Language Switcher

V2025

වෝහාරික විගණන වාර්තාව හංගන හේතුව : දිලිත්ගේ පත්තරේ අනාවරණය කරයි !

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) මුදල් කොටස් වෙළඳපොළේ වංචා සහගත ලෙස ආයෝජනය කිරීම නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විශාල පාඩුවක් ඇති බව මහබැංකු බැදුම්කර පිළිබඳව සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාවල (Forensic Audit Report) සඳහන්ව ඇති බවත්, වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව උනන්දුවක් නොදක්වන එක් හේතුවක් වන්නේ එය බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වාර්තාව මාධ්‍යවලට විවෘත කර නොමැති අතර වාර්තාව දැක ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතුන් ඇතුළු  ඉතා සුළුතර පිරිසක් බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට සේවක අර්ථසාධත අරමුදලේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී අඩු කොටස් වටිනාකමක් ඇති සමාගම්වලට මුදල් පොම්ප කර එම සමාලම්වල කොටස්වල අගය කෘත්‍රිමව ඉහළ නංවමින් එම පෞද්ගලික සමාගම්වලට වාසිකායක ලෙස කටයුතු කිරීම එම පාඩු සඳහා හේතු වී තිබේ.

එම ජාවාරම පිළිබඳව මීට පෙර විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ 2012 සහ 2013 වර්ෂවලට අදාල වාර්තා දෙකකින් කරුණු හෙළිදරව් කර තිබුණි. 

'සන්ඩේ මෝනින්' අනාවරණය : ඩොලර් බිලියන  09ක පාඩුවක් !

වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු ලෙස සැලකෙන දිලිත් ජයවීරට අයත් 'සන්ඩේ මෝනින්' පුවත්පතේ ජනවාරි 05 දිනැති කලාපයේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණේ 2010- 2012 කාලසීමාවේදී එම ජාවාරමෙන් වැඩිම පාඩුවක් සිදුව ඇති බව වෝහාරික විගණන වාර්තා අතරින් එකක සඳහන් වන බවයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන  09ක පාඩුවක් එම කාලසීමාවේදී සිදුවි ඇතැයි වාර්තාවේ සඳහන් වන බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.සේවක අත්ථසාධක අරමුදල කොටස් වෙළඳපොලෙහි ආයෝජනවලින් රුපියල් බිලියන 11ක වටිනාකමක් අඩුවී තිබෙන බව විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ 2012 වර්ෂයට අදාල වාර්තාවෙහි සඳහන්ව තිබුණි.

සේවක අර්ථසාධක අරමුදල පෞද්ගලික සමාගම් ගණනාවක අයෝජනය කොට ලාභ ලබා නොමැති බව එම වාර්තාවෙහි සඳහන් කර තිබුණි.ඒ අතර 2010 ජුලි මාසයේදී ගුවන් සමාගමක කරන ලද රුපියල් මිලියන 500ක ආයෝජනයක්, විදුලිබල සමාගමක කරන ලද රුපියල් මිලියන 2975 අයෝජනයක් , මූල්‍ය සමාගමක කර ඇති රුපියල් මිලියන 205 ක ආයෝජනයක් හා සන්නිවේදන සමාගමක කර ඇති රුපියල් මිලියන 680ක ආයෝජනයක් පිළිබඳව එම වාර්තාවෙහි සඳහන් කර තිබේ.

2011 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂයේදී කොටස් වෙළඳපොලේ සමාගම් 11ක සිදුකර තිබුණු රුපියල් මිලියන 3555 ක ආයෝජනයෙන් කිසිදු ආදායමක් ලැබී නොතිබුණු බවද එම විගණකාධිපති වාර්තාවේ සඳහන්ව තිබුණි.

(මූලාශ්‍රය - අනිද්දා )