එජාපයේ අනාගතයට සජිත් පෑහේද ?

එජාපයේ අනාගතයට සජිත් පෑහේද ?

ගිය සතිය ආරම්භයේ සජිත් පේ‍්‍රමදාස  විපක්‍ෂ නායක කමට දත කට මදිමින්  සිටියේය. එජාපය විපක්‍ෂ නායකත්වයට නම් කළ පසුව, තනතුරේ පහසුකම් දුන්නේ් නැතැයි තිස්ස අත්තනායක, ලවා සිරස හරහා  කතානායකට  අවලාද නැගීය.  පාර්ලිමේන්තුව රැස්වූ දවසට  තවත් නමක් යෝජනා වුණොත්.....? ඔහුගේ තදියම  එසේ තිබියේවා. විපක්‍ෂ නායට නම් කළ පුවත ඇසූ බොහෝ දෙනා සජිත් හමුවිය. ඒ සුබ පැතීමට නොවේ. දැන්වත් කලබල නොකර ඉවසිල්ලේන් සිටින්නැයි  කියන්නට ය. ඒ අවවාද නෑසූ කනින් සිටි සජිත් තමන්ට  ඡුන්දෙට කෝටි ගණනක් වැයවූ  කියා තිබේ.  පක්‍ෂ නායකත්වය ඉල්ලන්නේ ඒ හිලව්වටද කියා පැමිණි සිටි කෙනෙකු අසා ඇත. මේ සල්ලි කතාව මැතිවරණය අතරද අසන්ට ලැබිණ. වොක්ෂෝල්  වීදියේදි ඉල්ලූවේ සහාය නොවේ. ඡුන්ද  නෙවේ. සල්ලි ය. ඒ කතාව ඇසූ දෙවැන්නා පෙරළා කියා  ඇත්තේ කපා ගත්තා නම් කර තියා ගන්න කියාය. එය අපේක්‍ෂකත්වය බලෙන් උදුරා ගැනීම සිහිපත් කිරීමකි.  

අපේක්‍ෂකත්වය ලබා ගත්තේ බලෙනි.  සටන කළේ තනියමය. තම පක්‍ෂය ගැන, එහි අතීතය ගැන ආණ්ඩුව කළ යහපත් දේ  ප‍්‍රතිවාදියා විවේචනය කිරිම ආදි කළ යුතු කිසිවක් සජිත් කළේ නැත. යටත් පිරිසෙයින් හංසයාට ඡුන්දය දෙන්න කියා හෝ කීමටත් සජිත් අසමත් විය. පැරදුණ වහාම කළේ එජාප නියෝජ්‍ය නායක කමෙන් ඉල්ලා අස්වී තමන් සිවිල් වෙනවා කීමය. නිල ප‍්‍රතිපල ප‍්‍රකාශ කළ මොහොතේ ලංකාවටම ඇහෙන්න ඒ කතාව නැවත කීය. දැන් නායකත්වය ඉල්ලා යාලූ මිත‍්‍රයන් පාරට බස්සවා ඇත. ඡුන්දය තිබුණේ නොවැම්බර්  16 වෙනිදාය. මේ ලියන අද දෙසැම්බර් 08 වෙනිදාය. දින 21ක් ගෙවී ඇත. තමන්ට ඡුන්දය දුන් පනස් තුන් ලක්‍ෂයට ස්තුතියි කියන්නට සජිත් පේ‍්‍රමදාස අසමත් විය.

වයස 60 පැන්න අයට දුන් පත්විම් ගැන ජනාධිපති කොමිෂම සජිත් ගෙන් ප‍්‍රශ්න කළේය. එහිදී ඔහු කීවේ එවැනි නිති රීති ගැන තමන් නො දන්නා බවය.  විධායක ජනාධිපති වී අපේ රට බාර ගන්න හිටියේ මේ පුතානෝය.  ආර්.පේ‍්‍රමදාසගේ රට ප‍්‍රතික්‍ෂේප කළ පුතා දැන් එජාපය ඉල්ලා වැළපෙයි. මේ හැසිරීම පරිනතද? සජිත් වයසින් නම් පරිනත නැත.  බුද්ධි ගෝචරද? ශක්තිමත්ද? ඊට උත්තරය මේ වනවිට රටම දනිති. මැතිවරණයෙන් පසුව සජිත් ඇඳ තෙමා ගත් නොමේරු ළදරුවකු සේ  හැසිරෙමින් සිටියි.  රනිල් වික‍්‍රමසිංහ 25 වසරක් ඇද වැටුණ එජාපය සජිත්ට බාර දීමට කැමති අය අත් එසවිය යුතුවේ.

රාජපක්‍ෂලාට එරෙහිව තෙවන වරටත් තරග කළේ නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙකි. ලකුණ හංසයාය. 2010දී රාජපක්‍ෂලාට එරෙහිව හංසයාගෙන් ආවේ පොන්සේකා ය. 2015දී ආවේ සිරිසේන ය. 2019දී ආවේ සජිත්ය. පොන්සේකා දේශපාලනයට ආවා පමණය. සිරිසේන පැමිණීයේ තම  පිල හතුරු කර ගෙනය. ආධුනික පොන්සේකාට රාජපක්‍ෂලා උපන් හම්බන්තොටින් 31.20%ක් ලැබිණ.  සිරිසේනට රාජපක්‍ෂලා උපන් හම්බන්තොටින්  35.93% ලැබිණ. ජනාධිපති තාත්තාගේ සජිත් පුතාට රාජපක්‍ෂලා උපන්  හම්බන්තොටින් ලැබුණේ 25.85%කි. රනිල් විනාස කළ එජාපය  දෙන්න කියන්නේ මේ සජිත්ටද? 19 වසරක් දේශපාලනය කළ හම්බන්තොටට නායකත්වය දීමට අපොහොසත්වූ සජිත් සියල්ල කළේ හම්පන්තොටටය. තාත්තා කි‍්‍රයාත්මක කළ නිවාස වැඩ සටහන හැර වෙනත් කාලීන දර්ශනයක් හෝ සජිත්ට තිබුණේ නැත.  

රනිල් එපා වූ යුඇන්පී කාරයෝ වසර 15ක් තිස්සේ රනිල්ට යන්න කියති. සජිත් ඉල්ලා පාරේ මැරෙන්න ද`ගලන හරින් ප‍්‍රනාන්දුට  1988දී වයස 10කි. අජිත් පී.පෙරේරාට 1988දී වයස 21කි. සුජිව සේනාසිංහට 1988දී වයස 17කි. හර්ෂ සිල්වාට 1988දී වයස 24කි. මේ කිසිවෙකු 17ක් වසරක් යෝධ ශක්තියෙන් ගම් දනව් සිසාරා ඇවිද ගිය 1977දී පහෙන් තුනක් ලබා ගත් ලි ක්වාන් යූත් මවිත කළ, එජාපය පේ‍්‍ර්මදාස ජනාධිපති වි වසරක් තුළ  දෙකට තුනට කඩා ඉහිර වූ බව නො දන්නවා විය හැකිය. රටේ ජ්‍යෙෂ්ඨ පුර වැසියන් එය දනිති. ලංකාවේ ජනගහනයෙන් බහුතරය වැඩිහිටියන් ය. ජේ. ආර්. ජයවර්ධන නව ඡුන්ද ක‍්‍රමය තුළ ගණන් කරන ඡුන්ද ප‍්‍රමාණය 12.5% ලෙස තැබීය. එය 5% තෙක් අඩු කර පාර්ලිමේන්තු ක‍්‍රමය  අංග විකල කළේ සජිත්ගේ තාත්තා ය. සිරිසේන කුරේලා ඒ.ජේ. රණසිංහලා සොත්ති උපාලි ලා, ළ`ගට ගෙන ගාමිණි දිසානායකලාට ලලිත් ඇතුලත්මුදලිලාට පළා බෙදුවේ සජිත්ගේ තාත්තා ය.  ගාමිණි යනු මහවැලිය පිටුපස සිටි ශක්තිය විය. ලලිත් යනු මහපොල නිර්මාතෘය. සජිත්ගේ තාත්තා හැ¥ ගම්වල මිනිසුන්ට කුලී වාරික ගෙවාගත නොහැකිව උසාවි දක්කති.  මහවැලි ගොවීහූ අදටත් රටට බත් සපයති.  මහපොල දරුවෝ .....?

1988දී එජාපයට ශක්තියක් වූ  ගාමිණිලා ලලිත්ලා එළවා ගත් සජිත්ගේ තාත්තා තම වාසියට නිර්මානය කළ මිනිසා රනිල් වික‍්‍රමසිංහ නොවේද? ගෙවුණ 25 වසර තුළ එජාපයට නායකත්වය දුන්නේ ඔහුය.  2001දී දෝෂාභීයෝග හරහා සරත් නන්ද සිල්වාලා කොටු කළේ නැත. වැටුණේ එජාපය මිස රනිල් සජිත් නොවේ. 2015දී හිරේ යා යුතු වීරවංශලාට ගෝඨාභයලාට අභය සැලසූහ. වැටුණේ එජාපය මිස රනිල් සජිත් නොවේ. තමා පේ‍්‍රමදාසගේ පුතාය කියන හැම විටෙකම එජාප ඉතිහාසය දන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෛරයෙන් දිළිසුනාහ. රටේ ජන ගහනයෙන් බහුතරයක් වූ වැඩිහිටියන්ට මැරෙන්න පෙර නැවත එජාපය දිනනු දැකීමට අයිතියක් නැද්ද?

එජාපයට නායකත්වයක් උවමනාය. එහි විවාදයක් නැත.  2004දී පටන් එජාපය තුළ නායකත්වයට එරෙහිව සටන් ඇවිළිණි. පළමු බෝම්බය ගැසුවේ සජිත් පේ‍්‍රමදාසය. ඉන්පසුව ඔහු කරු ජයසුරිය එජාප නායකත්වයට පත් කිරිමේ ව්‍යාපාරයක් දියත් කළේය. එහි කෙළවර රනිල් නායකයා විය. සජිත් උප නායකයා විය.  ඉන්පසුව සජිත් කලක්  රනිල් වික‍්‍රමසිංහ රකින තැනක සිට වැඩ කළේය. 2010 ජනාධිපති මැතිවරණයෙන් පසු සරත් පොන්සේකා එජාපයට කැඳවා ගැනිමේ මෙහෙයුමක් දියත් විය. එහිදී පොන්සේකා මස් කුට්ටියම හෙවත් නායකත්වයම ඉල්ලා සිටියේය. මෙහිදී  රනිල් විරෝධින් පවා කීවේ, ඡන්දයකින් පරාජය වූ එකෙකුට භාර දීමට තරම් එක්සත් ජාතික පක්‍ෂය බංකොලොත් වී නැති බවය.  සජිත්ට කියන්නට ඇත්තේද ඒ ටිකමය.  සජිත් යනු නිල ප‍්‍රතිපලයටත් පෙර සියල්ල අත හැර කැලෑ වැදුණ බිය ගුල්ලෙකි. ඡන්ද ප‍්‍රතිපල නිකුත්ව දින 20ක්ද  ගත වෙලාය. ඡන්ද දායකයන්ට ස්තුතියක් නොකළ සජිත් අකෘතඥයෙකි. ඔහුට නායකයා කියන්න පුලූවන් කාටද?

ගස් නැති රටේ එරඬු ගසත් ගසක් විය හැකිය. එහෙත් සජිත්ට බාර දෙන තරමට එජාපය අසරණ වෙලා  නැත. කරු ජයසුරිය වනස්පතියකි. ඔහුට තියෙන චෝදනාව 17ක් සමග යාමය. සියල්ල අවසානයේ ආපසු පැමිණි කරු ජයසුරිය එජාපයේ නියෝජ්‍ය නායකත්වයෙන් පුද ලැබීය. ඒ ඔහු උපන් නායකයෙකු නිසාය. පරිනත නිසාය. බුද්ධිමත් නිසාය.

2018 ඔක්තෝබර් කුමන්ත‍්‍රණයේදී කරු ජයසුරිය, පාර්ලිමේන්තුවට දුන් නායකත්වය  රාජපක්‍ෂලාට රනිල්ට තිබුණේ නැත.  ඔක්තෝබර් කුමන්ත‍්‍රණය සිදුවන විට  ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ  කතානායක පුටුවේ සිටියේ කරු ජයසුරිය නොවේ නම් සිදුවන දේ බලා ගන්ට තිබිණ. එදා ඔහුට ශක්තිය දුන්නේ හරින්ද? සජිත්ද? මලික්ද? හර්ෂද? සුජීවද? අජිත්ද?  හෝ රනිල්ද?  ඔහුට තිබුණේ පරිනත බුද්ධිය සහ මුහුකුරා ගිය දැනුම සහ තැම්පත් භාවයයි. හරින් ප‍්‍රනාන්දු කරු ජයසුරියට නාකියා කීවේත්,  සුජීව සේනාසිංහ කොල්ලූපිටිය පන්සලේදී කරු ජයසුරියගේ රෙද්ද ගලවා ගන්ට තැත් කළේත් සජිත් වෙනුවෙනි.  එය වැළකී ගියේ ගිරාඹේ ආනන්ද හාමුදුරුවන් දුන් කනේ පාර නිසාය. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ආර්.පේ‍්‍රමදාස   දිඹුලාගල රැස්වීමකදී ගිවිසුම පට්ට ගසමින්  ඉන්දියාවට අභියෝග කළේය.  මෙය ඇසූ ජේ.ආර්.ජයවර්ධන  සිනාසුණා පමණකි. පසුවදා සෙවන ලොතරැුයි ලිපි ගොනුව ජේ.ආර්.ට භාර දීමට අජන්තා විජේසේනට සිදුවිය.  ඉන් සතියකට පසුව අගමැති ආර්.පේ‍්‍රමදාස 13 සංශෝධනයට අදාල විවාදයේ පිළිතුර කතාව කළේය. පේ‍්‍රමදාසලාට ලජ්ජා නැතිකමෙන් බැබලූණාට අප්ලා පුතාලාට  පිට කොන්දක් මාන්නයක් තිබුණේ  නැත.  යන්ට ගිය එකා ආපසු නායකත්වය හිගන්නේ ඒ නිසාය. අජිත් පෙරේරා කියන්නේ දීර්ඝ විදේශ සංචාරයකට සජිත් සූදානම් වන හෙයින් ඊට පෙර නායකත්වය පැවරිය යුතු බවය. මේ උදාවී ඇත්තේ විදේශ සංචාර කරන මොහොතක්ද?

එළඹෙන මහ මැතිවරණයේදී සජිත්ට  පෑඞ් දෙන්න බැරිය. මාලිගා හිස් කරන්න බැරිය. චෛත්‍ය 20000ක් හදන්න බැරිය. දහම් පාසල් හදන්න බැරිය. සජිත් දෙනවා කී ඒ සියල්ල ලක්‍ෂ නවයක බහුතරයක් විසින් ප‍්‍රතික්‍ෂේප කර හමාරය.  බියෙන් පැන නොයන එකම ලාංකිකයා 2019 නොවැම්බර් 17 රාති‍්‍රයේ කැලේ පැන සැ`ගවිණ.  සත්‍ය ලෙසම එජාපයට මේ ප‍්‍රතිපලය තවත් 1956කි. 1970කි. 1993කි. 56දී  එජාපය 8ට වැටුණ පසුව,  පක්‍ෂ නායක සර් ජෝන් කොතලාවල විදේශ ගතවිය. ආසනයද අහිමි ජේ.ආර්.ජයවර්ධන  සිය අතින් ලියුම් ලියා ලිපි කවරවල දමා මුද්දර අලවා තැපැල් කර වැඬේ පටන් ගත්තේය. 1957දී එම්.එච්.මොහොමඞ්  ලවා කොළඹ මහ නගර සභාව ද, ඊ.එල්. සේනානායක ලවා මහනුවර මහ නගර සභාව එජාපය කෙළින් කළේය. පසුව ඩඞ්ලිට පක්‍ෂ නායකත්වය භාරදී සිව් වසරකට පසුව 1960 මාර්තුවේ අ`ථ මතින් නැගිට්ටේය. 1970 පරාජය වූ වහා ඩඞ්ලි,  ජේ.ආර්.ව විපක්‍ෂ නායක ලෙස පත් කර වැඬේ පටන් ගත්තේය. 1993 පේ‍්‍රමදාස උකුත් වූ පසුව ජනාධිපතිවූ ඞී.බී.විජේතුංග කීවේ තමා පක්‍ෂයේ නායකයා නොව භාරකාරයා බවය. ඔහු විසිරි සිටි පක්‍ෂය සමගි කර ගෙදර ගියේය. මේත් එවැනි ආතානත්තුවකි. 2018 ඔක්තෝබරයේදී ඒ ඓතිහාසික වගකීම දැරුවේ  එජාපය නියෝජනය කළ කරු ජයසූරිය විසිනි. ඔහුට 2015දී හා 2019දී  පොදු අපේක්‍ෂකම අහිමි විය. කරු ජයසුරිය නම් පැරදුණත්  කැලෑ වදින්නේ නැත. 79 හැවිරිදි කරු ජයසුරිය සජිත් රනිල් දෙදෙනාටම වඩා ජව සම්පන්නය. බල සම්පන්නය. හැදියාවෙන් සිංහලය. හික්මීමෙන් බෞද්ධ ය. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ  ගිහි භාර කාරයාය. 2018 ඔක්තෝබර් 26ට පසුව එක් දිනක් හෝ එජාපය බලයේ සිටියා  නම් ඒ කරු ජයසුරියගේ හයියෙනි.  අප රනිල් වික‍්‍රමසිංහට මෙසේ කියමු.  ඔබ සියල්ල වරද්ද ගත් බව සැබෑය. ඒ සියල්ලේ හිලව්වට සජිත්ගෙන් එජාපය බේරා දෙන්න.  ඒ හොඳටම ඇතිය.

හංසයාට ලැබුණ පනස් තුන් ලක්‍ෂයක් ජනතාව  අදටත් රාජපක්‍ෂලාට එරෙහිව සන්නද්ධ සිටිති. උතුරේ එස්.කේ. සිවාජිලිංගම් 0.09%කටද, නැගනෙහිර හිස්බුල්ලා 0.29%කටද වට්ටවා, දෙමළ මුස්ලිම් ජනතාව දකුණට දිගු කළ සුහදත්වයේ දෑත මෙතෙක් අල්වාගෙන සිටියේ රනිල් වික‍්‍රමසිංහ විසිනි. එය  ගිලිහෙනු නොදී අල්ලා තබා ගැනීම තවදුරටත් අවලාදයක් නොවනු ඇත.  රට බෙදි අවසානය. ඒ නිසාම  එජාපය වඩාත් ශක්තිමත් කළ යුතුවේ. 

 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
2019 දෙසැම්බර් 15 දින අනිද්දා පත‍්‍රයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න