Language Switcher

V2025

අතුරුදහන් වූ වින්දියන් ගැන ජනාධිපතිගේ ප්‍රකාශය ගැන ජාත්‍යන්තර තැතිගැන්මක් !

බලහත්කාරයෙන් අතුරුදහන් කර වීමේ අපරාධයේ වින්දිතයන් බවට පත්වූ බොහෝ දෙනා ද ඇතුළත් "ආගිය අතක් නොමැති පුද්ගලයන්" පිළිබඳ තත්ත්වය "අහිතකර ආකාරයෙන් විග්‍රහ කරමින්" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළ කළ අදහස් සම්බන්ධයෙන් විමතිය පළ කරන බව විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) පවසයි.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් (Hanaa Singer) සහ ජනාධිපතිවරයා අතර පසුගිය ජනවාරි 17 වෙනිදා හමුවක් පැවැත්විණි. එම හමුවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ "අතුරුදහන් වී සිටින පුද්ගලයන් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇතැයි" ජනාධිපතිවරයා පැහැදිලි කළ බවය.

අතුරුදහන් වූවන්ගෙන් බහුතරය එල්ටීටීඊ සංවිධානය විසින් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබූ පුද්ගලයන් යැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටි බව ද නිවේදනයේ සඳහන් විය.

"අතුරුදහන් වූවන්ගේ පවුල් පවා ඒ ගැන දන්නවා. නමුත් කුමක් සිදු වීද යන්න ඥාතීන් දන්නේ නැති නිසා ඔවුන් අතුරුදහන් වූ බව කියනවා," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.

"විශේෂයෙන් සන්නද්ධ අරගලයක් අතරතුර ආගිය අතක් නොමැති පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වසනීය විමර්ශනයක් නොපවත්වා ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් එවැනි අනුකම්පා විරහිත ප්‍රකාශනයක් පිළිබඳ ඇසීමට ලැබීම බියකරුයි," යනුවෙන් විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂක ෆෙඩ්‍රික් රෝස්කි පැවසීය.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් අතර පැවති හමුවනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් අතර පැවති හමුව

ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ අරගලය නිමා වූ සැනින් 20,000 ක පමණගේ ඉරණම සහ ඔවුන් සිටින්නේ කොතැනක දැයි යන්න දැන ගැනීමට ලැබී නැතැයි වාර්තා වී ඇති බව ද විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම සිකුරාදා (ජනවාරි 24) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු බලහත්කාර අතුරුදහන් කරවීම්වලට ලක්වී, නීති විරෝධී ලෙස ඝාතනය වී සහ/හෝ ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන අපරාධයන්ට හසුව ඇතැයි සැක කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති කාර්යාලයේ ප්‍රතිචාරය

මේ අතර සිකුරාදා නිවේදනයක් නිකුත් කරන ජනාධිපති කාර්යාලය පවසන්නේ, අතුරුදහන්ව සිටින පුද්ගලයන්ට මරණ සහතික නිකුත් කිරීමට පෙරාතුව අත්‍යවශ්‍ය විමර්ශන පවත්වන බවට ජනාධිපතිවරයා කළ සඳහන බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් "හිතා මතා හෝ නොදැනුවත්ව" වාර්තා කොට නොමැති බවය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් ඒ අවස්ථාවේ අතුරුදහන්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගැන කිසිදු සඳහනක් නොකළ බව ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති කාර්යාලය අවධාරණය කරන්නේ, අතුරුදහන්ව සිටින 20,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක පිළිනොගත් බවය.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයජනාධිපති කාර්යාලය සිකුරාදා නිකුත් කළ නිවේදනය

යුද්ධයේ අවසාන අදියර

යුද්ධයේ අවසාන අදියරයේදී යටත් වීමට උත්සහ කළ හෝ හමුදා භාරයට පත් එල්ටීටීඊ කැරලිකරුවන් මරා දමා ඇතැයි චෝදනා එල්ල වේ. ඒ හා සම්බන්ධ වීඩියෝ දර්ශන නිකුත් වී ඇතත් ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

යුද්ධයෙන් පසුවත් බලහත්කාර අතුරුදහන් වීම් සිදු වූ අතර එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂගේ විරුද්ධවාදීන් ලෙස සැලකුණු ඇතැම් ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් සහ ක්‍රියාධරයන් යළි දැක ගැනීමට නොලැබිණි.

රාජපක්ෂ පාලනය පවසන්නේ අතුරුදහන් කිරීම්වලට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවය.

"2009 වසරේ යුද්ධයේ අවසාන අදියරයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යටත් වූ පුද්ගලයන්ගෙන් කොටසක්වත් ආගිය අතක් නොමැති බව සහ බොහෝ සිදුවීම් මෙතෙක් විසඳී නොමැති බවත් වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටු වාර්තාව (2011) සහ ආණ්ඩුව විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ (2011) වාර්තාව මෙන්ම පැහැරගැනීම් සහ අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ (2015) වාර්තා මගින් හඳුනා ගෙන ඇතැයි," ද විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ යුද හමුදාව එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති.

BBCඅතුරුදහන් වූවන් වෙනුවෙන් දිනපතා පැවැත්වෙන නිහඬ විරෝධයක් අතරතුර

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය සමග පැවති හමුවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව, එම හමුවේදී "නිසි විමර්ශනවලින් පසු අතුරුදහන් වී සිටින පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම සඳහා පියවර ගනු ඇති බවත් ඉන් අනතුරුව සිය ජීවිත ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා එම පවුල්වලට ආධාර කරනු ඇති බවත්," ජනාධිපතිවරයා කී බව සඳහන් වේ.

එම ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම පවසන්නේ, "ජාතන්තර නීතිය සහ සම්මතයන් යටතේ බලහත්කාර අතුරුදහන් කරවීම් සහ නීති විරෝධී ඝාතන වහා, මුළුමනින්, අපක්ෂපාතී ලෙස විමර්ශනයට ලක් කළ යුතුයි. වගකිවයුත්තන් සාධාරණ නඩු විභාග ඔස්සේ නීතිය හමුවට පැමිණවිය යුතුයි, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වලට ප්‍රතිකර්ම සහ හානි පූර්ණ හිමියි," යනුවෙනි.

"ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ (OMP) අරමුණ නොසලකා හැර ඇතැයි පෙනෙන්නට තිබෙනවා. සත්‍ය තහවුරු කර ගැනීම සඳහා නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර ආගිය අතක් නොමැති පුද්ගලයන්ගේ ඥාතීන්ට 'නිමාවක්' දීමට ගන්නා ඕනෑම උත්සහයක් පිළිගත නොහැකියි," යනුවෙන් විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂක ෆෙඩ්‍රික් රෝස්කි පවසයි.

එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කැප වෙමින් 2015 වසරේ බලයට පත් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව 2016 වසරේදී අතුරුදහන් වූවන් පිළිබඳ පනතක් ගෙන ඒමට සහ 2018 වසරේදී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කළේය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් පවතින පනතේ 13 (1) (අ) (ii) වගන්තියට අනුව මරණ සහතිකයක් නිකුත් කළ යුත්තේ විමර්ශන පවත්වා නිගමනයකට පැමිණීමෙන් අනතුරුව බවත් යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

"අතුරුදහන් වූවන්" සෙවීම සඳහා වන නෛතික ක්‍රියාපිළිවෙත ස්ථාපනය කිරීම වෙනත් මගකට ගෙන යන පියවරවලින් වැළකී සිටින ලෙස විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එම සංවිධානය වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය, වගවීම සහ හානි පූර්ණය වේගවත් කිරීම සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සහය දෙන ලෙසය.

(බීබීසී )