සහෝදර භාෂාවන් නොදැන සිටීම ලැජ්ජාවක් - ඩලස්

සහෝදර භාෂාවන් නොදැන සිටීම ලැජ්ජාවක් - ඩලස්

ලෝකයේ දියුණු වූ රටවල එම දියුණුව ලැබීමේ රහස එක් ජාතියක් ලෙස එකට කටයුතු කිරීම බවත්, එහෙත් ශ්‍රී ලංකාව තුළ භාෂා දෙකක් පමණක් තිබියදී වුවද තමන්ගේ සහෝදර භාෂාව කතා කිරීමට බහුතරයකට නොහැකි වී ඇති බවත්අ, එය රටක් වශයෙන් අප ලැජ්ජා වියයුතු තත්වයක් බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එමෙන්ම මේ ලජ්ජාව අප කරා රැගෙන එන්නේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා දෙවන ජාතික භාෂා තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මෙම තත්වය ඉදිරියේදී හෝ නැතිකළ යුතු බවත් ඒ සඳහා රටේ අනාගත පරපුර සහෝදර භාෂාව කතාකළ හැකි සහෝදර ජාතීන් සමග සෘජුව සන්නිවේදනය කළහැකි පරපුරක් බවට පත් කිරීමේ වැදගත්කම ඇමතිවරයා අවධාරණය කරයි. එසේම දරුවන් දක්ෂ දරුවන් හා අදක්ෂ දරුවන් ලෙස වර්ග නොකර සියලු දරුවන් රටට සම්පතක් බවට පත්කර ගැනීම සඳහා කටයුතු කළයුතු බව ද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

සිනමාව, සාහිත්‍යය, කලාව මෙන්ම ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවලදීද භාෂා භාවිතයේදී කවරෙකුට හෝ රිදෙන ආකාරයෙන්, අපහාස වන ආකාරයෙන් භාවිතා නොකිරී‍මේ වැදගත්කම ද ඇමතිවරයා අවධාරණය කරනවා. විශේෂයෙන් සුළු ජාතීන්, අන්‍යාගමිකයන් වැනි වදන් භාවිතය තවදුරටත් සිදු නොවිය යුතු බවයි ඔහු පවසයි.

සිංහල ළමුන් දෙමළ භාෂාව ද දෙමළ ළමුන් සිංහල භාෂාව පිළිබඳව ද විෂය මාලාව යටතේ අවධානය යොමු කරමින් දෙවන භාෂා ඉගෙනුම සඳහා අවකාශ සලසා දෙමින් ඔවුන් අතුරින් දෙවන ජාතික භාෂාව පිළිබඳ විශේෂ දක්ෂතා පෙන්වන දරුවන් ඇගයීම වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියේ මූලික අරමුණයි.

භාෂා භාවිතය හා අවබෝධය, කියවීම, කථික සහ පද්‍ය ගායනා ඉසව් ඔස්සේ තරගකරුවන් ඇගයීමට ලක්කෙරෙන අතර, පාසල්, කලාප, පළාත් මට්ටමෙන් මෙම තරග පවත්වා ජයග්‍රාහී සිසුන් දෙදෙනෙකු බැගින් සමස්ත ලංකා මට්ටමට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ට පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ. ඒ අනුව සිංහල මාධ්‍ය සිසුන් 60 ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 60 ක් සඳහා මෙවර සම්මාන ලබාදීම සිදු කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න