ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර බල්ලන් බැඳතබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ වගකීමක් බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසයි.
ඊයේ (09) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර ඒ 'පොහොට්ටුවේ' ඇතැම් නායකයින් ගෙන් ශ්‍රීලනිපයට එල්ලවන දැඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ජඩයෙකු බවත් ඔහුට ගෑවුණු අයෙකුට හෝ මනාප නොදිය යුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 05 වනදා කළ ප්‍රකාශය මෙහිදී හිටපු මන්ත්‍රීවරයාගේ දැඩි අවධානය යොමුව තිබිණ.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මෙසේද පැවසීය.
"ප්‍රසන්න රණතුංගට මේ රටේ ජාතික පිළිගැනීමක් නෑනෙ. ශ්‍රීලනිපය ගිවිසුම් අත්සන් කරලා එකතුවෙලා තියෙන්නෙ පොදුජන පෙරමුණයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි එක්කලා. එතකොට එහෙම ගෑවිච්චි එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා කියනව නම්, මම ප්‍රසන්න රණතුංගගෙන් අහනවා මේ රටේ ලොකුම ශ්‍රීලනිපයට ගෑවිච්චි කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඊළඟට ශ්‍රීලනිපයට මෑත කාලේ වැඩියෙන්ම ගෑවිච්ච ලකුණ තමා පොහොට්ටුව. මොකද ශ්‍රීලනිපය එක්ක ගිවිසුම් අත්සන් කරලා හැම ශ්‍රීලනිප සාමාජිකයෙක්ම ඡන්දෙ දුන්නෙ ගෝඨාභය රාජපක්ෂට. එහෙනම් එයාට ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරන්න වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව.
ඉතින් අපි කියනවා මේ ප්‍රසන්න රණතුංග වගේ අයට ශ්‍රීලනිප ඡන්ද යූඑන්පී එකට තල්ලු කරන දේශපාලනය කරන්න එපා. ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් වගකීමක් තියෙනවා මේ රටේ සමස්ත ජනතාව ගැන හිතලා බල්ලො බැඳලා දාන්න. බල්ලො බඳින එක එතුමන්ලාගෙ වගකීමක්"

