ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂවරුන්ගේ අලුත් ආණ්ඩුව බලයට පත්වීමත් සමග මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දරුණු පළිගැනීමකට ලක්වෙමින් තිබේ.
එසේ පලිගැනීමට ලක්ව සිටින නිලධාරීන් බොහෝ දෙනෙකු රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින් වන අතරම ඔවුන් විදෙස්හි වෘත්තීය අධ්‍යාපනයක් ලැබුවන් වීම විශේෂ කාරණයකි.
නව රජය බලයට පත්වූ වහාම මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගට තනතුරින් ඉවත්වන ලෙස දුන් නියෝගයට අනුව ඔහු සිය ඉල්ලා අස්වීම බාරදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට කටයුතු කර තිබිණ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කීර්තිමත් නිලධාරියකුව සිටි ආචාර්ය සමරතුංග ආර්ථික විද්‍යාව හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විද්වතෙකි.
නව දිල්ලියේ ඉන්ද්‍රප්‍රස්ත්‍රා රාජ්‍ය පරිපාලන ආයතනයෙන් තම ප්‍රථම පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (MBA) පිළිබඳ පශ්චාත් උපාධිය ද අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති (MSc) පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ. 
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධිය ලබා තිබේ.
මොහු වර්ෂ 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීමෙන් පසුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය යටතේ වන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වසර 20ක් පමණ සේවය කර ඇති අතර, එම දෙපාර්තමේන්තුවේ සාර්ව ආර්ථික සැලසුම් අධ්‍යක්ෂ වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
ඉන් පසුව වර්ෂ 2005දී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්විය. වර්ෂ 2007දී වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ඔහු වර්ෂ 2008දී භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට උසස් කරන ලදී.
ඉන් පසුව 2010 වර්ෂයේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වූ ඔහු යහපාලන ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුර බාරගන්නා තෙක් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ද ලෙස කටයුතු කළේය.
මහා භාණ්ඩාගාරයේ දෙවනියා විශ්‍රාම ගැන්වූ හැටි ....
අනතුරුව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කො මිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කර, යලිත් ඔහුව රාජ්‍ය අමාත්‍යංශයක
ලේකම්වරයකු ලෙස සේවයෙන් පහත දැමීමට කටයුතුකර තිබිණ.
ඒ අවස්ථාවේදී ඔහුද සිය ඉල්ලා අස්වීම බාරදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ ඔහුට තවත් වසර දෙකකට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ දී සිටීමට වයස තිබියදීය.
ඒ. ආර්. දේශප්‍රිය රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය.
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී වූවෙකි.
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද කටයුතු කරනු ලැබීය.
රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය, Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිධාරියෙකි
පන්න පන්නා පලිගන්න හැටි මෙන්න...
''රජයේ සේවකයින්ගෙන් පළිගන්නේ නැහැ'' - අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහතිකවේ.
ඉහලින් ලැබුන නියෝගයක් මත යයි කියමින් මෙසේ මුදල් අමාත්‍යංශයේ ඉහලම නිලධාරීන් දෙදෙනා පන්නා ගැනීමෙන් පසු, යහපාලන ආණ්ඩුව සමය තුල මුදල් අමාත්‍යංශයේ පරිපාලන කටයුතු සිදුකළ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පසුපසද එළවීමට පටන්ගෙන ඇත.
ඒ අනුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තුට වහාම වෙනත් අමාත්‍යංශයක් තෝරාගන්නැයි දැනුම් දී ඇති මුදල් අමාත්‍යංශයේ නව ලේකම් එස්.ආර් ආටිගල, නොඑසේනම් පරිපාලන අමාත්‍යංශයේ නිලධාරී සංචිතයට යවන බවට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වූ 'ගම්පෙරළිය' හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපති බාරව ක්‍රියා කලේ ඒ.ආර්. දේශප්‍රිය හා ඒ.එම්.පී.එම්.බී. අතපත්තුය.
නව පාලනයේ පලිගැනීම් එසේ නිමවී නොමැති අතර පහත නම් සඳහන් රජයේ නිලධාරීන්ටද මුදල් අමාත්‍යංශයෙන් ඉවත්වී වෙනත් අමාත්‍යංශ වෙත යන්නයි නියෝගකර ඇත.
ඔවුන් අතරින් එක් නිලධාරිනියක කැඳවා ඇති අමාත්‍යංශ ලේකම්වරයා මින් පසු මුදල් අමාත්‍යංශයේ පස් පාගන්න එන්න එපා යයි තරවටුකර ඇතයි ද වාර්තාවේ.
එසේ වහාම මුදල් අමාත්‍යංශයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති අනෙකුත් රජයේ නිලධාරීන්ගේ නම් පහත පළවේ.
# සරත් නෝනිස් - අධ්‍යක්ෂ ජනරාල්, අයවැය දෙපාර්තමේන්තුව
# සී. ජයසුරිය - අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
# තිලකා ජයසුන්දර - අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
# නූර් රිස්නා - අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව
# තමරා පෙරේරා - අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
# සංජය මුදලිගේ - අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව
# අලි හසන් - අධ්‍යක්ෂ, මුදල් අමාත්‍යංශයේ සන්නිවේදන අංශය
පී.බී. ගේ වැඩක් ද ?
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මෙසේ පලිගැනීමක ලක්ව තිබෙන්නේ, තම රජය විසින් කිසිඳු රජයේ නිලධාරියකු ගෙන් පලි නොගන්න බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව හමුවේ සහතික වෙමින් තිබියදීය.
එහෙයින් මෙම පලිගැනීම් පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය පී.බී. ජයසුන්දරගේ කෙනෙහෙලිකම් මත සිදුවූවක් බවට රාවයක් ද පවතී.
(ලීඩර් )

