සෞඛ්‍ය සේවාව සැලකිල්ලක් නැති, අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරලා

සෞඛ්‍ය සේවාව සැලකිල්ලක් නැති, අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරලා

අර්බුදයක ප්‍රමුඛතා කාගේ ද?

රටක අර්බුදකාලයක දී, එම රජය කුමන කණ්ඩායම්ට ප්‍රමුඛතාව ලබාදෙන්නේ ද යන්නෙන් එම පාලනයේ සැබෑ ස්වභාවය හඳුනාගත හැකකි ය. ශ්‍රී ලංකාවේ ඉන්ධන සීමාකරණය සඳහා කේත පදනම් කරගත් ක්‍රමයක් (QR ක්‍රමය) හඳුන්වා දීම සම්පත් කළමනාකරණය සඳහා වැදගත් පියවරක් වුව ද, එය ක්‍රියාත්මක වන ආකාරය තුළ සෞඛ්‍ය සේවාවට සිදුකර ඇති නොසලකා හැරීම, රජයේ ප්‍රමුඛතා පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් මතු කරයි.

QR

සමානයි; නමුත් සාධාරණ නැහැ

ත්‍රීරෝද රථයක් හෝ පුද්ගලික කාර් රථයක් අතර වෙනසක් නොකර එකම ඉන්ධන ප්‍රමාණයක් ලබාදීම මුලින් බැලූ විට සාධාරණ ලෙස පෙනී යා හැකි ය. නමුත් සමාන ලෙස බෙදා දීම සෑම අවස්ථාවක ම සාධාරණ බව නොවේ. සෞඛ්‍ය සේවකයා ගේ ගමන් යනු පුද්ගලික පහසුකම් සඳහා නොව, රෝගී ජීවිත ආරක්ෂා කිරීම සඳහා සිදුකරන අත්‍යවශ්‍ය ගමන් ය. එවන් තත්ත්වයක, අත්‍යවශ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය නොවන භාවිත එකම මට්ටමින් සලකා බැලීම, ප්‍රතිපත්තිමය අසාධාරණයක් බව පැහැදිලි ය.

නිවාඩු තියෙනවා; නමුත් සෞඛ්‍ය සේවකයාට නැහැ

සියලු රාජ්‍ය සේවකයින් සඳහා බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස නියම කර ඇති අතර, එය ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා ගත් පියවරක් ලෙස පැහැදිලි කර ඇත. නමුත් එම නිවාඩුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ නොවේ. ඔවුන් අනිවාර්යයෙන් ම සේවයට වාර්තා කළ යුතු ය. මෙහි ඇති විරුද්ධාභාසය පැහැදිලි ය. එක් පාර්ශවයකට ඉන්ධන ඉතිරි කිරීමට නිවාඩු ලබාදෙන අතර, අනෙක් පාර්ශවය ඒ නිවාඩුවෙන් බැහැර කරමින්, එම ඉන්ධන සීමාව යටතේ සේවයට පැමිණීමට බල කර ඇත. මෙය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සුවිශේෂිත රාජකාරිමය පීඩාවකට ලක් කිරීමක් වන අතර, එවන් තත්ත්වයක දී ඔවුන් ගේ අවශ්‍යතා සාමාන්‍යකරණය කිරීම තාර්කිකව ද, සාධාරණව ද පිළිගත නොහැකි ය.

සේවාව තියෙනවා; සේවකයා අතහැරලා

සෞඛ්‍ය සේවාව නතර කළ නොහැකි බව රජය පිළිගනී. නමුත් එම සේවාව පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන, ප්‍රවාහන පහසුකම් හෝ විශේෂ සහනයක් ලබාදීමේ දී එම සුවිශේෂත්වය සැලකිල්ලට ගෙන නොමැත. ඒ අනුව අද තත්ත්වය තුළ “සේවාව අත්‍යවශ්‍යයි, නමුත් සේවකයා අත්‍යවශ්‍ය නොවේ” යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

පෝලිම් අතර රෝගියා

ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණන් පෝලිම්වල සිටීම සෞඛ්‍ය සේවකයා ගේ වෘත්තීය කාර්යයක් නොවුව ද, අද එය ඔහු ගේ හෝ ඇය ගේ දෛනික යථාර්ථය බවට පත්වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සේවයට ප්‍රමාද වීම, හදිසි කැඳවීම් මග හැරීම සහ සේවා ස්ථාන අතර ගමන් සීමා වීම යනාදි තත්ත්ව උද්ගත වෙයි. මේ සියල්ල අවසානයේ බලපාන්නේ රෝගියාට ය. සෞඛ්‍ය සේවාවේ ප්‍රමාදයක් යනු පහසුකම් ගැටලුවක් නොව, ජීවිතයට සෘජුව බලපාන තත්ත්වයකි.

වහාම දැනෙන හානි

මෙම තත්ත්වය තුළ රෝගීන්ට වහාම දැනෙන බලපෑම් පැහැදිලිව පෙනී යයි. ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වන අතර, සායන සේවා අඩාළ වේ. හදිසි සේවාවලට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීමෙන්, කලින් පාලනය කළ හැකි තත්ත්ව පවා අවදානම් මට්ටමකට පත්වේ. පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වීමෙන් රෝග හඳුනාගැනීම ප්‍රමාද වන අතර, සත්කාරයේ ගුණාත්මකභාවය පහළ යෑම දක්නට ලැබේ. මෙවන් තත්ත්ව එකට එකතු වූ විට, සරලව සුව කළ හැකි රෝග තත්ත්ව පවා ජීවිත අවදානමකට පත් විය හැකි ය.

නිශ්ශබ්ද දිගුකාලීන හානි

nurses

මෙම ගැටලුව දිගුකාලීනව පවත්වා ගියහොත්, එහි බලපෑම තවදුරටත් ගැඹුරු වේ. දිගුකාලීන රෝග පාලනය අඩාළ වීමෙන් රෝගීන් advanced තත්ත්වයන්හිදී පමණක් හඳුනාගැනීමට සිදුවේ. හදිසි සේවා ප්‍රමාද වීම නිසා වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් පවතී. එමෙන්ම, නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ ජන විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් පෞද්ගලික අංශයට මාරුවීම සහ පවුල්වල ආර්ථික බර වැඩිවීම ද සිදු විය හැකි ය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෙහෙස සහ වෘත්තීයයෙන් ඉවත්වීම යනාදි තත්ත්ව ද සමස්ත පද්ධතියේ ස්ථායීතාවයට තර්ජනයක් වේ.

ලෝකය කරපු දේ අපි නොකළේ

ලෝකයේ අනෙකුත් රටවල් අර්බුද සමයන්හි අත්‍යවශ්‍ය සේවා වෙනස් කර සලකා බැලීම මූලික කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. එම රටවල් සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව ලබාදී, සේවා අඛණ්ඩතාව ආරක්ෂා කර ඇත. එයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සියල්ලට ම එකම ප්‍රතිපත්තියක් යොදා ගැනීම, ප්‍රතිපත්තිමය දුර්වලතාවක් බව පැහැදිලි ය.

අත්දැකීම් තිබුණා; භාවිතා කළේ නැහැ

Sri Lanka

කොවිඩ්-19 වසංගත සමයේ, සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ ගමන් අවසර, ප්‍රවාහන පහසුකම් සහ සම්පත් ප්‍රමුඛතා ලබාදීම යනාදි ක්‍රමවේද සාර්ථකව යොදාගෙන තිබුණි. එවන් අත්දැකීම් තිබිය දී, අද එම ක්‍රම නැවත භාවිතා නොකිරීම, සම්පත් හිඟයක ප්‍රශ්නයක් පමණක් නොව, පවතින දැනුම නොසලකා හැරීමක් ලෙස පෙනී යයි.

මෙය අනතුරක්

මෙය සරල ඉන්ධන ගැටලුවක් ලෙස නොසලකා බැලිය යුතු ය. මෙය රෝගී ජීවිතවලට සෘජුව බලපාන, සෞඛ්‍ය පද්ධතියේ ස්ථායීතාවට තර්ජනයක් වන ජාතික මට්ටමේ අවදානමකි. එය දිගට ම පවත්වා ගෙන ගියහොත්, සෞඛ්‍ය පද්ධතිය ක්‍රමානුකූලව කඩා වැටීම වැළැක්විය නොහැකි ය.

වචන නොව, ක්‍රියාවෙන් පෙන්වන්න

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගනී. නමුත් එය වචනයකින් පමණක් නොව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළ ද පෙන්විය යුතු ය. අද තත්ත්වය තුළ සෞඛ්‍ය සේවාවට ලබාදෙන සැලකිල්ල සහ රජය දක්වන ප්‍රමුඛතාව අතර පැහැදිලි පරතරයක් පවතී. එම පරතරය පිරවීම රජයේ වගකීමකි. එය සිදු නොවන්නේ නම්, මෙය ඉන්ධන අර්බුදයක් නොව, සෞඛ්‍ය පද්ධති අර්බුදයක් බවට පරිවර්තනය වීම අනිවාර්යය යි.

රවී කුමුදේශ් - සම කැදවුම්කරු, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න