ජන්දය කිට්ටුව : පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සැරටම "MSD ගාය" !

 ජන්දය කිට්ටුව : පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සැරටම  "MSD ගාය" !

පාර්ලිමේන්තුව විසුරවා ඇති අවස්ථාවේ ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් ඇමති ආරක්ෂකයින් වැඩිපුර යොදාගෙන සිටීම සම්බන්ධව පැමිණිලි ලැබෙමින් ඇති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.

මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට රථගාය (වැඩිපුර රජයේ වාහන භාවිතය ) වැළඳීම සාමාන්‍ය දෙයක් ලෙස කාලයක් පුරා නිරීක්ෂණය වුවත් මැතිවරණයක් ආසන්න අවස්ථාවේ වැඩිපුර ආරක්ෂකයන් යොදාගැනීම සාමකාමී සහ නිදහස් මැතිවරණයක් වෙනුවෙන් වන යහපත් නිමිත්තක් නොවන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
 
මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු සඳහන් කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ මන්ත්‍රීවරයෙකු මේ වන විට ඇමති ආරක්ෂක නිලධාරීන් 6දෙනෙකු ලබාගෙන සිටින බවට වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධව මේ වන විට වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත්ය.
 
පාර්ලිමේන්තුව විසුරවා ඇති අවස්ථාවක සහ ජාතික ආරක්ෂාව නිශ්චිතව තහවුරු කර ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම  ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම් පවා පවසා ඇති පසුබිමේ මේ ආකාරයට ඇමති ආරක්ෂකයන් වැඩිපුර ලබා ගැනීම ආණ්ඩුව නිකරුණේ ඇතිකර ගන්නා කැළලක් බවත් ඔහු පැවසීය.
 
එබැවින් මේ ආරක්ෂක ගාය සුවකර ගැනීමට මන්ත්‍රීවරුන් වෙත උපදෙස් නිකුත් කිරීම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ වගකීම බවත්  නියමිත ප්‍රමාණයට වඩා ආරක්ෂකයන් වැඩිකර ගැනීමට අවශ්‍ය නම් ඊට නියමිත පටිපාටිය අනුගමනය කිරීම මන්ත්‍රීවරුන්ගේ යුතුකම බවත් ඔහු සඳහන් කළේය.
 
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ඇමති ආරක්ෂකයන් සමඟ කටයුතු කිරීම ගැටළුවක් නොවුණත් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු අසාමාන්‍ය ඇමති ආරක්ෂකයන් ප්‍රමාණයක් තබාගෙන සිටීම ආණ්ඩුවේ අපේක්ෂකයන්ට පවා සිදුකරන වක්‍ර තර්ජනයක් ලෙස සැළකිය හැකි බවත්  ඔහු පෙන්වා දුන්නේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයා පවසා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු  නිල වශයෙන් ආරම්භ වන අවස්ථාව වන විටත් මේ ආකාරයටම කටයුතු කරන බවට පැමිණිලි ලැබුණහොත් ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමේ සිට සෑම අයුරකින්ම ක්‍රියාකරන බවය.
මේ සම්බන්ධව අප වෙත තොරතුරු වාර්තා කළ හම්බන්තොට වාර්තාකරුවෙකු අනාවරණය කර සිටියේ ඩී.වී. චානක මන්ත්‍රීවරයා සමඟ සාමාන්‍යයෙන් සිටිය යුතු ඇමති ආරක්ෂකයන් ප්‍රමාණයට වඩා සිටින බව අවස්ථා කිහිපයකදී නිරීක්ෂණය වූ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න