අලුත් රාජපක්ෂ පාලනයේ දෙමසක  ප්‍රගති වාර්තාව එළියට !

අලුත් රාජපක්ෂ පාලනයේ දෙමසක  ප්‍රගති වාර්තාව එළියට !

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ගතවූ කෙටි කාල පරිච්ඡේදය තුලදී භයංකර ලෙස විරුද්ධවාදීන් බියවැද්දීමේ ක්‍රියාදාමයක් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සමග ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් රැස් කරගෙන ඇති විශ්වසනීය තොරතුරු වලින් හෙළි වෙයි.

“ශ්‍රී ලංකාව - මර්දනය යළිත් ඇරැඹේ” යනුවෙන් එම සංවිධාන දෙක එක්ව නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් මැද බලයට පත්වී දෙමාසයක් ගතවීමටත් පෙරම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධාරීන්, නීතිඥයන්, පැමිණිලිකරුවන්, විද්‍යාර්ථීන් සහ විපක්ෂයේ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුකොට ඇති බියවැද්දීම් සංඛ්‍යාව හැත්තෑවකට ආසන්න ය.

ඇතැම් අවස්ථාවල තර්ජනයන් කොයිතරම් දරුණුද කියතොත් ඒවාට මුහුණ දුන් පුද්ගලයන් රට හැර පලා ගොස් තිබේ.

“අපට මේ දැකගන්නට තිබෙන්නේ වගඋත්තරකාරිත්වය සම්බන්ධයෙන් දැරෙන්නාවූ කවර උත්සාහයක් වුවද සිඳ දැමීමක් සහ වඩාත් දියුණු සහ හිරිහැරකාරී සෝදිසි කිරීම් මගින් ශ්‍රී ලංකාවේ පුරවැසි අවකාශය බරපතල ලෙස හකුලා දැමීමකි,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වැඩි කරන ලද ශ්‍රී ලංකාවට දෙනු ලබන ආරක්ෂක ආධාර මානව හිමිකම් ආරක්ෂකයන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගන්නා බවට ජාත්‍යන්තර ප්‍රජාව සහතික විය යුතු ය.”

ආණ්ඩුව පුරා “අඬුබඬු විහිදුවාලීම”

නව ජනාධිපතිවරයාගේ උපාය වී ඇත්තේ හමුදාවේ මර්මස්ථාන වලට සහ රාජ්‍ය ආයතන වල ප්‍රධාන නිලතලවලට ඔහු කලින් සේවය කළ ගජබා රෙජිමේන්තුවේ හමුදා සගයන් පත් කිරීමත්, සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදුකරන ලද රාජකාරි පවරා ගැනීමත් බව වාර්තාව සඳහන් කරයි.

එය ITJP හා JDS විසින් හඳුන්වා දී ඇත්තේ ආණ්ඩුව පුරා ජනාධිපතිවරයාගේ “අඬුබඬු විහිදුවාලීමක්” ලෙසය. එමගින් පොලිස් සහ බුද්ධි රාජකාරි හමුදාකරණය කොට තිබේ.

දූෂණ වංචා ඇතුළු අතීත අපරාධ විමර්ශනය කරමින් සිටි නිලධාරීන් එම නිලතලවලින් ඉවත් කර ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

යුක්තිය සහ වගවීම පිළිබඳව ලේඛනගත කිරීමෙන් හා වාර්තාකරණයෙන් මානව හිමිකම් ක්‍රියාධාරීන් වැලැක්වීම සඳහා ඔවුන් බිය ගැන්වීම අරමුණු කොටගෙන පොලිසිය, හමුදාව සහ ඔත්තු සේවා විසින් සැලසුම් සහගත මර්දනයක් දියත් කරනු ලබන ආකාරයද වාර්තාවේ දැක් වේ. විපක්ෂයට ආධාර කළ බවට විශ්වාස කෙරෙන සිංහල මාධ්‍යවේදීන්ද මර්දනයට ගොදුරු වී ඇති ආකාරය එහි විස්තර කර තිබේ.

“දුෂණ හෝ යුද අපරාධ වලට හෝ සම්බන්ධ බවට මීට ඉහතදී චෝදනා ලද පුද්ගලයෝ දැන් යලිත් බලය ලබා සිටිති. මෙතෙක් ‘රහස්‍ය රාජ්‍යය' (deep state) ලෙසින් ක්‍රියාත්මක වූ බලවේග දැන් බලතල සහිතවම විවෘතව කලඑළි බැස සිටී,” යි ප්‍රකාශ කළ JDS සංවිධානයේ භාෂණ අබේවර්ධන, එය කලක් හඬක් නැගූ මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා මානව හිමිකම් ක්‍රියාධරයන් නිහැඬියාවක ගිල්වා ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

වාර්තාවේ එන තොරතුරු ගොනු කරගැනීම සඳහා රට තුළ සිටින්නාවූ ක්‍රියාධරයන්ගේ ද සහාය ITJP හා JDS සංවිධානවලට ලැබී ඇත. ආරක්ෂාව තහවුරු කරනු පිණිස ඔවුන්ගේ නම් ගම් හෙළි කිරීමෙන් වැළකී සිටීමට වාර්තාවේ සම්පාදකයන්ට සිදුව තිබේ.

(jdslanka.org)

gr chart big

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න