ශ්‍රීලනිපය වෙනම ඉල්ලන තීන්දුව බලවත් වෙයි : පාක්ෂිකයන් පැජට් පාරට රැස්වෙයි !

ශ්‍රීලනිපය වෙනම ඉල්ලන තීන්දුව බලවත් වෙයි : පාක්ෂිකයන් පැජට් පාරට රැස්වෙයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ පිහිටි නිවෙස ඉදිරිපිටට ඊයේ (16) රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීමට ඉඩනොදී මෙවර මහ මැතිවරණය වෙනුවෙන් වෙනම තරග කිරීමට තීරණයක් ගන්නා ලෙස ඉල්ලා ඇත.

මෙසේ රැස්වූ පිරිස අතර නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් මෙන්ම ප්‍රබල පක්ෂ ක්‍රියාකාරීන් සිට ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට එම පිරිස පක්ෂ සභාපති සිරිසේනගේ පැජට් පාරේ නිවස ඉදිරියට රැස්ව ඇත්තේ  ඒ  වනවිට එම නිවසේ ඉදිරි මහමැතිවරණයට ශ්‍රීලනිපය තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ආරම්භ වී ඇති බව දැනගැනීමත් සමඟය.

ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි !

මේ වන විට මහ මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවති අවසන් සාකච්ඡාව ඊයේ (16) අන්තිම අසාර්ථකව අවසන්ව ඇති බවත් වාර්තා විය.

මෙවර මහ මැතිවරණය සඳහා 'පොහොට්ටුව' ලකුනුන් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවය පළකර  තිබුනේ පොහොට්ටු පක්ෂයේ නායකත්වය විසින් ලබාදී තිබු පොරොන්දු රැසක් මතය. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලුදෙනාට හා ඊට අමතරව අවම වශයෙන් එක දිස්ත්‍රීක්කයකින් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදීම එම එකඟතාවයන් අතර තිබු මුලික කොන්දේසියක් විය.  නමුත් ජනාධිපතිවරණ සමයේදී පැවති එකනගතාවය වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට මුළු අපේක්ෂක ප්‍රමාණයෙන් සියයට 30ක ප්‍රමාණයක් ලබාදෙන බවයි.

එහෙත් එම කොන්දේසි මේවනවිට මුළුමනින්ම කඩකර ඇති පොහොට්ටු පක්ෂ නායකයින්, නිශාන්ත මුතුහෙට්ටිගමට ගාල්ල දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදීමට නොහැකි බව දන්වා ඇති අතර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ලසන්ත අලගියවන්නට හැර වෙනත් කිසිඳු ශ්‍රීලනිප අයකුට නාමයෝජනා දිය නොහැකි බවද දැනුම්දී ඇත. 

එසේම කළුතර දිස්ත්‍රීක්කය නියෝජනය කළ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී මහින්ද සමරසිංහ 'පොහොට්ටු' පක්ෂයට බඳවා ගනිමින්, ශ්‍රීලනිපයේ කිසිවකුට කළුතර දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

මහින්ද සමරසිංහ පොහොට්ටුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්‍ රාජපක්ෂ අතින් මහින්ද සමරසිංහ පසුගිය 15 වනදා  දින එම පක්ෂ‌යේ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණය සඳහා තරග වැදීමට ඔහු නාමයෝජනා අත්සන් කිරීමද සිදු කර ඇත.  

 89005543 2804052793011121 8105140875723538432 n 768x512

බැසිල් මාරු වෙලා : සාගරට බැනුම් !

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ශ්‍රීලනිප මාධ්‍යය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන ශ්‍රීලනිප නායකයින් ඊයේ  පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හමුවීම සඳහා බත්තරමුල්ලේ පිහිටි 'පොහොට්ටු' කාර්යාලයට ගොස් ඇත්තේ මේ මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය විසඳා ගැනීමේ අපේක්ෂාවෙන් වුවත් බැසිල් රාජපක්ෂ ඒ අවස්ථාව මඟහැර ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රීලනිප කණ්ඩායමට මුණගැසීමට ලැබී ඇත්තේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පමණය. එහිදී ශ්‍රීලනිප නියෝජිතයන් අදාළ ප්‍රශ්න ඉදිරිපත් කර ඇතත් සාගර කාරියවසම් පවසා ඇත්තේ තමන්ට ඒ ප්‍රශ්න විසඳිය නොහැකි බවය.

''තමුසෙට එහෙම තීන්දුවක් ගන්න බැරිනම්, මොකද අයිසේ අපිව කැඳවලා රස්තියාදු කලේ'' යයි එම අවස්ථාවේදී දුමින්ද දිසානායක දැඩි අවේගයෙන් යුතුව පවසා තිබේ.

මේ කෙනෙහිලිකම් හමුවේ වහාම ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවා 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් වන්නේද නැද්ද යන කාරණය ඊයේ  රාත්‍රීයේ තීන්දු කිරීමට සූදානම් කර ඇත්තේ ඒ අනුවය. මෙම සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක වෙන්ව තරග කිරීම සම්බන්ධයෙන් දැඩිව ‌පෙනී සිටීමට තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.  

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න