Language Switcher

V2025

ජිනීවා එකඟතා කුණු කූඩයට : ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගනියි !

යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත (CTA - Counter Terrism Act)  ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රීකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

1979 අංක 48 දරන දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA - Prevention of Terrorism Act) අහෝසි කොට  ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ නව නීති පැනවීමේ අරමුණින්, ප්‍රතිත්‍රස්ත පනත (CTA - Counter Terrism Act) නමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර විසිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකළ යුතුබව ජිනිවාහි සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍යෝජනාවලියේදී සඳහන් වී තිබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA):

unnamed

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත බලාත්මක කොට දැනට වසර හතළිහක් ගත වී තිබේ. 

මේ පනතේ තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය නිසාම එයට එරෙහිව මතු වූ විරෝධතා හේතුවෙන් තාවකාලික පනතක් ලෙස ක්‍රියාත්මක වී වසර තුනකට පසු 1982 වර්ෂයේ සිට ස්ථිර නීතියක් බවට පත් විය. (මෙය අනුමත කර ගැනීමට එවක පැවති ආණ්ඩුවට සරල බහුතරයක් නොව තුනෙන් දෙකේ බලයක් තිබිණි.) 

මෙමඟින් සාමාන්‍ය නීතිය ඉක්මවා යමින් පොලිසියට සෝදිසි මෙහෙයුම් සිදු කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට අදාළ විශේෂ බලතල පැවරිණි. කෙසේ නමුත්, මෙම පනත දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගත් බව ඉතා පැහැදිලිව ප්‍රකට කළ කරුණක් විය. 

1983 සිදු වූ ජූලි කලබල මැඬලීමට යොදා නොගත් මෙම මර්දන පනත '87-89 කාලවකවානුවේ ජනතා අරගලය මර්දනය කිරීමට යොදා ගැනීම මීට ඇති හොඳම උදාහරණයකි. ප්‍රතිතිවිරුද්ධ දේශපාලන මතයන් යටපත් කිරීමේ සිට එසේ මතයන් දැරූ පුද්ගලයන් අතුරුදන් කිරීම දක්වා සියලු අනීතික ක්‍රියා සඳහා මෙම පනත යොදා ගනු ලැබී ය. 

අහෝසි කිරීමේ යෝජනාව :

unnamed 1

2001 සැප්තැම්බර් 11 වැනි දින ප්‍රහාරයත් සමඟ එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් ත්‍රස්ත විරෝධී නීතිරීති වඩාත් පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගත්හ.

2001 සැප්තැම්බර් 11 වැනි දින ප්‍රහාරයත් සමඟ එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් ත්‍රස්ත විරෝධී නීතිරීති වඩාත් පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගත්හ. ලෝකයේ සෙසු රටවල් ද මෙවැනි අණපනත් අඩු-වැඩි වශයෙන් ක්‍රියාවට නැංවූහ. 

එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට ඒවා ප්‍රබලව යොදා ගැනිණ. ඒ නිසා ලෝකය පුරා විවිධ කණ්ඩායම් දිගින් දිගටම මෙවැනි මර්දනීය අණපනත් අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රබලව හඬ නැඟූහ. 

ඒ අනුව එක්සත් ජාතීන් 31/1 යෝජනාව සම්මත කළ අතර, එහි සාමාජික රටක් ලෙස ලංකාව එයට එකඟ විය. 

"මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් ඒ වෙනුවට වත්මන් ජාත්‍යන්තර යහ පරිචයන්ට අනුකූල ත්‍රස්ත මර්දන නීති පැනවීමටත් ශ්‍රී ලංකා රජයේ පොරොන්දුව පිළිගනිමු" යන්න එහි සඳහන් විණි. 

මහජන අදහස් නොවිමසා හොර රහසේම....

ඒ අනුව නව පනතක් සකස් කිරීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් පියවර ගනු ලැබී ය. මහජන අදහස් නොවිමසා හොර රහසේම පිළියෙළ වූ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත 2018 සැප්තැම්බර් 14 වන දින ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. 

අනතුරුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඔක්තෝබර් 9 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදී. 

මෙම පනත රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය නොවැම්බර් 14 දින ප්‍රකාශයට පත් කෙරිණි.

 ඒ අනුව වගන්ති හතරක් හැර පනතේ ඉතිරි වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කිරීම ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. (පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් වගන්ති හතරක් අනුමත විය යුතු බව සඳහන් වී ඇත.) 

මර්දන නීති බොහෝ ප්‍රමාණයක් !

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ පසුගිය සමයේ ද මෙම පනත ගැන සාකච්ඡා වෙමින් තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් බරපතල විවේචන ද එල්ලවී තිබිණ. ඒ, දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉක්මවා යන මර්දන නීති බොහෝ ප්‍රමාණයක් නව පනත තුළ අඩංගු වී ඇතැයි චෝදනා කරමිනි.

එවැනි චෝදනා කිහිපයක් මෙසේය.

* ත්‍රස්ත ක්‍රියා ලෙස නම් කළ කරුණු ප්‍රමාණය 20 සිට 50ක් දක්වා ඉහළ නැංවීම

* මෙසේ ත්‍රස්ත ක්‍රියා ලෙස නම් කළ ඒවා නිසි ලෙස නිරවුල්ව අර්ථ දක්වා නොමැති වීම

* යමෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියෙක් සිටිය යුතු බවට තිබූ නීතිය වෙනුවට 'ඕනෑම පොලිස් නිලධාරියකු' ලෙස එය වෙනස් වීම. (උදාහරණයක් ලෙස රථ වාහන අංශයේ නිලධාරියකුට වුව ද පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකි වීම)

* පනතේ 17 වන කොටස අනුව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට පමණක් නොව සන්නද්ධ හමුදාවට ද ලබා දීම.

* අත්අඩංගුවට ගත් කෙනකු පැය 72ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය යන්න දින 14ක් දක්වා දීර්ඝ කිරීම.

* පනතේ පහළොස් වන කොටස අනුව තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බව පවසා කෙනකු ඝාතනය කිරීමට වුව හැකි වීම (නිරායුධ පුද්ගලයකුට එරෙහිව වුව ද එසේ ක්‍රියාත්මක වීමට හැකි වීම උදාහරණයක් ලෙස සාමකාමී උද්ඝෝෂණයක යෙදෙන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම).

* අත්අඩංගුවට පත් වූ අයකුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකොට එය රහසිගත වාර්තාවක් ලෙස සෘජුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ලබා දීම. 

යම් නීති ප්‍රමාණයක් ලිහිල් කරලා !

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව යම් නීති ප්‍රමාණයක් නව පනත තුළ ලිහිල් කර තිබේ. ඉන් කිහිපයක් මෙසේය.

* රඳවා ගැනීමේ කාලය මාස තුන බැගින් වාර 6ක් එනම් මාස 18ක් වෙනුවට මාසය බැගින් වාර 6ක් එනම් මාස 6ක් දක්වා අඩු කිරීම.

* සැකකරුවන්ට නීතිඥයන් සහ පවුලේ ඥාතීන් හමුවීමට හැකි වීම

* රැඳවුම් නියෝග නිර්දේශ කිරීමේ බලය ඇමතිවරයාගෙන් ඉවත් කොට පොලිස් අධිකාරීවරුන්ට පැවරීම

* යම් සැකකරුවකු දින 90කට වඩා රඳවා ගනී නම්, ඒ ගැන ඇමතිවරයාගෙන් කරුණු විමසීමට මහේස්ත්‍රාත්වරයාට බලය හිමි වීම.

(උපුටා ගැනීම් -leftlibrary.net)