පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිලධාරීන් රැසකට ස්ථාන මාරු !

පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිලධාරීන් රැසකට ස්ථාන මාරු !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මුල්ම ජනාධිපති විමර්ශන කොමිසම වූයේ මළල්ගොඩ කොමිසමයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි. 

ඒ අනුව ඊළඟ වටයේදී අදාළ කාලසීමාව තුළ කොළඹ දිසාව භාරව සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ද අත් අඩංගුවට ගැනීමට නියමිතව පැවතිණි. එය සිදුවිණි නම් ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව ඊට ඉහළ බලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමු වන්නට තිබිණි. 

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මෙම විමර්ශනය භාරව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙළඋඩගේ මහත්මියව මේ  වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ මධ්‍යම දිසාව වෙත මාරුකර යවා තිබේ. කොළඹ මධ්‍යම දිසාව භාරව සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාය. මළල්ගොඩ කොමිසමේ වාර්තාව අනුව තෙන්නකෝන් මහතා ද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකි. ඒ අනුව එහි විමර්ශන භාරව සිටි නිලධාරිනිය ඔහු යටතේ සේවය කිරීම සඳහා මාරු කෙරුණු විට සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. 

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ දෙවැනි අධියර වූ දෙමටගොඩ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව කටයුතු කළේ පොලිස් අධිකාරී ලොකුහෙට්ටි මහතාය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා හා ළමා කාර්යාංශයට මාරු කර යවා තිබේ. 

කිංස්බරි හෝටලයේ බෝම්බ පිපිරීම පිළිබඳ විමර්ශනය කළ පොලිස් අධිකාරී කළණසිරි මහතාව ද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත්තේ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයටය. 

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටියේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස මාරුකර යවා ඇත. 

ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යන්නේ සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතා විසිනි. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ඉතාම ආසන්නව පවතී. 

(මූලාශ්‍රය - කොලම්බුxනිව්ස්)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න