හිතේ දුකට කබ්රාල් කියන කවි : විගණනයේ වියදම වැඩියිලු  

හිතේ දුකට කබ්රාල් කියන කවි : විගණනයේ වියදම වැඩියිලු  
වෝහාරික වාර්තාව නිකුත් වුණාට පසු හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශක අජිත් නිවාඩි කබ්රාල්ට කටඋත්තර නැතිවී තිබෙන බව පෙනේ. අපගේ තක්සේරුව අනුව කබ්රාල් මහතා අපටත් කලින් මෙම වාර්තාව කියවා තිබුණි. වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වෙනන්ට පෙර , කබ්රාල් මහතා වාර්තාව විවේචනය කරමින් දීර්ඝ ලෙස ලීවේ ඒ නිසාය. වාර්තාව පිට වීම ගැන බියක් තිබුණු නිසාය.

වාර්තාව පිටවූ පසුව කබ්රාල් මහතාගේ සළුපිළි ගැලවී, ඔහු කවුදැයි හෙළිදරව් වී තිබෙන නිසා, ඔහු පෙර සිටම බියක් දැක්වීම ගැන පුදුම විය යුතු නැත. 2015ට කලින් වංචා ගැන හෙළිදරව් වීමට අමතරව , 2015න් පසු වංචාවලට මුල් වූ පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම සමග ඔහුට ඇති සම්බන්ධය පවා හෙළිවී තිබේ. වෝහාරික වාර්තාව සකස් කළ දිනයේ සිටම රාජපක්ෂ ආණ්ඩුවේ නායකයන්ට නොතිබුණු ප්‍රශ්ණ රැසක් පසුව කබ්රාල් මහතාට ඒ ගැන ඇතිවුණේ ඔය නිසාය.

වාර්තාව නිකුත් වීමෙන් පසුව එහි ඇති කරුණු ගැන කටඋත්තර නැති නිසා ඔහු වෙනත් පැත්තකින් එම වාර්තාවට අභියෝග කරමින් ෆෙස්බුක් සටහනක් ලියා කිබුණි. එම සටහනෙන් උපුටා ගත් කොටසක් මේසේය.

' බැඳුම්කර මගඩිය " වසන් කිරීමේ "ප්‍රයන්තයේ තවත් වැදගත් අංශයක් වශයෙන් "වෝහාරික විගණනය" පෙන්වා දිය හැකිය.

* බැඳුම්කර මගඩිය මුලින්ම ක්‍රියාත්මක කිරීමේ සේවය කල සහ ඉන්පසුව එම මගඩිය සෑම ආකරයකින්ම වසන් කිරීමට සහය ලබා දුන් මුදල් මණ්ඩල සාමාජිකයින්ගෙන් බහුතරයකින් සමන්විත වූ මුදල් මණ්ඩලයේ "අධීක්ෂණය යටතේ"  ( Under the authority of the Monetary Board )"2015ට පෙර  "  කටයුතු පිළිබඳව   "වෝහාරික විගණනයක්  " යයි කියමින් තවත් ක්‍රියාවලියක් 2019 අප්‍රේල් මස ආරම්භ කළා.

* ඉහත සඳහන් අය සහ එජාපයට සම්බන්ධ නායකයින් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතා ඔවුන්ගේ දුරකතන ඇමතුම් පරීක්ෂා කිරීමෙන්ද වෙනත් ක්‍රමවේදයන් හරහා ද පරීක්ෂා කල යුතුයි.

ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවරු ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෑම ගැන විරුද්ධත්වයක් පළ කරන අතරම , විගනකාධිපතිගේ සේවය නොසලකමින් විදේශ සමාගම්, විගණනය සම්බන්ධයෙන් යොදවා ගැනීම අතිශය සැකසහිතය.

"වෝහාරික විගණන " කණ්ඩායම් වලට දැවැන්ත ගෙවීම් වලට අමතරව , වෙනත් පහසුකම් ද මහ බැංකුවේ මුදලින් ලබා දුන්නා.

"වෝහාරික විගණනය " සඳහා රුපියල් මිලියන 275ක් සහ තවත් රුපියල් මිලියන 25ක පමණ විශාල සම්පත් තොගයක් වැය කිරීමෙන් විදේශ සේවකයන් 30 දෙනෙකු පමණ මාස 7ක් පමණ සේවයේ යොදවා ඇති බව මෙයින් පෙනේ.'

අප පසුගිය සතියේ උපුටා දැක්වූ , මින් ඉදිරියටත් උපුටා දක්වන්නට බලාපොරොත්තු වන වෝහාරික විගණනයේ හෙළිවූ කරුණු කිසිවකට පිළිතුරු දීමක් එහි නැත. වාර්තාවේ ඇතුළතට එබෙන්නේ නැතිව, පිටින් මඩ ගෑම ඔහුගේ අරමුණය. දැන් රාජපක්ෂ හිතවාදීන් බොහොමයක් අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් වැටුණු ඔය කරුණු ටික කර තබාගෙන යන බව පෙනේ.

මහ බැංකුව වෝහාරික විගණනයට ගිය වියදම් සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි සඳහන්ව තිබුණේ විගණන සඳහා සිදුවූ ආසන්න වියදම ගැනය. එහි මෙසේ සඳහන් වී තිබේ.

' අ) 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම , පරීක්ෂා කිරීම වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොම්ෂන් සභාව මඟින් කරන ලද නිර්දේශයන්ද, අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් සිදුකරන ලද අභ්‍යන්තර විමර්ශණ වාර්තා මඟින් පසුගිය වසර කිහිපය තුළදී අනාවරණය වූ කරුණුද සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණාකාධිපතිතුමාගේ සහ නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගනිම්න් වෝහාරික විගණන හයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී

ආ) වෝහාරික විගණන පහක් සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මඟින් සිදු කරන ලද අතර , එම විගණන කටයුතු පිළිබඳව කොන්ත්‍රාත්තු වෝහාරික විගණන පිළිබඳව ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ප්‍රදානය කෙරිණි.

ඇ) මෙලෙස ආරම්භ කරන ලද වෝහාරික විගණන 6න් වෝහාරික විගණන 5ක් දැනට අවසන් කර ඇත. මාධ්‍ය වාර්තා වල විවිධ අගයන් සඳහන් වුවද මෙම වෝහාරික විගණන පහ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 275ක් වේ.

ඈ) මේ වන විට හය වන වෝහාරික විගණනයෙහි ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.'

ඒ අනුව විගණනයට ගිය වියදම් ගිය වියදම් තවම සම්පූර්ණයෙන් හෙළිවී නැත. අනෙක් අතට මේ සමාගම්වලට මෙතරම් මුදල් ගෙවා ඇතිනම් ඒ ඇයිදැයි තේරුම් ගත යුතුය.

දැන් කාලයේ හොරු අතට හසුවෙන අන්දමට හොරකම් නොකරන බව මේ වෝහාරික වාර්තා කියවද්දීම පෙනී යයි. මෙවැනි වංචා ගැන සොයන්නට ඉහළම මට්ටමේ පරීක්ෂකයන් අවැසි වෙයි. මෙම විගණනයන්හි විමර්ශන සඳහා ඉහළම මට්ටමේ පරීක්ෂකයන්ව යොදවා ඇත.

අපි මීට පෙරද ලියා ඇති කරුණක් සිහිපත් කළ යුතුය. මෙම විගණන වාර්තා ඉදිරිපත් කළ සමාගම් දෙක විගණන ක්ෂේත්‍රයේ ලොව ලොකුම සමාගම් පහ අතර ඇත. මේ සමාගම් ලෝකය පුරා පැතිර ගිය සමාගම්ය. ඕනෑ අයෙකුට සමාගම් දෙකේ නම් ගැන අන්තර්ජාපයේ සෙවුමක් කොට ඒ ගැන දැනගත හැකිය. සමාගම්වලට ඇති කීර්ති නාමයත්, ලොවපුරා විවිධ රටවල මෙන්ම පෞද්ගලික ආයතනවල වංචා දූෂණ ගැන ඔවුන් කරුණු හෙළි කර ඇත.ලොකු ලොකු හොරුන්  අල්ලා ඇත. රටවල් දෙසීයට ආසන්න සංඛ්‍යාවක මේ සමාගම් දෙකම කටයුතු කරයි.

සිය ගෞරවය නිසාම ඔවුන්ගේ මිල ඉහළය. එහෙත් ඒ මිල අයකරගනිමින් ඔවුන් සිය කාර්යභාර්ය ඉහළින්ම ඉටු කරයි. අපේ බැඳුම්කර ගණුදෙනුවලට අදාලව ඔවුන් සිය කාර්යභාර්ය ඉටු කර ඇත.

අනෙක් පැත්තෙන් මෙවැනි සමාගම් ලංකාව වැනි පුංචි රටක මහ බැංකුවේ පදයට නටමින් තමන්ගේ ගෞරවය නැති  කරගන්නේ නැති බව පුංචි  දරුවෙක්ට වුණත් වැටහෙයි.

අනෙක මෙය කබ්රාල් මහතා කියන අන්දමට වෝහාරික විගණනයක් යැයි කියමින් ආරම්භ කළ ' ක්‍රියාවලියක් නොවේ. ඒ අපභ්‍රංශ කතාවකි. මේ වෝහාරික විගණනයකි. අධිකරණයට පවා ඉදිරිපත් කළ හැකි , පිළිගත හැකි අන්දමේ වාර්තාවකි.

ඊළගට මෙම විගණනය සඳහා සමාගම් තෝරාගැනීමේදී විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත කටයුතු කර ඇත. එය සිදුකර ඇත්තේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්ය. මහබැංකුවේ හිතුමතයට නොවේ.

දැන් එහි ඇති කරුණුවලට කටඋත්තර නැතිව කබ්රාල් මහතා ලොප්ව ඇත. දැන් හිතේ දුකට ඔහු මෙවැනි කවි ෆේස්බුක් අඩවියේ ලියන බව පෙනේ. ඔහු මොනවා කීවත්, මේ ගැන තොරතුරු සමාජය දැනගැනීම නැවැත්විය නොහැකිය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න