Language Switcher

V2025

ආණ්ඩුවට කන පැලෙන උත්තරයක් දීලා - ආණ්ඩුවට ගැහුවේ ආණ්ඩුවේම අය : එජාප ඇමති කට අරී

ලැබෙමින් තිබෙන මැතිවරණ ප්‍රතිඵලය තමන් බලාපොරොත්තුවූ ප්‍රතිඵලයක් බවත් පසුගිය මාස කිහිපය දෙස විමසිල්ලෙන් හැරී බැලීමේදී රටේ ජනාධිපතිවරයාගේ පටන් සියළු දෙනා මෙම මැතිවරණ ප්‍රතිඵලයට වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියි.

පොරොන්දු අමතක කිරීමේ වැරැද්ද

මේ වන විට නිල නොවන අන්දමින් ලැබෙමින් පවතින ජන්ද ප්‍රතිඵල සම්බන්ධව newstube.lk සිදුකළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ සහ එම වසරේ අගෝස්තු මාසයේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට අසමත්වීමද මෙවැනි ප්‍රතිඵලයක් ලබන්නට සිදුවූ බවය.

එසේම පසුගිය මාස කිහිපයක පටන් එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර බරපතල දේශපාලන ප්‍රහාරයක් එල්ලවූ බවත් ඒ හේතුවෙන් තම පක්ෂයේ ජන්ද පදනමට බලපෑමක් වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

දන්න වැඩ සේරම දාලා ජනාධිපතිත් ගැහුවේ ආණ්ඩුවට

එසේම ජනාධිපතිවරයා පවා පසුගිය සමයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ කොහෙත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පෙරටුව තබාගෙන මැතිවරණ සමය ආරම්භ කළ ආකාරයට එක්සත් ජාතික පක්ෂයද ප්‍රතිචාර දැක්වූයේ නම් ජනාධිපතිවරයා ලබන පරාජය මීටත් වඩා වැඩි වීමට තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

තවද තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව පක්ෂයේ නායකයින් හොරු කී විට එහි හානිය සමස්ථ ආණ්ඩුවට බලපාන බවත් කිසිඳු නෛතික වරදක් ඔප්පු නොකර තම පක්ෂයට සිදුකළ හානිය සුළුපටු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

UNP කබලේ : SLFP ලිපේ

එසේම ජනාධිපතිවරයා අසල සිටි ඇතැම් උපදේශකයන් එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති පෞද්ගලික තරහා ජනාධිපතිවරයා හරහා පිරිමහන්නට කටයුතු කළ බවත් බැඳුම්කර ගනුදෙනුව පදනම් කරගෙන ආණ්ඩුව දුර්වල කිරීමේ සැලැස්මක් පැවති බව තම පක්ෂය හැකි සෑම අවස්ථාවකම පෙන්වාදීමට උත්සාහ කළ බවත් අවසානයේ එක්සත් ජාතික පක්ෂය කබලට වැටෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලිපට වැටීමට එම උපදේශකයන් වගකිවයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඉක්මනට තීරණයක් ගන්නවා

කෙසේ වුවත් ඉදිරියේදී බැඳුම්කරය ඇතුළු තම පක්ෂයට එරෙහිව එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ විභාගවීමට සලස්වා නැවත මුලසිට පක්ෂයේ ප්‍රබල ප්‍රතිසංවිධානයක් සිදුවනු ඇති බවත් ඉදිරියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී බරපතල තීන්දු තීරණ කිහිපයක් ගැනීමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.