බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍යයේ සිදුවෙන වෙනස මෙන්න !

බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍යයේ සිදුවෙන වෙනස මෙන්න !

ජනවාරි 31 වෙනි සිකුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00ට එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර, ඉන් අනතුරුව මාස එකොළහක සංක්‍රාන්ති කාලයකට ඇතුළු වේ.

සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීතී තවදුරටත් පිළිපදිනු ඇති අතර, යුරෝපා සංගම් අරමුදල සඳහා මුදල් ගෙවීමට ද නියමිතය. බොහෝ දේ නොවෙනස්ව පවතින නමුත් වෙනස්කම් කීපයක් ද සිදු වීමට නියමිතය.

වෙනස් වන්නේ මොනවාද?

1. යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන්ට සිය ආසන අහිමි වේ
එක්සත් රාජධානියේ මන්ත්‍රීවරු 73 දෙනෙකුට යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන අහිමි වෙනු ඇත. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීම සඳහා දැඩි බලපෑමක් කළ නයිජෙල් ෆරාජ් ද ඒ අතර වේ.

එයට හේතුව නම්, බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වන අවස්ථාවේ එක්සත් රාජධානිය යුරෝපයේ සියලු දේශපාලනික ආයතන සහ නියෝජිත ආයතනවලින් ඉවත් වීමය.

 110711599 brex2

කෙසේනමුත්, සංක්‍රාන්ති කාලය තුළ නීති පිළිපැදීමට අමතරව නීතිමය ගැටලුවල අවසාන තීන්දුව ලබා දීමට යුරෝපා අධිකරණයට හැකිය.

2. මින් පසු යුරෝපා සමුළු නොමැත
අනාගත යුරෝපා සමුළුවක දී අනෙකුත් නායකයන් සමග එක්වීමට අවශ්‍ය නම් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජෝන්සන්ට විශේෂ ආරාධනයක් තිබිය යුතුය.

මසුන් ඇල්ලීම සඳහා පවතින මුහුදු සීමා වැනි කරුණු සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නිතර පවතින රැස්වීම්වලට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් මින් පසු සහභාගී නොවෙති.

3. වෙළෙඳාම පිළිබඳ බොහෝ දේ දැනගැනීමට ලැබෙනු ඇත
එක්සත් රාජධානියට ලෝකයේ වෙනත් රටවල් සමග වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි වෙනු ඇති අතර, භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට සහ විකිණීමට අදාළ නව නීති සැකසිය හැකිය.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරණ කාලය තුළ ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග නිල වශයෙන් වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නොහැකි විය. නව වෙළෙඳ ප්‍රතිපත්ති සැකසීමට ඇති නිදහසත් සමග එක්සත් රාජධානියේ ආර්ථිකය නගා සිටුවිය හැකි බව බ්‍රෙක්සිට් අධාරකරුවෝ පවසති.

කෙසේනමුත්, එක්සත් රාජධානිය යුරෝපා සංගමය සමග බොහෝ දේ සාකච්ඡා කිරීමට නියමිතය. සංක්‍රාන්ති කාලය අවසන් වූ පසු යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක මුදලක් අය කිරීම වැළැක්වීම හේතුකොටගෙන එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

එවැනි වෙළෙඳ ගිවිසුමකට එළඹුනහොත් සංක්‍රාන්ති කාලය අවසන් වන තුරු එය බලාත්මක නොවේ.

4. බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රයේ වර්ණය වෙනස් කෙරෙයි
තද රතු පැහැති කවරයක් සහිත යුරෝපා ගමන් බලපත්‍රය නැවතත් වසර තිහකට වැඩි කාලයකට පෙර තිබූ නිල් පැහැති ගමන් බලපත්‍රයට වෙනස් කිරීමට නියමිතය.

 110711600 brex3

1921 වර්ෂයේ සිට භාවිත කළ රත්‍රන් සහ නීල පැහැයෙන් යුතු මෙම ගමන් බලපත්‍රය "සුවිශේෂී" දෙයක් යැයි අදාළ වෙනස පිළිබඳ 2017 වර්ෂයේ දී නිවේදනය කළ විට, එකල සිටි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රැන්ඩන් ලුවිස් පැවසීය.

මාස කීපයක් ඇතුළත නව වර්ණය සහිත ගමන් බලපත්‍ර සැකසීම සිදු වනු ඇති අතර, වසර මැද වන විට නිකුත් කරන සියලු නව ගමන් බලපත්‍ර නිල් පැහැයෙන් යුතු වේ.

දැනට භාවිත කරන තද රතු පැහැති ගමන් බලපත්‍රය තවදුරටත් වලංගුය.

5. බ්‍රෙක්සිට් කාසි
"ජනවාරි 31" සහ "සියලු ජාතීන් සමගසාමය, සෞභාග්‍ය සහ මිත්‍රත්වය" යැයි සඳහන් පැන්ස 50 කාසි මිලියන තුනක් සිකුරාදා දින (ජනවාරි 31) නිකුත් කිරීමට නියමිතය.

මෙම කාසි ගැන විවිධ අදහස් පළ වී තිබුණු අතර, එය ප්‍රතික්ෂේප කළ යුතු යැයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටීමට සහය පළ කළ කණ්ඩායම් පවසති.

 110711601 brex4

මින් පෙර බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමට තිබූ 2019 ඔක්තෝබර් මස 31 වෙනිදා බ්‍රිතාන්‍යය රජයෙන් මෙවැනිම කාසියක් හඳුන්වා දීමට නියමිතව තිබිණි.

නමුත්, නියමිත කාලය දීර්ඝ වීම නිසා එම කාසි සියල්ල උණු කර ප්‍රතිචක්‍රකරණය කිරීමට කටයුතු කෙරිණි.

6. එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව වසා දැමේ
එක්සත් රාජධානිය සහ යුරෝපය අතර සාකච්ඡා මෙහෙයවීම සඳහා යෙද වූ කණ්ඩායම බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමත් සමග විසුරුවා හැරේ.

මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 2016 දී එකල අගමැතිනිය තෙරේසා මේ විසිනි.

7. ජර්මනිය ඔවුන්ගේ පුරවැසියන් එක්සත් රාජධානියට පිටුවහල් කරනු නොලැබේ
යම් අපරාධයකට සැක කරන පුද්ගලයෙකු ජර්මනියට පලා ගියහොත් ඔහු හෝ ඇය නැවත එක්සත් රාජධානියට ගෙන ඒමට මින් පසු නොහැකිය.

යුරෝපා සංගමයේ සාමාජික රටකට හැර වෙනත් රටකට සිය පුරවැසියන් පිටුවහල් කිරීමට ජර්මානු ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නොමැත.

"එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු මෙම ව්‍යතිරේකයට ඔවුන් අදාළ වන්නේ නැහැ," ජර්මානු ෆෙඩරල් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සේවයට පැවසීය.

නමුත් මෙම තහනම වෙනත් රටවලට බලපාන්නේදැයි යන්න අපැහැදිලිය. යුරෝපා කොමිසම ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නොමැත.

යුරෝපා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සංක්‍රාන්ති කාලය තුළ ද ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි.

නොවෙනස්ව පවතින්නේ මොනවාද?
බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමත් සමග සංක්‍රාන්ති කාලය ආරම්භ වන නිසා, 2020 දෙසැම්බර් 31 දක්වා හෝ බොහෝ දේවල් නොවෙනස්ව පවතී.

  1. සංචාරය
    ගුවන් ගමන්, බෝට්ටු සහ දුම්රිය සේවා පෙර පරිදිම ක්‍රියාත්මක වේ. 110711602 brex5

    ගමන් බලපත්‍ර පරීක්ෂාවේ දී යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයන්ට වෙන් වූ පෝලිමට එකතු වීමට සංක්‍රාන්ති කාලය තුළ බ්‍රිතාන්‍යයන්ට තවදුරටත් අවස්ථාව සැලසේ.

    2. රියදුරු ගමන් බලපත්‍රය සහ සුරතල් සතුන්ගේ ගමන් බලපත්‍ර
    අදාළ බලපත්‍ර කල් ඉකුත් වී නොමැති තාක් කල් ඒවා පිළිගනු ලැබේ.

    3. යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත
    යුරෝපා සංගමයේ රටවල් මෙන්ම ස්විට්සර්ලන්තය, නොර්වේ, අයිස්ලන්තය සහ ලෙක්ටන්ස්ටයින් යන රටවල දී බ්‍රිතාන්‍යය පුරවැසියෙකු යම් අසනීපයකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක රජයේ සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට මෙම යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් හිමියන්ට හැකිය. 110711603 brex6

    අදාළ කාඩ්පත සංක්‍රාන්ති කාලය තුළ තවදුරටත් වලංගු වේ.

    4. යුරෝපා සංගමයට අයත් රටවල දිවි ගෙවීම සහ රැකියාවේ නිරත වීම
    අදාළ රටවල් අතර නිදහසේ ගමන් කිරීමේ හැකියාව සංක්‍රාන්ති කාලය තුළ දිගටම පැවතීම නිසා යුරෝපා සංගමයට අයත් රටවල දිවිගෙවන සහ රැකියාවේ නිරත බ්‍රිතාන්‍යය පුරවැසියන්ට තවමත් රැඳී සිටිය හැකිය.

    එක්සත් රාජධානියේ සිටින යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයන්ට ද එය එලෙසින්ම අදාළ වේ.

    5. විශ්‍රාම වැටුප
    යුරෝපා සංගමයට අයත් රටවල දිවිගෙවන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට රජයේ විශ්‍රාම වැටුප නොකඩවා ලැබේ.

    6. යුරෝපා අරමුදලට සහය වීම
    සංක්‍රාන්ති කාලය තුළ එක්සත් රාජධානිය යුරෝපා සංගම් අරමුදලට නොකඩවා මුදල් ගෙවනු ඇත.

    7. වෙළෙඳ ගනුදෙනු
    එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගනුදෙනු අමතර අය කිරීම් හෝ පරීක්ෂාවලින් තොරව සිදු කෙරෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න