Language Switcher

V2025

 බැඳුම්කර හොරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි - හඳුන්නෙත්ති 

මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබුවේ අධිකරණ කටයුත්තක් සඳහාමයි. මරණයක් පිළිබඳව සිදුකරන වෝහාරික මරණ පරීක්ෂණයක් වගෙයි. බැඳුම්කර සම්බන්ධ මෙම වෝහාරික විගණන වාර්තාව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සකස් කළ එකක්. 2002 – 2015 දක්වා වූ සුදු කරපටි අපරාධකාරයන් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළ දියුණු, ශක්තිමත් එකක් නොවෙයි. එම මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ 200ක වගේ සුළු පිරිසක්. එයිනුත් මෙම මූල්‍ය වෙළෙඳ පොළ හසුරුවන්නේ අපේ රටේ පවුල් හතරක් පහක් වගේ ඉතාම සුළු කණ්ඩායමක්. ඔවුන් දේශපාලනය, පවුල් පසුබිම, ආගමික පසුබිම, පාසල් පසුබිම හා ඥාතීත්වය අතින් එක කණ්ඩායමක්. ඔවුන්ගේ බල ඒකාධිකාරය තමයි අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළ පාලනය කරන්නේ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා  මේ බව පැවසූවේ (24) බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍යහමුවක් පවත්වමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“අපේ රටේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය පිළිබඳ කොටස් 05කින් සමන්විත වෝහාරික විගණන වාර්තාව හා ඊට අනුබද්ධ ඇමුණුම් සමඟ විෂය බද්ධ සවිස්තරාත්මක අධ්‍යයනයක් කළ යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි වරින් වර ඉදිරිපත් කළ දේශපාලන හරය තමයි මෙම වෝහාරික විගණන වාර්තාව මගින් නැවතත් තහවුරුකොට තිබෙන්නේ. අපේ රටේ දූෂිත වළල්ලක් ඉන්න බව අපි මුලසිටම කිව්වා. මෙම දූෂිත වළල්ල දේශපාලන ක්ෂේත්‍රයේත්, මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දකින්නට ලැබෙනවා. ඒ දූෂිත වළල්ලට යූ.එන්.පී. ද ශ්‍රී ලංකාද කියලා බේදයක් නැහැ. මේ දූෂිත වළල්ල මූල්‍ය වෙළෙඳ පොළේ ඉන්නේ එකට. එක වෙලාවක යූ.එන්.පී. එකේ ඉන්නවා. තව වෙලාවක පොදුජන පෙරමුණේ ඉන්නවා. ඒ අයට විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා වෙනසක් නැහැ. මුදල් තියෙන තැනින් මංකොල්ලකන එක තමයි ඒ අයගේ වැඩේ. අපි හෙළිදරව් කරන්නේ මේ දූෂිත වළල්ලයි.

වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ කෝප් කමිටුවේ නිර්දේශ නිසයි. මෙම වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවට එවන්නේ ඒ නිසයි. දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමත් සමග කෝප් කමිටුව අහෝසි වීම නිසා, මෙය කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එනිසා තමයි අපි දිගින් දිගටම මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් කළේ. නමුත් මෙම වාර්තාව කීපදෙනෙක් විසින් හෑල්ලුවට ලක්කරන්න කටයුතු කළා. 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෝහාරික විගණන වාර්තාව ගැන ලිපි ලිව්වා. හොරාට කලින් කෙහෙල් කැණ වැට පනින බව අපි කිව්වේ ඒ නිසයි. දැන් මේ විගණන වාර්තාවට අනුව පේනවා අජිත් කබ්රාල් කලබල වුණේ ඇයි කියලා. ලබැඳියාවන් අතර ගැටලුව තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන්ලා අතර විතරක් නොවෙයි. අජිත් කබ්රාල් කල්ලිය අතරත් ඒ ලබැඳියාවන් තිබුණු බව මේ වාර්තාවෙන් පේනවා.

මෙම වෝහාරික විගණන වාර්තාවේ පවුල් ගහ පිළිබඳව පැහැදිලි කිරීමක් තිබෙනවා. 2006 සිට 2015 දක්වා අජිත් නිවාඩ් කබ්රාල් පවුල් කණ්ඩායමේ සහ 2015 සිට 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන්ගේ පවුල් බැඳීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබෙනවා. අපේ මැදිහත්වීම නිසා මේ පවුල් ගහ කැඩී ගියා. එසේ නොවූවා නම් මේ පවුල් ගහ 2015 – 2020, 2020 – 2025 මේ ආකාරයට දිගටම යන්න ඉඩ තිබුණා. මෙම වෝහාරික විගණනය සිදුකිරීමට අපිට තාක්ෂණික හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසයි කෝප් සභාපතිවරයා ලෙස මම මහ බැංකුවට නිර්දේශයක් ලබාදුන්නේ මෙම බැඳුම්කර සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා. ඒ මොහොතේ දී අජිත් නිවාඩ් කබ්රාල් පුවත්පත්වලට කිව්වා ඇයි මේ 2002 දක්වාම විගණනයක් කරන්නේ කියලා. නමුත් බැඳුම්කර සම්බන්ධයෙන් විගණනයක් කරනවා නම්, එය ආරම්භයේ සිටම පටන් ගන්න ඕනෑ. ඇයි ඒ විගණනයට විරුද්ධ වෙන්නේ. කබ්රාල් කලබල වුණේ ඇයි? මීට පෙර හිටපු අධිපතිවරු කලබල වෙලා නැහැ. වහන්න දෙයක් තිබෙන නිසයි කබ්රාල් කලබල වුණේ. ජනතාව ඒවා දැනගත යුතුයි.

මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබුවේ අධිකරණ කටයුත්තක් සඳහාමයි. මරණයක් පිළිබඳව සිදුකරන වෝහාරික මරණ පරීක්ෂණයක් වගෙයි. බැඳුම්කර සම්බන්ධ මෙම වෝහාරික විගණන වාර්තාව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සකස් කළ එකක්. 2002 – 2015 දක්වා වූ සුදු කරපටි අපරාධකාරයන් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළ දියුණු, ශක්තිමත් එකක් නොවෙයි. එම මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ 200ක වගේ සුළු පිරිසක්. එයිනුත් මෙම මූල්‍ය වෙළෙඳ පොළ හසුරුවන්නේ අපේ රටේ පවුල් හතරක් පහක් වගේ ඉතාම සුළු කණ්ඩායමක්. ඔවුන් දේශපාලනය, පවුල් පසුබිම, ආගමික පසුබිම, පාසල් පසුබිම හා ඥාතීත්වය අතින් එක කණ්ඩායමක්. ඔවුන්ගේ බල ඒකාධිකාරය තමයි අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළ පාලනය කරන්නේ.

අපි යෝජනා කරනවා, අපක්ෂපාතී විද්වත් මණ්ඩලයක් විසින් මෙම වෝහාරික විගණන වාර්තාව කියවන්න කියලා. එතකොට පැහැදිලි වෙයි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකෑවේ කවුරුන්ද කියලා. අපේ රටේ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑවේ කොහොමද කියලා. ගමේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ පඩි සල්ලි තමයි මේ මූල්‍ය වංචාකරුවන් විසින් කොල්ල කන්නේ. කම්කරුවන් ඉතා දුක් මහන්සි වී හම්බකරන සල්ලි මේ සුදු කරපටි අපරාධකාරීන් විසින් රුපියලක්වත් හම්බනොකර මංකොල්ල කනවා.

මෙම වෝහාරික විගණනයට අදාළ වාර්තා පහක් තිබෙනවා. පළවෙනි වාර්තාව බැඳුම්කර සම්බන්ධයෙන්ද, දෙවැනි වාර්තාව බැඳුම්කර ගනුදෙනු සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවද, තුන්වැනි වාර්තාව අර්ථ සාධක අරමුදල් කොල්ලය පිළිබඳවද, හතර වැනි වාර්තාව බැඳුම්කර මගින් ලබාගත් මුදල්, මුදල් අමාත්‍යාංශයට යන ක්‍රියාවලිය පිළිබඳවද පස්වැනි වාර්තාවේ 2015 දී සිදුවූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාව පිළිබඳවද විගණනය කොට තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය සිදුකළ වංචාව පිළිබඳ සිදුකළ කෝප් විමර්ශන වෝහාරික විගණන වාර්තාව විසින් තහවුරුකොට තිබෙනවා. අපි මෙම ස්ථානයේදීම මාධ්‍ය හමුවක් පවත්වලා හෙළිදරව් කරපු කරුණු එම විගණන වාර්තාවෙන් තහවුරුකොට තිබෙනවා. අපි ඉදිරිපත් කළ කරුණුවලට අමතරව ඉතා විද්‍යානුකූලව විමර්ශනය කරලා තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්නු 69 ලක්ෂයක් ජනතාවගේ ජනතා අභිලාශයන් ඉටුකරන්න පස්වැනි වාර්තාව අනුව පුළුවන්. එම පස්වැනි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා මහ බැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන්. එම අධිකරණ ක්‍රියාවලිය කෝප් වාර්තාවත්, ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවත් යොදා ගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමන්ට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂය ඉටුකරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.

මෙහි විශේෂම කරුණ වෙන්නේ අර්ථ සාධක අරමුදලට වෙලා තිබෙන්නේ මොකක්ද කියන එකයි. අර්ථ සාධක අරමුදල රුපියල් බිලියන 2,290කින් සමන්විත අරමුදලක්. එහි ආදායම මසකට කෝටි 1,200ක් පමණ වෙනවා. එහි සාමාජිකයන් මිලියන 18ක් පමණ වෙනවා. එම අරමුදලේ අයිතිය කම්කරු කොමසාරිස්වරයා සතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව එම අරමුදලේ භාරකරු ලෙස ක්‍රියාකරනවා. නමුත් මහ බැංකුවට හිතුමතේ අර්ථ සාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරන්න බැහැ. ඒ සඳහා නිර්ණායක තිබෙනවා. වෝහාරික විගණන වාර්තාවේ මාස හතරක විශ්ලේෂණය අනුව අර්ථ සාධක අරමුදල් සමාගම් 19ක ඍජුව ආයෝජනය කොට තිබෙනවා. ඒ අනුව රුපියල් කෝටි 5795ක පමණ පාඩුවක් සිදුවෙලා තිබෙනවා. මේ පාඩුවට වගකියන්නේ කවුද? මුදල් අයෝජනය පිළිබඳව නිර්ණායකවලට අනුව සමාගම් සඳහා ආයෝජනය කළ හැකි ප්‍රතිශතයන් දක්වා තිබෙනවා. නමුත් අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ධුර කාලයේ මෙම ප්‍රතිශතයන් ඉක්මවා ආයෝජනයන් සිදුකර තිබෙනවා. ඇතැම් අවස්ථාවල උපරිම සීමාව 2%ක් තිබියදී, එම සීමාව ඉක්මවා 10%, 30%, 40% වැනි ප්‍රතිශතයන්වලින් ආයෝජන සිදුකොට තිබෙනවා.

මෙම බැඳුම්කර මිලදී ගැනීම්වලදී සමහරු මිලදී ගැනීම් කරන්නේ තමන්ගේම මුදල්වලින් නොවේ. වෙනත් ක්‍රමවලින් ලබාගන්නා මුදල්වලින් බැඳුම්කර මිලදී ගන්නා නිසා, අදාළ දිනයන්ට මුදල් පියවීම් සිදුකර නැහැ. ඒ වාගේම ඇතැම් කුප්‍රකට සමාගම් ඩිරෙක් ප්ලේස්මන්ට් මගින් වැඩි මුදලට කොටස් මිලදී ගන්නවා. ඒ සිදුවෙන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් මණ්ඩලයට කරනු ලබන ඒත්තු ගැන්වීම් විසින්. රුපියල් 17/-ක් පමණ වන කොටස් රුපියල් 40/-ට මිලදී අරගෙන රුපියල් 22/-ට විකුණූ අවස්ථා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා තමන්ගේ බූදලයක් වගේ මේ තීන්දු තීරණ අරගෙන තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල් කණ්ඩායම් දෙකම මේ  ආකාරයේ දූෂිත ගනුදෙනු සිදුකොට තිබෙනවා. දේශපාලන බලය නැත්නම් මෙවැනි ගනුදෙනු කරන්න බැහැ. 2002 සිටම මෙම දූෂිත ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවුණා.

මේකට වගකිව යුත්තේ කවුද? මහ බැංකුවේ ආයෝජන කමිටුවක් තිබෙනවා. මෙම ආයෝජන කමිටුවට අධිපතිවරුන්ගෙන් බලපෑම් සිදුවුණා කියලා විගණන වාර්තාවේ තිබෙනවා. අජිත් කබ්රාල් කලබල වීමෙන් පේනවා මේ මැදිහත්වීම් සිදුකර තිබෙන බව. ඇතැම් නිලධාරීන් අධිපතිවරුන්ගේ බලපෑම් නිසා, අසරණ වෙලා තිබෙනවා. මේ බලපෑම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න සිදුවෙලා තිබෙන්නේ අපේ රටේ මහජනතාවටයි.

වෝහාරික විගණන වාර්තාවේ බැඳුම්කර සම්බන්ධ පවුල් ගහ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකොට තිබෙනවා. කබ්රාල් මහතා අධිපති ධුරය දරන කාලයේ ‘පර්පෙචුවල් හෝල්ඩින්’ සමාගමේ අධ්‍යක්ෂ ධුරයේ ඔහුගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ කටයුතු කොට තිබෙනවා. ඒ වගේම ඔහුගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර බලකාන්ත තම්බයියා, ඥාතියෙකු වන නිහාල් පොන්සේකා, අමල් කබ්රාල් සහ ලේලියක වන ශිභානී රේණුකා තම්බයියා යන පුද්ගලයන් අධ්‍යක්ෂ ධුරවල කටයුතු කොට තිබෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිත්වය දරන කාලය තුළ පර්පෙචුවල් සමාගමේ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් කටයුතු කර තිබෙනවා. අර්ජුන් ඇලෝසියස්ලා තමයි බොන්ඩ් කිංග්ලා (බැඳුම්කර රජුන්) ලෙස නම් දරා තිබෙන්නේ. අජිත් කබ්රාල්ගේ කාලයේත්, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ කාලයේත් බොන්ඩ් කිංග්ලා වුණේ අර්ජුන් ඇලෝසියස්.

අපේ රටේ අධිකරණය ස්වාධීන නම්, අපේ රටේ මහ බැංකුවේ මුදල්වලට වුණේ මොකක්ද කියලා හොයන්න පුළුවන්. අපේ රටේ මාධ්‍ය ආයතනවලින්, සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගහන්න ඉඩදෙන්න එපා කියලා. හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි මහත්තයා ඔහුගේ වගකීම ඉටුකරලා තිබෙනවා. අපි දිගින් දිගටම වාර්තාව එළියට දාන්න කියලා බලපෑම් කළා. දැන් අපි කියනවා, මෙම වාර්තාව හදපු විදිහ ගැන හොයන්නේ නැතිව මේ වාර්තාවේ තිබෙන කරුණු හරිද වැරදිද කියලා කියන්න. පවුල් ගහ වැරදි එකක්ද කියලා කියන්න. ශිරෝමී වික්‍රමසිංහ තමන්ගේ සහෝදරියෙක් ද නැද්ද කියලා කබ්රාල් මහත්තයා රටට කියන්න. ඒ වගේම අපි කියනවා, අජිත් නිවාඩ් කබ්රාල් මෙම දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ බවට හෙළිදරව් වුණු නිසා, ඇලෝසියස්ලා බේරන්න හදන්න එපා කියලා. කබ්රාල්ලා අහුවුණු නිසා, මේ දූෂිත ගනුදෙනුවෙන් බේරෙන්න යූ.එන්.පී. එකට පුළුවන් කමක් නැහැ. එනිසයි අපි දිගින් දිගටම කිව්වේ මේ දෙගොල්ලෝම එකම ක්ලබ් එකේ හොරු කියලා. මේ හොරු තමයි අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඒ නිසා, අපේ රටේ ඇත්ත අවංක ආයෝජකයන්, ව්‍යාපාරිකයන් ආයෝජන අත්හැරියා. සමහරු රට අත්හැරලා ගියා. මේ හොරු කණ්ඩායම තමයි අපේ රටේ මූල්‍ය සංගම්වල ඉහළ පුටුවල ඉන්නේ. මහ බැංකුවේ අධිපති ධුරය අල්ල ගන්නේ මේ කල්ලියේ සාමාජිකයන්. මේ වලල්ල කඩන්නේ නැත්නම් අපේ රටේ සිදුවන මේ හොරකම් නිවැරදි කරන්න බැහැ.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සිදුවන ආකාර කීපයක් තිබෙනවා. මහ බැංකුව නිල ආයතන සමග සහ නිල නොවන තැරැව්කාර සමාගම් සමග බැඳුම්කර ගනුදෙනු සිදුකරනවා. මහ බැංකුවට වාසි වෙන්නේ නිල ආයතන සමග කරන ගනුදෙනුයි. සාමාන්‍යයෙන් මහ බැංකුව ගනුදෙනු කරන තැරැව්කාර සමාගම් 16ක් පමණ තිබෙනවා. පර්පෙචුවල් සමාගම සුදුසුකම් සම්පූර්ණ කර නොතිබියදී ලියාපදිංචි වූ තැරැව්කාර සමාගමක්. මහ බැංකුව 2002 සිට රුපියල් බිලියන 5600ක පමණ බැඳුම්කර ගනුදෙනු සිදුකර තිබෙනවා. එයින් 90%ක්ම තැරැව්කාර සමාගම්වලට ලබාදී තිබෙනවා. එයින් 90%ක්ම ඍජු මිලදී ගැනීම්. 2008 සිට 2015 දක්වා සිදුකළ මෙම ඍජු මිලදී ගැනීම් පිළිබඳව මහ බැංකුවේ මුදල් මණ්ඩලයට දැනුම්දී නැහැ. අඩුම තරමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යොමුකරලා නැහැ. දිගටම සිදුවුණේ මේ පවුල් දෙක විසින් මුදල් කොල්ලකෑමයි. බැඳුම්කර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ අරගන්නේ ඒ නිසා තමයි බොන්ඩ් කිංග්ලාට මූල්‍ය අපරාධ කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

මහ බැංකුව අධිපතිවරුන් කීපදෙනෙක් යටතේ මහ දවල් මංකොල්ලකාලා තිබෙනවා. මේ දෙගොල්ලන්ගේම හොරකම් හොයන්න ඕනෑ. මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන් මෙම ගනුදෙනුවල අගින් හෝ මුලින් පටන් ගන්න. බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ජනවරමක් ලැබිලා තිබෙනවා. 69 ලක්ෂය හිතුවේ රනිල් වික්‍රමසිංහලාගේ හොරකම් විතරයි. නමුත් දැන් වෝහාරික විගණන වාර්තාවට අනුව පැහැදිලි වෙනවා 2015ට කලින් හොරකම් සිදුවෙලා තිබෙනවා කියලා. ජනතාවගේ අර්ථ සාධක අරමුදල කොල්ලකාලා තිබෙනවා කියලා. එනිසා එම මංකොල්ලකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කඩිනමින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. එසේ නොමැති නම් අපේ රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස් ලෙස ක්‍රියාත්මක වෙන බව හිතන්න වෙනවා. ඒ වගේම දැන් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න ආණ්ඩුවට බලය තිබෙනවා. මෙම මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම්දෙන තුරු අපි අරගලය දිගටම ගෙනියනවා.”

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“අපි මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලුවා. කථානායකතුමා පොරොන්දුවක් වුණා පෙබරවාරි මුල් සතියේ විවාදයක් ලබාදෙන බවට. ඒ වගේම මෙම වාර්තාවට අදාළ ඇමුණුම් තවම පාර්ලිමේන්තුවට ලැබිලා නැහැ. අපි විශ්වාස කරනවා එම ඇමුණුම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදෙයි කියලා. පාර්ලිමේන්තු විවාදය හොඳයි කරුණු අනාවරණය කරගන්න. නමුත් කළ යුත්තේ මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. උදර්පන නීතිය උපයෝගී කරගෙන අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වන්න පුළුවන්. මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වන්නේ නම් ලොකු ලොකු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා, ජනතාව තුළ සැකයක් උපදින්න පුළුවන්. ඒ වගේම අපි ජනතාවට කියනවා, මේ දේවල් නිවැරදි ලෙස කණෙන් අසා මොළයට ගන්න නියලා. ඇතැම් අය කණෙන් අහන්න ඕන දේවල් නහයෙන් අහලා පපුවට ගන්නවා. ඒ නිසා අපි අවධාරණය කරනවා ඉන්ද්‍රියයන් මාරු කරගන්න එපා කියලා. අපි කියන දේවල් කණෙන් අහලා මොළයට අරන්, මොළයෙන් හිතලා තීරණ ගන්න කියලා අපි ජනතාවට කියනවා.

19 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා ජයම්පති වික්‍රමරත්න මහතා යම් කාර්යභාරයක් කළා. නමුත් ඔහු එය තනියෙන් හදපු එකක් නොවෙයි. එතුමාට එතුමාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්න අයිතියක් තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තීරණ 19 වැනි සංශෝධනයට අදාළ වන්නේ නැහැ. මොකද 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අනුමත කරලයි තිබෙන්නේ. ඒක වැරදි නම්, තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවමයි. ඒ වගේම අපි කියනවා 19 වැනි සංශෝධනය ගැටලුවක් වුණේ පක්ෂ දෙකක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්න විටයි. නමුත් දැන් එක කුසේ උපන් සහෝදරයන් දෙදෙනාට මේ ගැටලුවක් වන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි නැහැ. මොකද ඔවුන් දෙදෙනාට සුහදව සාකච්ඡා කරලා පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්