධිකාරිය නිකුත් කළ ලිපියේ සඳහන් වූවා නම් අමාත්‍යවරයා නිවැරැදි විය හැකිය . එහෙත් එම ලිපියේ එවැන්නක් සඳහන් නොවේ.

4. එපමණක් නොව රැකියාවෙන් ඉල්ලා අස්වූ අයෙකු යළි සිය සේවා ස්ථානය වෙත පැමිණ ඇත්නම් සහ එහි නෛතික වරදක් හෝ ආයතනය වෙත ප්‍රශ්නයක් තිබුණා නම් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගතයුතුව ඇත්තේ ආයතන ආරක්ෂක අංශ සහ පාලනාධිකාරිය මිස දේශපාලන හෙංචයියලා නොවේ. 

5. අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයේ මෙසේද දැක්වෙයි.

රැස පුවත්පත සම්බන්ධයෙන් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා මට කතා කළා. අනවසරයෙන් ඇතුළු වීමක් වෙලා තිබෙන්නේ එයට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතුයි කියා ඔහු පැවැසුවා. ලේක්හවුස් එකේ සේවකයන් පස් දෙනෙක් මේ වන විට පොලීසියට කැඳවා තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි. කිසියම් හේතුවක් නිසා ඔහු ඉල්ලා අස් වුණා. නැවත ආයතනයට ඇතුළු වුණේ කුමන හෝ ගැටලුවක් ඇති කරගෙන අපේ පාක්ෂිකයන් සමඟ ගැටෙන්නයි.

අමාත්‍යවරයා සිය දේශපාලන හෙංචයියලා රැකීමට කොතරම් දුරදිග ගොස් තිබෙනවාද යන්න එයින් ඉතා පැහැදිලිව ඔප්පු වෙයි.

කිසිම අවස්ථාවක මධූක තක්සල මාධ්‍යවේදියා ලේක් හවුස් ආයතනය වෙත ඇතුල්වී ඇත්තේ අනවසර ලෙස යැයි ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නොමැතිව අමාත්‍යවරයා මේ කියන්නේ සිය දේශපාලන හෙංචයියන් යනු විරුද්ධ මත දරණ අයෙකු දුටුවිට දරාගත නොහැකි අශිෂ්ටයන් පිරිසක් බව වියයුතුය.

නැත්නම් ඉල්ලා අස්වීමට ලිපිය දුන් නමුත් තවත් මාස භාගයකට අධික කාලයක් සේවය කිරීමට සිදුව ඇති සහෝදර මාධ්‍යවේදියකු දුටුවිට ගැටෙන්න යන්නේ කුමකටදැයි පැහැදිලි නැත. එසේම පසුගිය වසර 5ක කාලය තුළ ලේක් හවුස් ආයතනය තුළ මෙවැනි සිදුවීම් සම්බන්ධව වාර්තා වී නැති බවත් පැවසිය යුතුය.

6. වඩාත් කණගාටුව දනවන සිදුවීම සහ අනාගත අවාසනාවක පෙරනිමිත්තක් වන්නේ කොටුව පොලිස් ස්ථානාධිපති උපුටා දක්වමින් අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශයයි. ඉහත දක්වා ඇති ආකාරයට " අනවසර ඇතුළු වීමක් වෙලා ඇති බවත් ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමක් සිදුකරන බව " ස්ථානාධිපතිවරයා අමාත්‍යවරයා වෙත දන්වා ඇත. 

එහෙත් ඒ කියන අනවසර ඇතුලුවීම කුමක්ද යන්න ස්ථානාධිපති හෝ අමාත්‍යවරයා කියන්නේ නැත. මේ නම් කවර යුක්තියක්ද? අනවසර ඇතුලුවීමක් සිදුව නැති පසුබිමක වින්දිතයා චූදිතයා කිරීමට අමාත්‍යවරයා සූක්ෂ්මව ක්‍රියාකර ඇති බව මෙහිදී අමුතුවෙන් කිවයුතු නැත.

7. ඒ අනූව ආණ්ඩුව පොදුවේ මාධ්‍යවේදීන් වෙත මේ හරහා එවා ඇති පණිවිඩය පැහැදිලිය. ඒ , ඔබ ආණ්ඩුව විවේචනය කළ යුතු නැත. අතීතයේ හෝ ඔබ වත්මන් ආණ්ඩුවේ පිරිස් විවේචනය කර ඊට අදාල ලෙස මාධ්‍ය හසුරුවා ඇත්නම් මරණ තර්ජන , පහරදීම් ලැබීමට ඔබ සුදුස්සෙකු වෙයි. ඊට අදාලව සාමාන්‍ය පුරවැසියකු ලෙස හෝ ආරක්ෂාව , යුක්තිය පැතීමට ඔබ නුසුදුස්සෙකු වන අතර ඔබ වින්දිතයා වුවත් ඔබ චූදිතයෙකු කිරීමට සියළු ආයතන වගබලා ගනියි.