ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදීමේ අවංක උවමනාවක් තිබේනම්, ජනවාරි 09 දා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කළ ලෙසම වහාම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ලෙස පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලයක් නැතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු පැවසුයේ, ජනාධිපතිවරයාට අවංක උවමනාවක් හා දේශපාලන කශේරුවක් තිබේනම් එවැන්නක් කිරීමට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බව තම පක්ෂයේ නීති විශාරදයින්ගේ මතය බවයි.
'' ජනවාරි 08 මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙනකොට සන්ධාන ආණ්ඩුවක් තිබුනේ. එදා පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 121 ක් හිටියා. ඒ විමල්ලා ඩීව්ලා දිනේශ්ලා නැතුව. එදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් මෛත්‍රී ජනාධිපතිතුමාට සහය දුන්නේ දුමින්ද දිසානායක, ෆයිසර්, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, රාජිත සේනාරත්න, අර්ජුන වගේ කිහිප දෙනෙක් විතරයි.
ඒ වෙලාවෙත් රාවයක් තිබුන රනිල් අගමැති කරන්න නම් දිමු ඉල්ලා අස්වෙන්න ඕන කියලා. නමුත් දිමුගේ ඉල්ලා අස්වීමක් ගන්න ගියේ නැහැ. සුළුතර එජාප මන්ත්‍රී ගණනක් නියෝජනය කල රනිල් අගමැති කළා. මහින්ද අමරවිරලා වගේ අය ආණ්ඩුවට එකතු වුනේ ඊට පස්සේ.
දැනුත් එක වලංගුයි. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජනතා රැල්ල තියන්නේ අපට. ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තිබේනම් දැන් අවස්ථාව ඇවිල්ල තියනවා.'' යයි එම මන්ත්‍රීවරයා තම ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේය.
19 සන්ධෝධනය ගැන මොකද කියන්නේ ?
කෙසේවුවද යහපාලන ආණ්ඩුව විසින් දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එදා පැවති තත්වය වෙනස් වී ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මතුකර ඇති නීතිමය කරුණ ගැන 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී ඒකාබද්ධයේ මන්ත්‍රීවරයා කියා සිටියේ, එදා අගමැති සම්බන්ධයෙන් පැවති ව්‍යවස්ථාමය කරුණු 19 සංශෝධනයටත් අදාල බවයි.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් : හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත් ; හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.
කෙසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය ධුරයෙන් ඉවත්වීම මේවනවිට තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර වෙනත් අයකුට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්නම් එය පෙන්නන්නැයි ජනාධිපතිවරයා හමුවේ අභියෝගකර තිබිණ.
JO හා SLFP ගිවිසුමකට
මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (16දා) ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අප වෙත තොරතුරු ලබාදුන් ඒකාබද්ධයේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී අද පෙරවරුවේ මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

