කර්නල් රත්නප්පුලි ලෙබනන් යාම නවතන ලෙස එක්සත් ජාතීන්ට ඉල්ලීමක්

කර්නල් රත්නප්පුලි ලෙබනන් යාම නවතන ලෙස එක්සත් ජාතීන්ට ඉල්ලීමක්

ලෙබනනයේ සාමසාධනය සඳහා අලුතින් යවන්නට සැරසෙන ශ්‍රී ලංකා හමුදා බලකායේ සෙන්පතියා නිසිලෙස පූර්ව පරීක්ෂාවකට ලක් නොකිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දෝෂ දර්ශනයට ලක්වී සිටී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානියා වෙත යවන සංදේශයකින් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 18 දා සිට 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් රත්නප්පුලි වසන්ත කුමාර හේවගේ ලෙබනන් යාම නවතන ලෙසයි.

මහත් ජන සංහාරයක් සිදුවූ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේ පෙරමුණු බල ඇණි වල සටන් වැදුනු ඔහු ජාත්‍යන්තර බලකායක සේවයේ යෙදීම වලක්වා ලීමේ වගකීම ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බව “ඉතා හදිසි” යනුවෙන් සඳහන් එම ලිපිය කියා සිටී.

jean pierre lacroixලුතිනන් කර්නල් වසන්ත හේවගේ “පූර්ව සෝදිසියක් සිදුකොට එක්සත් ජාතීන්ගේ සකල සාමසාධක රාජකාරි වලින් ඉවත් කළ යුතුව තිබිනැ,” යි සාමසාධක මෙහයුම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් ජෝන් පියේ ලක්රුවා වෙත යවන ලද සංදේශයේ සඳහන් වේ.

“ශ්‍රී ලංකාවෙන් එන සාමසාධක භටයන් සුපරීක්ෂාවට ලක් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙන බව අප විසින් සැලකිල්ලට ගෙන ඇතත්, එහි අවසාන වගකීම ඇත්තේ ඔබේ දෙපාර්තමේන්තුව සතුව බව අපේ පිළිගැනීමයි,” යනුවෙන් නියෝජ්‍ය මහලේකම්වරයාට කියා සිටී.

බරපතල කෙලෙසීම්:

 ලෙබනන් යාමට නියමිත සෙන්පතියා බරපතල යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනවලට ශ්‍රී ලංකා යුද හමුදාව චෝදනා ලබන යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ සිදුකළ රාජකාරිය පිළිබඳ වාර්තාවක්ද ලිපිය සමග භාරදී තිබේ.

“ආරෝග්‍යශාලා සහ ආහාර පෝලිම් වැනි සිවිල් වස්තු ඉලක්ක කොට දිගින් දිගටම පහර දීම මෙන්ම නඩු නැතිව ඝාතනය කිරීම සහ හමුදාව විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැනි යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස පිළිගත හැකි කෙලෙසීම් ද මීට ඇතුලත් වේ,” යි එහි දැක්වේ.

lt col wasantha hewage cropped1සිංහ රෙජිමේන්තුවේ නිල වෙබ් අඩවිය උපුටා දක්වමින් එම ලිපිය පෙන්නා දෙන්නේ එවකට මේජර් නිලයක සිටි වසන්ත හේවගේ 2009 පෙබරවාරි 20 දා 14 වැනි බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙස පත්වූ බවයි.

ඊට පෙර ඔහු කිලිනොච්චි ප්‍රහාරය දියත් කළ හතරවැනි සිංහ බලකායේ වැඩබලන සෙන්පතියා ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් යටතේ වූ 57 වැනි බලසේනාවේ ක්‍රියාකාරී ලෙස මෙහෙයුම් වල නිරත වී ඇත.

 පළමු වතාව නොවේ :

 මේ වන විටත් එක්සත් ජාතීන් අත ඇති එම තොරතුරු වුව ලුතිනන් කර්නල් හේවගේ ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්නට ප්‍රමාණවත් බව අවධාරණය කරන සංදේශය සාමසාධක සේනා නිසි ලෙස පරීක්ෂාවට ලක් කිරීමට අසමත් වූ පළමු වතාව මෙය නොවන බව පවසයි.

ලිපියේ දැක්වෙන පරිදි වන්නියේ යුද ප්‍රහාරවලට සක්‍රිය ලෙස සහභාගි වූ බවට වාර්තා වී තිබෙන ලුතිනන් කර්නල් සී ඒ රාජපක්ෂ, ලුතිනන් කර්නල් දිනේෂ් උඩගම සහ ජී පී කොඩිතුවක්කු යන තිදෙනාත් මීට ඉහතදී අණදෙන නිලධාරීන් ලෙසින් ශ්‍රී ලංකාවෙන් ලෙබනනයට යවා තිබේ.

“මෙයින් පෙනී යන්නේ සුපරීක්ෂාව පිළිබඳ වගකීමක් ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව යන දෙපාර්ශවයම ප්‍රමාණවත් ලෙස පූර්ව සෝදිසිය සිදු කොට නැති බවයි,” යනුවෙන් නියෝජ්‍ය මහලේකම් ලක්රුවා වෙත යැවුනු ලිපියෙන් චෝදනා කෙරේ.

ලෙබනන් බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සාම සාධක කණ්ඩායමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරන නිලධාරීන් 10 දෙනකු ඇතුළු 140 දෙනකුගෙන් සමන්විත බව යුද හමුදාව පවසයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ මෙහෙයුම් සඳහා යුද හමුදා භට කණ්ඩායමක් බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යය වෙත යැවීමට ශ්‍රී ලංකාව විසින් සුදානම් කෙරෙද්දී ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳව පසුගිය වසර අගදීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ප්‍රශ්න මතු කොට තිබුනි.

(radiogagana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න