කොරෝනා අස්සේ : වෙළෙඳ කලාප කම්කරුවන් පඩි නැතුව ගෙදර යවලා !

කොරෝනා අස්සේ : වෙළෙඳ කලාප කම්කරුවන් පඩි නැතුව ගෙදර යවලා !

දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම සමග නිදහස් වෙළඳ කලාපයේ කොටුවී සිටි සේවක සේවිකාවන් දහස් ගණනක් වැටුප් හෝ කොරෝනා වෛරස් ආසාදන පරීක්ෂාවකින් තොරව  නිවෙස් බලා යැවීම හාම්පුතුන් විසින් ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ  සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට විශය භාර අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව යමින් බව පාලකයෝ පවසති.

දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ දිනයේ තීරණය කර තිබු අතර ඔහු උපදෙස්  ලබා දී තිබුනේ  ඇදිරි නීතිය හේතුවෙන් තවමත්  නේවාසිකාගාර වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

කටුනායක ආයෝජන මණ්ඩලයේදී  ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුනි.

වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව...

මාර්තු 27 සිකුරාදා උදෑසන 5 ට පමණ  පොලීසිය විසින් සේවක සේවිකාවන් දහස් ගණනක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇතුල්වීමේ ගේට්ටුව අසලට කැදවා තිබෙන අතර ඔවුන් පිටත් කර යවා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිතදැයි දැනගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව බවට  වෘත්තීය සමිති අනතුරු අඟවයි.

සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය  කර තිබු අතර එයද මේ වන විට උණ පරීක්ෂාවකට පමණක් සීමා වී ඇති බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.

ජීවිත අනතුරේ....

වැටුප් ගෙවීමකින් ද තොරව තමන්  නිවෙස් බලා පිටත් කිරීමට ආයතන  බලධාරීන් කටයුතු කරන බවට චෝදනා කරන නිදහස් වෙළද කලාප සේවකයෝ මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ කිසිදු ආරක්ෂිත  සැලසුමකින් තොරව කොරෝනා වෛරසයට තම ජීවිත  විවෘත කරමින් අද උදෑසන තමන් වෙළඳ කලාපයේ දොරටුව අසලට කැඳවා තිබු  බවටයි.

මෙලෙස නිවස් බලා පිටත් කිරීමට නියමිත වෙළද කළාපයේ සේවකයන් සදහා ආයතන විසින් වැටුප් ගෙවීමක් සිදු කර නොමැති බව පවසන 'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි මාධ්‍යවේදීන් හා කියා සිටියේ ආයතන දෙකක් පමණක් සිය සේවකයන් සදහා රුපියල් 5000 ක වැටුප් අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවයි.

ඒ අතරින් එක් ආයතනයක් ඇඳිරි නීතිය ආරම්භ කළ පළමු  දිනයේ එම අත්තිකාරම් මුදල ගෙවා තිබේ.

එම මුදලද  සේවකයන්ගේ බැංකු ගිනුමට මුදල් බැර කිරීම හේතුවෙන් එම මුදල් ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයක්ද පවතින බව පෙන්වා දෙන ඇය අවධාරණය කරන්නේ මෙම සේවකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

''කන්න නෑ, බොන්න වතුර නෑ...''

සේවකයන් අද උදෑසන නිවෙස් බලා පිටත්  කිරීමට පෙර වෛද්‍යවරුන් විසින්  සිදු කළ උණ පරීක්ෂණයද නිසි සුදානමකින් සිදු කළ බවක් දක්නට නොලැබුන බව පෙන්වා දෙන ඇය තව දුරටත්  අවධාරණය කරන්නේ උදෑසන ආහාරය නොමැති වීමෙන් සේවකයන් කිහිපදෙනකු ක්ලාන්ත වී සිටින අයුරු දැක ගත හැකි වු බවයි.

 එමෙන්ම සේවකයන් නිවෙස් බලා පිටත් කර හැරීම සදහා අවශ්‍ය ප්‍රමාණයට බස් රථ ගෙන්වා නොතිබුන බවත් ඇය පෙන්වා දෙයි.

කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටි මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ නිවේදනය කර තිබුනද අද දිනයේ එම සේවකයන්ට  පානීය ජලය පවා තොනිබු බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.

 දිවයින පුරා ක්‍රියාත්මක නිදහස් වෙළද කළාප වලින් පිටස්තර ප්‍රදේශ වලින් පැමිණ එම කලාප ආශ්‍රිතව නවාතැන්ගෙන සේවය කරන සේවක සේවිකාවන් බහුලව සිටින්නේ කටුනායක, බියගම සහ වතුපිටිවල යන නිදහස් වෙළද කලාප තුලය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න