Language Switcher

V2025

ලංකාවේ කොරෝනා - ඉදිරි දින 10 තීරණාත්මකයි : බුද්ධි අංශ විමසිල්ලෙන් !

කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25) අවධානය යොමු කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීමේ දී කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර තිබේ. ඉදිරි දින 10 තීරණාත්මක වනු ඇත !ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ.ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.

මෙවන් පසුබිමක අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොවිඩ් 19 ආසාධිත වූ කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවීම විශේෂත්වයකි.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට දෙකක් සඳහා රෝග ලක්ෂණ ඉක්මනින් පෙන්නුම් කළත් සියයට 98ක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ, දින 11ත් 14ත් අතර කාලය තුලයි.

ඒ අනුව රටපුරා පුද්ගලයින් 23,000ක් ස්වයං නිරෝධායනය සඳහා මේ වන විට යොමුකර ඇත්තේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ හමුදා අධීක්ෂණයෙන්. එමෙන්ම නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිටුපස බුද්ධි අංශ ද නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ. 

ජන සමූහයන් එක් වූ ස්ථාන තුනක් හා සිදුවීම් 04ක් :

ජන සමූහයන් එක් වූ ස්ථාන තුනක් හා සිදුවීම් 04ක් :

එමෙන්ම බුද්ධි අංශ වෙත දැනටමත් වාර්තා වූ සිදුවීම් අතර ජන සමූහයන් එක් වූ ස්ථාන තුනක් හා සිදුවීම් 04ක් පිළිබඳව අධීක්ෂණය කෙරෙමින් පවතියි.

  • මාර්තු 12වනදා සිට 14වනදා දක්වා : රෝයල් -තෝමියන් ක්‍රිකට් තරඟය
    - රෝග ලක්ෂණ පෙන්නුම් කීරීමට ඇති අවසන් දිනය මාර්තු 28 වැනිදා

ඉන් පළමු වැන්න මාර්තු 12වනදා සිට 14වනදා දක්වා කොළඹ රාජකීය සහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති මහා ක්‍රිකට් තරගයයි.

ඊට හේතුව එම තරගය නැරඹූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමයි.

ඔහු සමග ඇසුරු කළ කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්නුම් කීරීමට ඇති අවසන් දිනය ලබන 28 වැනිදාට යෙදී තිබේ.

  • මාර්තු 13 :  කොළඹ ජාමි-උල්-අල්ෆාර්  යාඥා මෙහෙය :
    නිරෝධායනය කාලය මාර්තු 27 වැනිදා අවසන්

කොළඹ ජාමි-උල්-අල්ෆාර් ඉස්ලාම් දේවස්ථානයේ මාර්තු 13 වනදා පැවැති යාඥා මෙහෙය දෙවැනි ජන සමූහය එක් වූ ස්ථානය ලෙස බුද්ධි අංශ සලකනු ලබයි.

ඊට සහභාගීවූවන්ට දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන්ගේ නිරෝධායනය කාලය මාර්තු 27 වැනිදා අවසන් වීමට නියමිතය.

  • මාර්තු මස 15 : යාපනයේ පැවැති දේව මෙහෙය:
    රෝග ලක්ෂණ මාර්තු 29 වැනිදා වන විට

ඉන්අනතුරුව යාපනයේ අරියාලෙයි හි ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ මාර්තු මස 15වනදා පැවැති දේව මෙහෙය තෙවන ජන සමූහය රැස් වූ ස්ථානය ලෙස හඳුනාගෙන තිබේ.

ඊට සහභාගි වූවන් අතර කොරෝනා අසාදිතයින් සිටීනම් ඔවුන්ගේ රෝග ලක්ෂණ 29 වැනිදා වන විට පෙන්නුම් කළ යුතු වේ.

  • මාර්තු 21 : කොළඹ රතු පල්ලියේ දේව මෙහෙය
    - අවසන් දිනය අප්‍රේල් 03 දා

ජන සමූහයන් වාර්තා වූ සිව්වන සිද්ධිය වන්නේ ද කොළඹ රතු පල්ලියේ මාර්තු 21 දේව මෙහෙය.

ඊට සහභාගී වූවන්ට වෛරසය වැළඳී ඇත්නම් එම රෝග ලක්ෂණ ඔවුන්ට පෙන්නුම් කරන අවසන් දිනය වන්නේ අප්‍රේල් මස තුන්වනදායි. ඒ අනුව ඉදිරි දින දහයක කාලය ඉතාමත් තීරණාත්මක බව බුද්ධි අංශ හඳුණාගෙන තිබේ.

හමුදාපතිගේ කතාව !

 දිවයින පුරා පුද්ගලයින් 7500 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තවත් කණ්ඩායමක් අද එම මධ්‍යස්ථානවලින් පිටත් කිරීමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න ප්‍රධාන නගර වෙත රැගෙන යන බවයි.

කොරෝනා ආසාධනය වී සුවය ලැබු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව තුනකි.

ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යාතනය සඳහන් කළේ, සුවය ලැබූ කාන්තාවක් පෙරේදා රෝහලෙන් පිටව ගිය බවය.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ පස්වරු 4.30 වනතෙක් කිසිදු ආසාදිතයෙකු මෙරටින් වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි  තහවුරු කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වනවිට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන මෙරට රෝගීන් සංඛ්‍යාව 99 කි.

කොරෝනා බවට සැකපිට රෝගීන් 255 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහලේ සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.

මාතරින් සොයාගත් ආසාධිත කාන්තාව හෙදියක් :

මේ අතර කොරෝනා වැළදී ඇති බවට මාතර ප්‍රදේශයෙන් සොයාගත් 26 හැවිරිදි කාන්තාව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ හෙදියකි.

ඇය පසුගිය 14වනදා මාතර නාවිමන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් තිබේ. මාර්තු 20 වැනිදා ඇය නිවසේ සිට ත්‍රි රෝද රථයකින් මාතරට ගොස්  අධිවේගී මාර්ගයේ බස් රථයකින් කොළඹට පැමිණ ඇත්තේ සිය පියා සමගය.

ඇය බස් රථයට ගොඩවීමට පෙර මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් ද ලබාගෙන තිබේ. මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය.

අප මේ සම්බන්ධයෙන් අදාළ හෙද නිලධාරිනියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ, සිය පියා සහ වාට්ටුවේ සේවය කළ සෙසු හෙදියන් ද නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ යුද හමුදා කර්නල්වරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.