කොරෝනා වැළක්වීමට වඩා වැදගත් මහ මැතිවරණයයි : ආණ්ඩුවේ ස්ථාවරය එළියට !

කොරෝනා වැළක්වීමට වඩා වැදගත් මහ මැතිවරණයයි : ආණ්ඩුවේ ස්ථාවරය එළියට !

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පැවතිය ද මැතිවරණය නියමිත වෙලාවට පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ස්ථාවරය බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ උපදේශකයන් විසින්ද නිර්දේශ කර ඇත්තේ මහ මැතිවරණය නියමිත ලෙස අප්‍රේල් 25 පැවැත්විය යුතු බවට බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයට සාපේක්ෂව මේ වන විට පොදුජන පෙරමුණ ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යමින් ඇති බවත් එබැවින්  තවදුරටත් මැතිවරණය පැවැත්වීමට කල්ගත කළහොත් එය ආණ්ඩුවට බලවත් අවාසියක් වනු ඇති බව උපදේශකයන්ගේ ස්ථාවරය වී තිබේ.

මේ බව ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි සහභාගී වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීද තහවුරු කෙරිණ.

එහිදී අමාත්‍යවරිය පවසා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රචාරණ කටයුතු තාවකාලිකව හෝ අත්හිටුවීමක් නොකෙරෙන බවත් ජනතා රැස්වීම් පමණක් අත්හිටුවා ඇති බවත්ය.

ඇය මෙසේ සඳහන් කලේ "කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුවන තත්වය අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව හෝ අත්හිටුවීමට හැකියාවක් තිබෙනවා නොවේද ?"යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය. 

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිවරණයට හෝ වෙනත් කාරණයකට හෝ සෙනඟ රැස්කර ජනතාව රැස්වන අවස්ථා සඳහා රජය අවසර නොදෙන බවය.

එම ප්‍රකාශයට අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමක් සිදුනොවනවා කියන්නේ නියමිත වේලාවට මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ සූදානම බවය.

කොහොම හරි මැතිවරණය තියා ගන්නවා - සුමතිපාල 

මේ බව පසුගිය සතියේ තවදුරටත් තහවුරු කෙරුනේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්වය යටතේ වුවත් කිසිසේත්ම මහමැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් අනිවාර්යයෙන්ම අප්‍රේල් 25 වනදා නියමිත පරිදි මහමැතිවරණය පවත්වන බවට පොදුජන පෙරමුණේ අපේක්ෂක තිලංග සුමතිපාල සිදුකළ ප්‍රකාශය විසින්ය.

පසුගිය 12 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර “කලට වෙලාවට මැතිවරණ තියන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජනතාව, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීම තුළින්. ඒනිසා අපි කිසිසේත්ම ,මැතිවරණ කොමසාරිස් හෝ ආණ්ඩුව, මේ මැතිවරණය කල් දැමීම පිළිබඳ එකඟතාවයක් නෑ, අපට කරන්න පුළුවන් හැම මහන්සියක්ම යොදලා හැම උත්සාහයක්ම දරලා අප්‍රේල් මාසෙ 25 වෙනිදාට දින නියම කරන් තියෙන මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රකාශයට පත්කිරීමට තියෙන අවස්ථාව අපි ඉෂ්ඨ කරලා දෙනවා” යනුවෙන්ද ඔහු පැවසීය.

ආණ්ඩුවේ භය සාධාරණයි !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම නොතකා නියමිත වෙලාවට කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට පොදුජන පෙරමුණ ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති සැබෑ දේශපාලන කරුණ සාධාරණ බවය.

තවදුරටත් මහ මැතිවරණය පැවැත්වීම කල්දැමූවහොත් ආණ්ඩුව සම්බන්ධව මතුව ඇති ජනතා විරෝධය තවත් වැඩිවනු ඇති බව ආණ්ඩුවේ ආකල්පය බවත් ලංකා ඉතිහාසයේ කිසිඳු ආණ්ඩුවක් සිදුනොකරගත් ආකාරයට අතතියන සෑම කටයුත්තක්ම අනාගෙන ආණ්ඩුව අසාර්ථක වූ බව ඔප්පුවීම තුළ කඩිනම් මැතිවරණයක් වෙත යාම හැර බලය රැකගැනීම වෙනුවෙන් වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ආණ්ඩුව වැඩියෙන්ම භය - රුපියල බාල්දුවීම සහ ආර්ථික අර්බුදයට ! 

ඉතිහාසයේ පළමු වරට පසුගිය 13 වනදා  ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 185.00 ඉක්මවා ගිය අතර එය ලංකා ඉතිහාසයේ සිදුවූ වාර්තාගත අගය බවත් සිහිපත් කරන දේශපාලන විචාරකයන් කොටස් වෙළඳපොල බිඳවැටීම ඇතුළු සංවේදී ආර්ථික චලනයන් විසින් මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු තහවුරු කර ඇති බවත් පෙන්වා දෙයි.

ඒ හමුවේ ආණ්ඩුව බියවී සිටින්නේ ආර්ථික අර්බුදය සමඟ මතුවන තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් හෝ දැක්මක් ආණ්ඩුවට තිබෙන බව මෙතෙක් කිසිම අයුරකින් පෙන්වීමට ආණ්ඩුව සමත්ව නොමැති බවත් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

එවැනි පසුබිමක කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සහ එය මැඩපැවැත්වීම වෙනුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර කඩිනම් ක්‍රියාමාර්ග ගනු වෙනුවට මහ මැතිවරණය හරහා බලය ස්ථාවර කර ගැනීම වැදගත් බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ ප්‍රවණතාව ප්‍රශ්න නොකිරීම සහ විපක්ෂය බෙදී දුර්වලව සිටීම ආණ්ඩුවට මේ මොහොතේ ඇති එකම සහනය බවත් ඔවුන් අවධාරණය කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න