වත්මන් ආණ්ඩුවට ඇති ඇති ලොකුම ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ බව මහාචාර්ය නලින් ද සිල්වා චෝදනා කරයි.
එසේම මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බැසිල් ලංකාවට නොඑන තරමට හොඳ බවත් ඔහු පවසයි.
මහාචාර්ය නලින් ද සිල්වා මේ බව සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියක් (ඒෂියන් මිරර් ) සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්ය.
පොදුජන පෙරමුණේ උඩ සිටින උද්දච්ච කිහිපදෙනෙකු පාලනය ගෙන යාමට බාධා කරන බවටත් ඔහු එහිදී චෝදනා නැගූ අතර බැසිල් රාජපක්ෂ රටට ලොකු ප්‍රශ්නයක් බවත් පැවසීය. ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහය නොගැනීමට සහ ශ්‍රීලනිපය වෙනුවට තමන්ගේ බලය පැතිරුණු පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඇතිව බැසිල් රාජපක්ෂ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ, සංවිධාන එකතුව ගොඩනගන සන්ධානයේ මූලිකත්වය ගෝඨාභය ජනාධිපති ගත යුතු බවත් ඔහු පැවසීය.
මහාචාර්ය නලින් ද සිල්වා මෙහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවද විවේචනය කල අතර ඒ 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට විශාලම කාර්ය භාරයක් කළේ මහින්ද රාජපක්ෂ බව අමතක නොකල යුතු බව පවසමින්ය.
19 සංශෝධනය ගෙනා මෛත්‍රීපාල සිරිසේන පසුව ඒගැන කණගාටුව ප්‍රකාශකර නමුත් මහින්ද රාජපක්ෂ අඩුම තරමින් සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් මෙතෙක් කනස්සල්ලක්වත් පළකර නැතැයි මහාචාර්ය නලින් ද සිල්වා එහිදී පැවසීය.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රසිද්ධ වූයේ ජාතික සංවිධාන නමින් සිංහල බෞද්ධ පදනමින් සකස් කෙරුණු සංවිධාන එක්කර ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදී මතය පෝෂණය කරවුවකු වශයෙන්ය. එසේම දිගින් දිගටම ඔහු පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විරෝධී නමුත් ගෝඨාභය රාජපක්ෂ හිතවාදී අයෙකු වශයෙන්ය.
ඒ කරුණු සැළකිල්ලට ගන්නා දේශපාලන විචාරක මතය වී ඇත්තේ මෙය ගෝඨාභය පාර්ශවය විසින් මහින්ද - බැසිල් පාර්ශවය වෙත එල්ල කල මතවාදී ප්‍රහාරයක් ලෙසය.

