හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ඊයේ (31) සිට රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව කියයි.
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් දිසාපතිවරු මාර්ගයෙන් මෙම වී මිලදී ගැනීම සිදුකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසූ බව ලංකාදීප වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය.
මේ සඳහා සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකටම සම්බන්ධීකරණ නිලධාරියෙක් පත්කර ඇති බවත් හමුදාව ගොවීන් වෙත ගොස් ඔවුගේ අස්වැන්න සාධාරණ මිලකට ලබාගෙන වී අලෙවි මණ්ඩල වෙත යොමු කරන බවත් හමුදාපතිවරයා කීය.
දිසාපතිවරුන්ද වී අලෙවි මණ්ඩල හරහා ගොවීන්ගේ වී මිලදී ගන්නා බව හමුදාපතිවරයා කියා සිටියේය.
ගොවින්ගේ වී අස්වැන්න අඩු මුදලට අතරමැදියන් අතරට පත්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

