Language Switcher

V2025

මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් දේහයක් දර සෑයක් මත දහනය කරනවා. 

උපත මෙන්ම මරණයත් ජීවිත චක්‍රයේ ස්වභාවික දෙයක් කියල බෞද්ධයින් වන අපි විශ්වාස කරනවා. බුද්ධාගමට සමානව හින්දු ආගමේත් ශරීරයේ තාවකාලික ස්වරූපය පිලිගන්නවා. දේහය කියන්නේ බඳුනක්  පමණක් බවත්, මරණයෙන් පසුව, පණ නැති දේහය අත්හැරලා අපේ ආත්මය වෙනත් ස්වරූපයකින් යලි උපත ලබන බව, පුනරුප්පත්තිය විශ්වාස කරන අපි විශ්වාස කරනවා. 

කොච්චර මෙහෙම විශ්වාස කරත්, අපේ ජීවිත වලින් සමීප කෙනෙක් සමුගත් විට අපිට දැනෙන්නේ කම්පනයක්, කණගාටුවක්, ඉදිරිපත් වන්නේ දුක්බර හැගීම් පිරුණු අවස්තාවක්. අපේ ඥාතියාට, හිතවතාට, මිතුරාට පිං පමුණුවන්න, ඔවුන්ව මතක් කරන්න අපි නොයෙකුත් දේ කරනවා.

ගිය අවුරුද්දේ මෙගේ ලොකු බාප්පා අප අතරින් හදිසියේම සමුගත් මොහොත මට සිහිපත් වෙනවා. කවුරුත් නොහිතපු මොහොතක, ඔහුගේ දියණිය සාමාන්‍ය පෙළ ලියන්න සති ගණනකට පෙර ඔහු මෙලොවෙන් සමු ගත්තා. කොඩි ඔසවලා, මළ බත උයලා, මතක බණ, හත් දවසේ දානය, තුන් මාසේ දානය, අවුරුද්දේ දානය වැනි විවිද චාරිත්‍ර යුතුකම් හැටියට ඉටු කරා. මේ දුක්බර අවස්ථාවේ,  අලුත් ආත්මයක් කෙරෙහි  තිබෙන අපේ අගමික විශ්වාසය, ඒ සිත් තුල තිබුණු වේදනාවට යම්කිසි සිසිලසක් වුනා කියල මම හිතනවා.

මම කියවලා තියෙනවා හින්දු ධර්මයට අනුව දේහයක් අධාහනය කිරීම තුලින්, මියගිය පුද්ගලයාගේ ආත්මය ඉක්මනින් ඒ ශරීරයෙන් නිදහස් වෙනවා කියලා, එතුලින් පුනරුප්පත්තියේ ගමන කඩිනම් කිරීමට අදාහනය සුදුසුයි කියලා කියනවා. 

කොරෝනා අසාදිත වූ දින 20ක දරුවෙකුගේ දේහය, PCR පරීක්ෂණයකින් තොරව හා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින්කටයුතු කල බවට මාධ්‍යයෙන් වාර්තා කර තිබුනා. මේ ඛේදනීය සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය වල විවිද අදහස් පළවුනා.

ඒ අතරින් එක් කාන්තාවකගේ facebook සටහනක් මගේ හිතට වැදුනා. ඇය මෙසේ කයා තිබුණා “දින 20ක දරුවෙකු පුළුස්සා දැමීම කොතරම් අමානුෂිකද”. මගේ නූගත් හිතට එක්වරම සිතුනේ, මැරිච්ච් කෙනෙක්ගේ දේහය පුච්චන එක දරුවෙකු පණ පිටින් පුච්චනවාට සමාන කරන්නේ කොහොමද ? නමුත් මේ කාන්තාව මෙවැනි අදහසක් ප්‍රකාශ කරන්නේ ඇයි කියලා තේරුම් ගැනීමට මට අවශ්‍ය වුනා.

හින්දු හා බෞද්ධ විශ්වාසයට අනුව පන නැති ධේහයක් යන්න, හිස් බඳුනක්  මෙන්, පණ නැති දේහය පලකට නැති දෙයක්. කෙසේ වෙතත් ආත්මය ගැනත්, මෘත දේහයක් ගැනත් එලෙස නොසිතන විශාල පිරිසක් ලංකාවේ සිටින බව මට පැහැදිලි වුනා. ඇයි මේ මුස්ලිම්වරු භූමදානය ගැන මෙතරම් සංවේදී ? මට මේක ප්‍රහේලිකාවක් වුනා.

අන්තර්ජාලය ඔස්සේ මේ ගැන සොයා බලන විට වැඩි හරියක් තොරතුරු තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සන එක පිලිබදවයි. මේ මාතෘකාව ගැන වැඩි විස්තර සොයා ගැනීම තරමක් අපහසු කරුණක් බව මට වැටහුනා. 

මිතුරන් කිහිප දෙනෙකුගෙන් ලැබුණු තොරතුරුත්, අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු වලත් අනුව, ඉස්ලාමීය මෙන්ම කතෝලික හා ක්‍රිස්තියානි, යුදෙවූ යන ආබ්‍රහමික ආගම් තුල අදාහනයට ඇති විරුද්ධත්වය හා භූමදානයට ලැබෙන ප්‍රමුඛත්වය ඒ ආගම් තුල මුල්තැන් ගන්නා කාරණයක් බව එලි වුනා. 

බෞද්ධයින් හා හින්දු භක්තිකයින් මෙන්ම මරණයෙන් පසු ජීවිතයක් ගැන මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයින්ද  විශ්වාස කරනවා. පුනුරුප්පත්තිය වෙනුවට, ආබ්‍රහමික ආගම් විශ්වාසය කරන්නේ ‘නැවත ඉපදීම’ යන සංකල්පයයි. ඔවුන් විශවාස කරන පරිදි එක්තරා දිනයක දෙවියන් වහන්සේ විසින් මරණයට පත්වුණු සියලු ජීවිතවලට නැවතත් පණ ලබාදෙනවා. ඉන්පසු ඔවුන්ගේ ජීවිත කාලය පුරා කල හොද හා නරක දෙස බලා දෙවියන් වහන්සේ විසින් ඔවුන් ගැන විනිශ්චයක් ගන්නවා. නැවත කැදවන ජීවිතය දිවිය ලෝකයටද නැතිනම් අපායට යවන්නේද යන්න ‘විනිශ්චය දිනයේදී’ දෙවියන් වහන්සේ තීරණය කරනු ලබනවා. 

මාගේ වැටහීමට අනුව, මේ ආගම් තුල අදාහනයට විරුද්ද වීමට ප්‍රධාන හේතුව රඳා පවතින්නේ ‘විනිශ්චය දිනය’ කෙරෙහි ඇති විශ්වාසය පදනම්වයි. ඔවුන් විශ්වාස කරන පරිදි, නැවත පණ දීමටනම්, පණ ලැබීමට නම් මියගිය පුද්ගලයාගේ දේහයේ යම්කිසි කොටසක්  භාවිතා කිරීමට සිදුවෙනවා. ආදාහනය තුලින් මියගිය කෙනෙකුගේ සමීපයන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරියා මෙන් සැලකෙනවා.

කෙසේ වෙතත්, මෑත කාලීනව කතෝලික, ක්‍රිස්තියානි හා ආගම් තුල එම විශ්වාසය පිලිබඳ යම් වෙනස්වීමක් සිදුවී ඇති බව මට දැනගැනීමට ලැබුනා. යුදෙවුවන් වුවද විශේෂ හේතු මත ආදාහනය අනුමත කර තිබෙන බව මට මිතුරෙකු පැවසූවා. නමුත් ඉස්ලාම් ආගමේ එවැනි වෙනස් වීමක් සිදුවී නෑ.

එමෙන්ම ඉස්ලාමික භක්තිකයින්ට ඔවුන්ගේ ධර්මයෙන් පවසා ඇත්තේ මිය ගිය පුද්ගලයාට පවා  සැලකිය යුතු බවත් ගෞරව කල යුතු බවත්ය, ඒ ගෞරවය ජීවත්ව සිටින කෙනෙකුට හා සමාන විය යුතු බවත්ය. ආදාහනය යනු දේහය විකෘති කිරීමක් හෝ එයට අගෞරව කිරීමක් බැවින් සලකන නිසා ඉල්සාමිය පුද්ගලයින්ට අධාහනයකට සහභාගී වීම හෝ අනුබල දීම පවා තහනම්. 

මේ කරුණු  වටහාගනීමෙන් පසුව, ඉස්ලාමීය පසුබිමක හැඩුණු වැඩුණු පුද්ගලයෙකුට, ළදරුවෙකුගේ දේහය ආදාහනය කිරීම, පන ඇති දරුවෙකුව පුළුස්සනවා මෙන් හැගීමට ඉඩක් ඇති බව මට තේරුනා.

නැවත නැගිටීම, දිව්‍ය ලෝකය, අපාය යන විශ්වාසයන් ගැන පෞද්ගලික විශ්වාසය කුමක් වූවත්, තමන්ගේ ඥාතියෙකු, හිතමිතුරෙකු, දරුවකු, මවක් හෝ පියෙක්, සහෝදරයෙක් හෝ සහෝදරියක් මියගිය කෙනෙකු කෙරෙහි මනුෂ්‍ය කමක් තියෙන ඕනෑම කෙනෙකුට දැනිය යුත්තේ අනුකම්පාවක් යයි මට හැඟුනා. 

එමෙන්ම මුළු ජීවිත් කාලය පුරාම දිනකට පස්වතාවක් යාඤා කරමින්, දිනපතා හෝ සති පතා පල්ලි යමින්, ආදායමෙන් අවම වශයෙන් 2.5 % දුප්පතුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් ජීවත් වුන මුස්ලිම් භක්තියෙකුට ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව අවසන් ගෞරවය දීම වැලක්වීමට කවරෙකු හෝ දැනුවත්ව කටයුතු කරන්නේ නම්, මියගිය තැනැත්තාගේ පවුල් වල උදවියට, හිත මිතුරන්ට, ඔවුන්ගේ හිත් වලට දෙන දුක හෝ වේදනාව, බෞද්ධයෙකු ලෙස මා දකින්නේ ඔවුන් කරන පවක් ලෙසයි.

COVID-19 නිසා සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති පියවර හේතුවෙන් මිය යන මුස්ලිම් භක්තියින්ට තම ආගමික විශ්වාසයන්ට අනුව තම ඥාතීන් වෙනුවෙන් අවසන් කටයුතු කිරීමට හා අවසන් ගෞරව දැක්වීමට නොහැකි වී තිබෙනවා. පුරවැසියන් ලෙස බලධාරීන්ගෙන් අපි  බලාපොරොත්තු වන්නේ අපගේ නිදහසට යම් බාධාවක් කරන්නේ නම්, එයට පැහැදිලි හේතුවක් හා විශ්වාසීය තොරතුරු, සාධක හා සාක්ෂි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීම පමණයි. 

මේ ගැටලුවට විසදුමක් මා සතුව නැත. කෙසේ වෙතත්, ඕනෑම ගැටළුවක් ඉදිරියේ තාර්කිකව මෙන්ම සංවේදීව හා මානුෂිකව බැලීමට අපගේ යුතුකමයි. එතුලින්, රටට මෙන්ම සිත් වලට සිදුවෙන හෝ සිදුවියහැකි හානිය අවම කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. 

සමාජ මාධ්‍ය තුල දකින සමහර සටහන් කියවන විට, මට සිතෙන්නේ, ඒවායේ රචකයින් මා ලෙසම මෙම ගැටලුව ගැන නිසි අවබෝදයක් නොමැති නිසා කල ප්‍රකාශයන විය යුතු බවයි.

කෙසේ වෙතත් තවත් සමහර අදහස් කියවනවිට මට සිහිපත් වුනේ, කොළඹ ආනන්ද විදුහලේ හය වසර බුද්ධාගම පන්තියේ මට උගන්වපු ගරු ස්වාමීන් වහන්සේ එක් වතාවක් මුළු පන්තියටම බැණවැදුණු ආකාරයයි 

“තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?”

නීතිඥ වරුණ පද්මසිරි 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found