ඉදිරියේදී ලේ හිඟයක් - ලේ දන් දෙන ලෙස ඉල්ලීමක්

ඉදිරියේදී ලේ හිඟයක් - ලේ දන් දෙන ලෙස ඉල්ලීමක්

මාර්තු හා අප්‍රේල් මාසවල ලේ හිගයක් යළිත් ඇතිවිය හැකි තත්ත්වයක් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා ඇත්තේ ලේ දන්දෙන ලෙස පසුගිය ජනවාරි මාසයේ කළ ඉල්ලීමට අනුව ලේ දන්දීමට ජනතාව වැඩිපුර ඉදිරිපත්වුව ද දැන් එය නැවත අඩුවී තිබේ. ඒ මහතා අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත. එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කර තිබේ.

ජනතාව වෙත ඉල්ලීමක්

මේ වන විට රටපුරා පිහිටි රුධිරය රැස්කිරීමේ මධ්‍යස්ථාන 102 ක ලේ එකතු කෙරෙන අතර නිරෝගී ඕනෑම පුද්ගලයකු තමන්ට ළඟම මධ්‍යස්ථානය කරා ගොස් පහසුවෙන් දන්දී ලේ තවත් ජිවිතයක් බේරාගැනීමට හැකියාවක් ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

 ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරි නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුවේ .

වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධවලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබා ගැනේ. නිරෝගී පුද්ගලයකු හට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දිය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් වැනි ලේ වර්ග දුලබ හෙයින් එවැනි ලේ වර්ග හිමි අය වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසා ඇත.

ලේ දන්දීම සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක 15 දෙනෙකු හෝ 20 දෙනෙකු සිටී නම් ජංගම ලේ බැංකුවක් ඔවුන් සිටින ස්ථානයට යැවිය හැකි බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ. ලේ දන්දීම පිළිබඳ ඕනෑම තොරතුරක් +94112369931-4 යන දුරකථන අංකවලින් ලබාගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න