Language Switcher

V2025

CID හැසිරීම ගැටළු සහගතයි : උදයංගගේ නඩුවේදී මහේස්ත්‍රාත් කියයි ! (වීඩියෝ )

මේ වන විට අත්අඩංගුවේ පසුවන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්  රංග දිසානායක අද (17) නියෝග කර ඇත.

ඒ උදයංග වීරතුංග අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

පාඩුව ඩොලර් බිලියන 7ක් !

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට යුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 7 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට උදයංග වීරතුංගව කටුනායක ගුවන්තොටුපලේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණ.

වරදේ බරපතකම සහ ඇපදීමෙන් ඇතිවිය හැකි මහජන කැළඹීම ගැන අවධානය යොමුකර තම අධිකරණයට විත්තිය සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

වසර පහකට අධික කාලයක් පුරා මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. දයාරත්න යන අය ඉදිරි විමර්ශන සඳහා යොදාගැනීමට පියවර ගන්නා ලෙසත් එලෙස නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මතද යන්න වහාම අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිට නියෝග කර ඇති බවත් වාර්තා වෙයි. 

ඉදිරි විමර්ශන සාර්ථකව අවසන් කිරීම සඳහා එම නිලධාරීන් අවශ්‍ය බව අධිකරණයට පෙනීයන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කල බවත් වාර්තා වෙයි.

නිව්ස් ෆස්ට් වාර්තාවට අනුව අදාළ මුල්‍ය ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7ක අලාභයක් ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බව පැමිණිල්ල පෙන්වාදී ඇත.

CID හැසිරීම ප්‍රශ්න සහගතයි !

එහෙත් එම ගනුදෙනුවට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරැද්දක් බව පෙන්වීමට අවශ්‍ය සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් ඉදිරිපත් කල යුතු සහතිකය අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම ගැටළුවක් බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ. 

සැකකරු විසින් සිදුකර ඇති අලාභය රුපියල් 25000කට අධික බව සනාථ කල හැකි සහතිකය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කල නොහැකි බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අද  අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

වසර 5කට ආසන්න කාලයක් අදාළ විමර්ශන කරනු ලැබුවේ සහ සැකකරුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති නිසා බව  මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇති අතර නමුත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ විට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි නොමැතිවීම බලවත් ගැටළුවක් බවත් මහේස්ත්‍රාත්වරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ සහතිකය ඉදිරිපත් නොකිරීම අසාමන්‍ය තත්ත්වයක් මෙන්ම පැමිණිල්ල විසින් හිතාමතාම මෙම සහතිකය අධිකරණයට ඉදිරිපත් නොකිරීමට උත්සාහ දරණ බව පෙනීයන්නක් බවත් විමර්ශන නිලධාරීන් කටයුතු කරනුයේ සැකකරුට ඇප  ලබාදීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට හැකි ආකාරයට බව අධිකරණයට නිරීක්ෂණය වී ඇති බවද මහේස්ත්‍රාත් පෙන්වාදී ඇති බවත් නිව්ස් ෆස්ට් වාර්තාවේ දැක්වෙයි.

එසේම නීතිපති දුන් උපදෙස් පිළිපැදීමක් නොකරන්නේ නම් මින් මතු කිසිම නඩුවක් සම්බන්ධව නීතිපති උපදෙස් ගැනීමට අවශ්‍ය බවට තම අධිකරණයෙන් ඉල්ලීමක් නොකරන ලෙසත් දැන් පොලීසියේ නවතම ප්‍රවණතාව වී ඇත්තේ නීතිපති උපදෙස් පිළිනොපැදීම බවත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසූ බවත් එහි සදහන් ය.

මේ සම්බන්ධව නිව්ස් ෆස්ට් ගෙනා වාර්තාව පහත දැක්වෙයි.

(මූලාශ්‍රය - නිව්ස් ෆස්ට් )