ගුණමකුවන් කිහිපදෙනකු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ වැලැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ වහාම මැදිහත් විය යුතු බව ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර අවධාරණය කරයි.
"ජනවහරේ කතාවක් තියෙනවා ගහන්න ගහන්න වඳින කෙනත් මෝඩයා .. වඳින්න වඳින්න ගහන කෙනත් මෝඩයා කියලා.. අපි මෙච්චර කල් ඉවසුවා ..හෙටත් බලන්නම්..ඒත් කොයි වෙලාවෙ හරි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හැදෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. ඒකේ වාසිය පොදුජන පෙපෙරමුණට හෝ ශ්‍රිලනිපය ට නෙවෙයි. Unp එකටයි වාසිය යන්නේ " කියාද පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති රැස්වීමක අදහස් දක්වමිනි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර එල්ලකරන අවලාද වැලැක්වීමට පොහොට්ටු නායකත්වය කටයුතු නොකිරීම ගැන ඔහු සිය අසතුටද දැක්වීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
දුෂ්කර තීන්දුවක් ගත්තේ !
පක්ෂය බේරගන්න ජනාධිපතිවරණයට තනියම තරග කරමු " පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ අපේ පක්ෂය අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් තිබුණේ මොකක්ද ගන්න තීන්දුව කියලා. චන්ද්‍රිකා මැතිණිය ඇතුළු පාර්ශව කිව්වේ තනියම ඉල්ලලා පක්ෂය ආරක්ෂා කරගමු කියලා. මගේ මතය වුණේ අපි ගෝඨාභය රාජපක්ෂ ට සහය නොදුන්නොත් දිනන්නේ එජාපය ඒ නිසා ඒකට ඉඩනොදිය යුතුයි කියලා.
අපේ සහය අරගෙන දිනලා දැන් අපිව පරද්දන්න කතා කරනවා. මෛත්‍රී ට ගෑවුණ අයෙකුට ජන්දය දෙන්න එපා කියනවා. ජනාධිපතිවරණය දිනන්න මෛත්‍රී ට ගෑවුණ අයගේ ජන්දය හොඳයි, දැන් නරකයි.. මේක ගුණමකු කම නෙවෙයි නම් මොකක්ද ?
අපි සියඹලා ගෙනල්ලම නැද්ද ?
ලක්ෂ 14කින් දිනුවා කියලා සමහරු ලොකුවට කිව්වට ඇත්තටම දිනුවේ ලක්ෂ 4කින්. ගෝඨාභය රාජපක්ෂ 50%ක් ගන්න නම් ජන්ද ලක්ෂ 65ක් ගන්න තිබුනා. සම්පූර්ණ ජන්ද ලක්ෂ 69යි, ඉතිරි ලක්ෂ 4 හදාගත්තේ ශ්‍රිලනිප ජන්ද වලින් නෙවෙයිද ?අපි සියඹලා ගෙනල්ලම නැද්ද ?
එදාා මෛත්‍රී ට ගෑවුණ අය හොඳයි .. අද නරකයි ..අපේ සහයෝගය , ශක්තිය අරගෙන ආණ්ඩු හදන්න හොඳයි .. ආණ්ඩුව හදාගෙන අපිට පයින් ගහනවා. ඒකට මුහුණ දෙන්න අපි සූදානම්. අපේ පාක්ෂිකයන් පවා බලාගෙන ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා.
ශ්‍රිලනිපය නොසන්සුන් : වෙන්වෙන යෝජනාවකුත් ඇවිත් !
මේ අතර පොහොට්ටු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් දියත්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධය සම්බන්ධව ශ්‍රිලනිප අභ්‍යන්තරයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තවදුරටත් පොහොට්ටු සන්ධානයේ නොසිට ඉන් ඉවත්වී තනිව තරග කළ යුතු බවට දැඩි මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ මතුව තිබේ.
ඊට හේතුව ලෙස වාර්තා වන්නේ යහපාලන ආණ්ඩු සමයේ එක්සත් ජාතික පක්ෂය පවා සිදුනොකළ ආකාරයට පොහොට්ටු ප්‍රබලයන් ශ්‍රිලනිප ය වෙත දැඩි අවලාද ව්‍යාපාරයක් ප්‍රසිද්ධියේ ආරම්භ කර තිබීමය.
එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම ගැනත් ශ්‍රිලනිප ක්‍රියාකාරීන්ගේ සැකයට භාජනය වී තිබේ.
ජාතික ලයිස්තුවේ 1යි : මැතිවරණයෙන් 4 යි !
මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනකු තක්සේරු කර ඇත්තේ පොහොට්ටු ප්‍රබලයන්ගේ උත්සාහය පක්ෂය සහ එහි නායකත්වය අපකීර්තියට පත්කර මනාප ලයිස්තුවේ පසුපසට ඇද දැමීමටත් ශ්‍රිලනිප අපේක්ෂකයන් පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථා හැකි උපරිමයෙන් අවම කිරීමට බවය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් 4 කට වඩා මහ මැතිවරණය හරහා පාපාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව නොදිය යුතු බවත් ජාතික ලයිස්තුවේ ද එඑක මන්ත්‍රී ධූරයක් ලබාදී ශ්‍රිලනිප දියකර හැරීමේ සූදානමක් ගැනත් එම පක්ෂ අභ්‍යන්තරයේ අවධානය යොමුව ඇත.
එහිදී පක්ෂ ක්‍රියාකාරීන් බහුතරයකගේ අදහස වී ඇත්තේ පොහොට්ටු සන්ධානය නොමැතිව තරග කළත් තරුණ සහ දක්ෂ නවකයින් ඇතුළත් කරගත් "අත" ලකුනින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වුවහොත් මන්ත්‍රී ධූර 10- 15ත් අතර ප්‍රමාණයක් දිනා ගැනීමට හැකියාව ඇති බවය.
සිරිපාල සහ අමරවීර වෙනම ගේමක !
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිව තිබෙණ මේ සංවාදය තුළ පොහොට්ටු සන්ධානය වෙනුවෙන් දැඩිව පෙනී සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පමණක් බවත් වාර්තා වෙයි.
ලැබී ඇති තොරතුරු වලට අනූව හිටපු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ගේ ස්ථාවරය වී ඇත්තේ තමන්ට බදුල්ලෙන් ජයග්‍රහණය ලැබීම දුෂ්කර නැති බැවින් අනවශ්‍ය දේ ගැන නොසිතන බවය.
එසේම හිටපු මන්ත්‍රී මහින්ද අමරවීර ද අනවශ්‍ය කරුණක් ලෙස සලකමින් පොහොට්ටු ප්‍රබලයන් විසින් ශ්‍රිලනිප නායකයන් ඉලක්ක කර දියත්කර ඇති විරෝධය ගැන ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
බදාදා මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි !
මේ පසුබිමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එළැඹෙන බදාදා (11) රැස්වීමට නියමිත බවත් වාර්තා වන අතර එහිදී පොහොට්ටු ප්‍රබලයන් දියත් කර ඇති ශ්‍රිලනිප විරෝධය ගැන බරපතළ ලෙස අවධානය යොමුවනු ඇති බවත් වාර්තා වෙයි.
පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු පොහොට්ටු සන්ධානය තුළ තවදුරටත් සිටීම ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
එම පිරිසේ ස්ථාවරය වී ඇත්තේ පොහොට්ටු නායකයන් තවදුරටත් ශ්‍රිලනිපය අවතක්සේරුවට පත්කර තම අඅවලාකාරයන් පාලනය නොකරන්නේ නම් පක්ෂයේ තරම මැතිවරණය අවස්ථාවේ පෙන්වා නියම තැන හිමිකර ගතයුතු බවය.

