Language Switcher

V2025

ෆේස් මාස්ක්ස් ඕනද? නැද්ද? ආණ්ඩුව කෙළින් කියනවද? : පුරවැසි ප්‍රශ්නයක් !

පුවතට පෙර සංස්කාරක සටහන - "පාලනයේ නාමයෙන් මුග්ධත්වයට ජනයා දැක්කවීම හෙවත් 'මුඛ ආවරණ" මැයෙන් සටහනක් පාඨකයකු විසින් අප වෙත යොමුකර ඇත. 
 
එහිදී අප එය සංස්කරණය නොකර පළකරනුයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සහ මුහුණු ආවරණ සම්බන්ධ උනන්දුවක් දක්වන ප්‍රජාවගේ කොටසක මේ මොහොතේ මනස හැසිරෙන ආකාරය සම්බන්ධව වගකිවයුතු පාර්ශව දැනුවත් විය යුතුය යන චේතනාවෙනි. එසේම ගෝලීය වසංගතයක් හමුවේ ජාතික ව්‍යසනයක් සම්බන්ධව භීතියෙන් පසුවන සමාජය වෙත පණිවිඩය නිශ්චිතව සැකසංකා ඇතිනොවන පරිදි යොමුකිරීම බලධාරීන්ගේ යුතුකම සහ වගකීමද වන බව සඳහන් කළ යුතුව ඇත. මේ මිනිස් ජීවිතය - මරණය සම්බන්ධ නියත - අනියත භීතියක් ඇති පසුබිමක් බැවින් මේ පණිවිඩය බලධාරීන් වෙත යැවීම මාධ්‍ය යුතුකම බවත් අපේ විශ්වාසයයි.
 
එසේම මේ පළකිරීම හේතුවෙන් කොරෝනා මර්දනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඒ වෙනුවෙන්  වෙහෙසෙන , ජීවිත අවධානම පවා නොතකා  සේවය සපයන කිසිවෙකුගේ ඒ කාර්ය භාරය වෙනුවෙන් ලැබිය යුතු ගෞරවය අංශු මාත්‍රයකින් හෝ  හෝ අඩු නොවන බවත් අවධාරණය කළ යුතුව ඇත.
 
පාඨකයා එවූ සටහන පහත දැක්වෙයි. 
 
"ෆේස් මාස්ක්ස් ඕනේද? නැද්ද? ආණ්ඩුව කෙළින් කියනවද?" - මේ මූණු පොතේ තරුණයෙකු අසන ප්‍රශ්නයකි.
 
මේ ප්‍රශ්නය ඇසීමට මෙම තරුණයාට හේතු වී අත්තේ (අනුමාන කරමි) වෛද්‍ය අනිල් ජාසිංහ රූපවාහිනී සාකච්ඡාවකදී කියූ දෙයකි. ඔහු කියන්නේ "සමාජයේ කොරෝනා පැතිර යාමක් නෙපෙනෙන නිසා, මුඛ ආවරණය පැළදීම අවශ්‍ය නොවන බවකි. එහෙත්, එය කොන්දේසි සහගත සහතිකයකි. සමාජයේ කොරෝනා පැතිරුණහොත්, මුඛ ආවරණ අවශ්‍ය බවකි ඔහු වක්‍රව කියන්නේ.
 
බළලා මල්ලෙන් එළියට පැන්නේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සිරස රූපවාහිනී සාකච්ඡාවකදී පැවසූ කරුණකිනි. ඔහු සමාජ මාධ්‍ය අයුතු ලෙස භාවිත කළ බව කියනු ලබන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බවක් කියා, මූණු පොතේ වෙනත් පෝස්ටුවක් පළ කරන්නවුන්ට ද අනතුරු ඇගවූයේය. 
 
බ්‍රේකින් නිවුස් ලෙස එකී පෝස්ටුවෙන් කියැවුණේ කෝවිඩ්19 වෛරසය වාතයේ පැය කිහිපයක් බෝවෙන තත්ත්වයෙන් පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළ බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන ආකාරයට ඔහු මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසා ඇති අතර, එහි ප්‍රධානියා එවැනි ප්‍රකාශයක් කර නැති බව තහවුරු කර ගෙන ඇත. එබැවින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන්නේ මෙම ෆේස්බුක් පෝස්ට්ටුව ආණ්ඩුව අසීරුතාවකට පත් කිරීමේ අරමුණින් පළ කර ඇති බවයි. ඒ කෙසේද?
 
නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව, කෝවිඩ්19 වෛරසය වාතයේ පැය කිහිපයක් රැදෙන බව කියන විට ජනතාව කලබල වී මුඛ ආවරණ මිලදී ගැනීමට තල්ලු වන බවත්, අවශ්‍ය ප්‍රමාණයට මුඛ ආවරණ මේ මොහොතේ නොමැති බැවින් විශාල කලබගෑනියක් ඇතිවී ආණ්ඩුව අපහසුතාවට පත් වෙන බවයි.
 
එබැවින්, එම පෝස්ට්ටුව ආණ්ඩු විරෝධී එකක් බව අගවමින්, එය මූණු පෙතේ ෂෙයා නොකරන ලෙසට වක්‍රව මනෝ තගක්ද නීතිඥ නියෝජ්‍ය පොලිස්පතිවරයා දමයි.
 
ප්‍රශ්නය කුමක්ද?
 
මූණු පොතේ පෝස්ට්ටුව දැමූ තරුණයාගේ ප්‍රශ්නය වූයේ 'මුඛ ආවරණ' පැළදිය යුතුද? නැද්ද? යන්නයි.
 
වෛද්‍ය අනිල් ජාසිංහ 'වැසි වැස්සොත්, ගග පිරෙයි' කියා, කෙලින් පිළිතුරු නොදී ඇග බේරා ගත්තද, ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ආරක්ෂා කරන්නට උත්සාහ කළේ ජනතාවද? ආණ්ඩුවද? යන්න හොදින් වැටහේ. කෙසේවෙතත්, වෛද්‍ය ජාසිංගේ අදහස සමාජ ගත වූයේ 'මුඛ ආවරණ' පැළදීම අවශ්‍ය නෑ කියා වෛද්‍ය අනිල් ජාසිංහ පැවසූ ලෙසයි. එහි ප්‍රතිපලය වූයේ ඇදිරි නීතිය ඉවත් කළ පැය කිහිපයේ කොළඹ ඇතැම් ස්ථාන වල මුඛ ආවරණ නොමැතිව, එක ලග තෙරෙපෙමින් බඩු ගන්නට ජනයා පොදි කෑමට පවා බියක් නොදැක්වීමයි. 
 
එකක් කඩතොළු වසා ගන්නට ගිය ඉදුරුවේ ආචාරියාට වූ දේ ආන්ඩුවට සිදුවී ඇති බව පෙනේ. එය ග්‍රාම්‍යාකාරයෙන් කියන්නේ නම්, ආණ්ඩුව හත් පොළේ ගාගත් බවක් පෙනේ. 
 
ඇත්ත කුමක්ද?
 
මුඛ ආවරණ පැළදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය කියන්නේ නිරෝගී අය මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නොවන බවත්, එය පැළදිය යුත්තේ තවත් රෝගියෙකු සමග සම්බන්ධ වීමේදී බවත්ය. මෙම උපදෙස සලකා බැලීමේදී න්‍යායික මෙන්ම, ප්‍රායෝගික ප්‍රවේශයක්ද ඇත. 
 
න්‍යායික ප්‍රවේශය නම්, රෝගියෙක් නොවන්නේ නම් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවයි. ප්‍රායෝගික ප්‍රවේශයේ දී සලකා බැලිය යුත්තේ මහජනතාව ගැවසෙන ස්ථාන වලදී මුණ ගැසෙන්නේ රෝගියෙක්ද? නැද්ද? යන්න ගැන සහතිකයක් නැති වීමයි. ඒ අනුව අඩි හයක් දක්වා විහිදෙන වෛරසයකින් ආරක්ෂා වීමට නම්, මුඛ ආවරණ අත්‍යවශ්‍ය වෙයි. 
 
මෙම අවදානම බරපතල අවදානමක් බවට පත් වන්නේ කෝවිඩ්19 වෛරසය වාතයේ බෝවෙන තත්ත්වයෙන් පැය කිහිපයක් පවතින විටය. එවිට අවට පෙනෙන පුද්ගලයෙක් නොමැති වුවද, වෛරසයට විවෘත වීමේ අවදානමක් ජනිත වේ. මෙය මුඛ ආවරණ නිරෝධායන කාල සීමාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත් කරයි. 
 
හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ, හාවඩ් සෞඛ්‍ය ප්‍රකාශනයේ වෙබ් අඩවිය කෝවිඩ්19 කොරෝනා වෛරසය වාතයේ බෝවෙන තත්ත්වයෙන් පවතින්නේද? යන ප්‍රශ්නයට the New England Journal of Medicine හි පළ කළ පර්‍යේෂණ ලිපියක් පදනම් කරමින් පිළිතුරු දෙමින් දක්වන්නේ, පැය තුනක් දක්වා එම වෛරසය බෝවෙන තත්ත්වයෙන් පවතින බව පෙනී ගොස් ඇති බවයි.
 
මේ අනුවද පෙනී යන්නේ, අවට පෙනෙන පුද්ගලයෙක් නොමැති වුවද, වෛරසයට විවෘත වීමේ අවදානමක් ඇති බැවින්, මුඛ ආවරණ නිරෝධායන කාල සීමාවේ අත්‍යාවශ්‍යයෙන් පැළදිය යුතු බවයි.
 
ආණ්ඩුවට අවාසි වන දැනුමට පොලිස් තග
 
එහෙත්, ආණ්ඩුවට ඉල්ලුමට සපයන සැපයුමක් සහතික කළ නොහැකි බැවින් 'මුඛ ආවරණ' පැළදීම අවශ්‍ය නොවන බව ජ්‍යේෂ්ඨ වෛද්‍ය වෘත්තියෙක් වූ අනිල් ජාසිංහ ලවා නොකියා කියවන බවක් සහ නීතිඥ නියෝජ්‍ය පොලිස්පති ලවා වාතයේ කොරෝනා වෛරසය පවතින බවට පළවන පෝස්ට් මුහුණු පොතේ පළ නොකරන ලෙසට වක්‍ර මනෝ තගක් ද දම්මවන බවක්ද හැගේ. 
 
ආණ්ඩුවේ මෙම හැසිරීම දැනුම මත තීරණ ගත යුතු 'වියත් මග' දේශනා කළ මග නොවේ. අනෙක් අතට, එය ජනතාවගේ බුද්ධියට නිගා කරමින්, කොරෝනා සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක මත අනෙක් අය සමග බෙදා ගැනීමට පුරවසියාට ඇති නිදහස නීතිඥ යුනිෆෝම් එකක් ලවා යටපත් කරවන්නට උත්සාහ කරවයි.
ආණ්ඩුව කළ යුතුව තිබ්බේ කුමක්ද?
 
ආණ්ඩුව කළ යුතුව තිබුණේ අවශ්‍ය තරම් 'මුඛ ආවරණ' තොග, ප්‍රශ්නය මතුවන විටම ආනයනය කර තබා ගැනීමයි. මුඛ ආවරණ ප්‍රශ්නයේදී ආණ්ඩුවේ හැසිරීමද කොරෝනා වෛරස් යුධය ආණ්ඩුව අල්ලා ගත්තේ වලිග කොණෙන් බවට තවත් උදාහරණයක් සපයයි. 
 
කෙසේ වෙතත්, කොරෝනා මර්දන කටයුතු සාර්ථක වේවායි කියා මුළු හිතින් ප්‍රාර්ථනා කරන අතරම, පාලනයේ නාමයෙන් ජනතාව මුග්ධත්වයට දැක්කවීම වියත් මගක් නොවන බව ද සටහන් කරමි.
⁃නම හෙළි කිරීමට බය වෘත්තිකයෙක්