ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව ඇතුළු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස විපක්ෂය වෙතින් අද (03) දැඩි බලපෑමක් සිදුකරනු ලැබිණ.
ඒ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේය.
රවී - අජිත් පී. කරපු ඉල්ලීම !
එහිදී 2015 වසරේ සිදුකළ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව එවකට විපක්ෂය වෙතින් දැඩි විවේචනයක් එල්ලවු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් කතානායක කරූ ජයසූරිය වෙත මේ සම්බන්ධව දැඩි අවධාරණයක් සිදුකරනු දක්නට ලැබිණ.
එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ අදාල චෝදනාව විධිමත්ව පරීක්ෂා කළ මෙම වෝහාරික විගණනය හේතුවෙන් වැරැදි සිදුකර ඇත්නම් ඒ කවුද කොහොමද යන්න නිසිලෙස අනාවරණය කෙරෙනු ඇති බවත් එබැවින් මේ වන විට පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙත එවා ඇති අදාල වාර්තාව සභාවට නිකුත්කරන ලෙසය.
මේ සම්බන්ධව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාද අදහස් දැක්වූ අතර එහිදී අවධාරණය වූයේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව ඉතිහාසයත්, එහිදී අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ කවුද යන්න දැනගැනීමට වැදගත් බවයි.
වෝහාරික වාර්තාව කෝප් කාර්‍යාලයෙන් එළියට නොදැම්මේ ඇයි ? සුනිල්
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසා සිටියේ අදාල වෝහාරික විගණන වාර්තාව තමන්ට ලැබුණත් පාර්ලිමේන්තුව කල් තැබීම, වාර්තාව සම්බන්ධව නීතිපති උපදෙස් මත ක්‍රියා කරන ලෙස මහ බැංකුව දන්වා සිටීම සහ මේ වන විට කෝප් කමිටුව අවලංගු වී ඇති බැවින් තමන්ට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට නොහැකිව ඇති බවයි.
එබැවින් සිදුකළ යුතුව ඇත්තේ කඩිනමින් කෝප් කමිටුව පත්කර එහි තීන්දුවක් ගැනීම බවත් ඔහු පැවසීය.
මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණන පරීක්ෂණයක් සිදුකරන ලෙස මීට පෙර කෝප් කමිටුව සහ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබිණ.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණේ 2002 සිට 2015 පෙබරවාරි 28 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර ගනුදෙනු ගැන මෙකී වෝහාරික විගණනය සිදුකළ යුතුව ඇති බවයි.
ලංකා ආණ්ඩුවේ බලපෑමට යටත් නොවන ස්වාධීන අන්තර්ජාතික ආයතනයක සේවය ඊට ගැනීමට යෝජනා වූයේද ඒ අනුව ය.
ඒ අනූව රුපියල් මිලියන 900ක් පමණ වියදමින් මෙකී කටයුත්ත ජාත්‍යන්තර ආයතනයක් වෙතින් සිදුකරනු ලැබිණ.

