V2025

ශ්‍රී ලංකාව: මෙහෙමත් ලැජ්ජා නැති රටක්?

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මුලින්ම ප්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු වෙසෙති. එක පැත්තක, කර්මාන්තකරුවන් සහ දේශපාලක පැලැන්තිය සිටී. අනිත් පැත්තේ, සාමාන්‍ය පුරවැසියෝ සිටිති. මුලින් කී පිරිස, සූරාකන්නන් වන අතර දෙවැනුව කී පිරිස සුරාකැවෙන්නන් ය. සූරාකන්නෝ, එන ඕනෑම තත්වයකට මුහුණදීමට සමත් වන අතර, ඕනෑම ආපදාවකින් ගැලවී යාමටත් සමත් වෙති. සූරාකැවෙන්නන් කොයි පැත්තෙනුත් හිරවෙන අතර, ඒ ව්‍යසනය රටටම පාත් වෙයි.

සංචාරක කර්මාන්තය පිළිබඳ සඟරා තුළ ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ, දීප්තිමත් දිවයිනක් සහ ඉන්දියන් සාගරේ මුතු ඇටය වශයෙනි. එය, ‘වෙන කිසි තැනක නැති රටක්’ වශයෙන් හඳුන්වා තිබීම ඇත්තෙන්ම උත්ප්‍රසාත්මක ය. එය තවත් විහිළුවක් බවට පත්කරමින්, ‘ආසියාවේ ආශ්චර්යය’ වශයෙන් ද හැඳින්වුණි. එහෙත් සූරාකැවෙන්නන් මේ දේශය දකින්නේ වෙනත් විදිහකට ය.

 ශ්‍රී ලංකාවේ පිළිපැදෙන සමාජ වටිනාකම්වල ඇත්තේ, සාපේක්ෂ වශයෙන් අලුත් යැයි කිව හැකි ධූරාවලියකි. එම ධූරාවලිය තුළ, සම්ප්‍රදායික අනුපිළිවෙල කණපිට හැරී තිබේ. මේ අලුත් ධූරාවලිය, අපේ (අධ්‍යාපනය, ශ්‍රමය, දේශපාලනය සහ ආර්ථිකය වැනි) මූලික ආයතනික ව්‍යුහය තුළට කිඳා බැස තිබේ. විනාශකාරී සමාජ ඇවතුම් පැවතුම් ප්‍රකාශයට පත්වන්නේ සහ අනුමැතිය ලබන්නේ එම ව්‍යුහය තුළ ය.

 සමාජයීය වශයෙන් ගොඩනැංවෙමින් පවතින ඒ සාරධර්ම ධූරාවලිය ගැන අද මිනිස්සු ආඩම්බරයට පත්වෙති. තමන්වමත්, තමන්ගේ වටිනාකමත්, තමන්ගේ සාර්ථකත්වයත්, තමන් සතු මුදල් ප්‍රමාණයේ තරම මත සහ තමන් සතු බලයේ මහත මත තීරණය කරන මේ ජනතාව, සතුට සොයාගෙන නිරර්ථක ගමනක යෙදෙති. එසේ කිරීමේදී තමන් පය ගසා සිටින පොළොවමත් ගරා වැටෙමින් තිබෙන දැකීමට නොහැකි තරමට ඔවුන් අන්ධ ය.

 හැම අංශයකම රජයන දූෂණය අද වන විට රටට මහා ශාපයක් වී තිබේ. එය සමාජයේ අඩිතාලම් දෙදරවාලන තරමට සැහැසි වී තිබේ. එහෙත් පුදුමය වන්නේ, එය තවදුරටත් කෙනෙකුගේ විශේෂ ලැජ්ජාවකට කාරණයක් නොවීමයි. දූෂණ ක්‍රියාවන්ට අදාල චෝදනාවට ලක්වීම සාමාන්‍ය දෙයක් වශයෙන් ගන්නා තත්වයට පත්ව ඇතිවා පමණක් නොව, මේ දූෂිත ‘කලාව’ ප්‍රගුණ කරන්නන් සමාජයේ ගෞරවයට පාත්‍ර වන අතර ඔවුන්ගේ වංචාවට සහ උපායශීලීත්වයට ප්‍රතිලාභ ද එම ක්‍රමය තුළ නොමදව පිරිනැමේ.

 අපේ බෞද්ධ සංස්කෘතියේ පදනම් වශයෙන් පවතින නිහතමානී කම, ආදරය සහ කරුණාව වෙනුවට, අධම කුහකත්වය සහ උඩඟුවත්, අවංක, කරුණාබර සහ සෘජු මිනිසුන් කෙරෙහි සාවඥව බැලීමේ පුරුද්දත් ආදේශ වී තිබේ. මෙය චේතනාන්විතව මෙහෙයවනු ලබන කාර්යයක් වන අතර, විනීත කමේ ඡායාවක් හෝ සාරධර්ම පුනර්ජීවනයක් හෝ ඇති වීම ඒ මගින් වළකාලනු ලැබේ. රටේ වැදගත් ආයතන පද්ධතිය විනාශ මුඛයට ඇදහෙලා ඇති ජරාජීර්ණ සංස්කෘතිය එහි ප්‍රතිඵලයකි.

 ආණ්ඩුවේ කාර්යාලයක ඉතා සාමාන්‍ය පහළ නිලධාරියා පවා හැසිරෙන්නේ උද්ධච්ච කමකින් හිස පුරවාගෙන ය. තුට්ටු දෙකේ ප්‍රාදේශීය දේශපාලඥයා පවා දැන් මහ බක්කෙකි. මෙය, වැඩිහිටියන් අනුකරණය කිරීමට බලා සිටින තරුණ පරපුරට ඉතා නරකට බලපායි. වෙනත් වචනවලින් කිවහොත්, සාමාන්‍ය ජනතාවත්, අපේ ජීවන චාරිකාවේ තීරක ක්‍රියාවලිය තුළ තීරණාත්මකව ඇති ලාභ සාධකයට යට වෙති. එහිදී යම් පරමාර්ථයක් සඳහා මාර්ගයක් පමණක් කර ගත යුතු මුදල, පරමාර්ථයම බවට පත්ව, සෙසු මිනිස් සගයන්ව ස්වකීය ස්වයං-ලාභයේ වාහක බවට පත්කර ගැනේ.

 මේ ක්‍රියාවලිය තුළ, ඊර්ෂ්‍යාව, ප්‍රතිරෝධය සහ තරගය, නිරන්තර සත්තාවක් බවට පත්වෙයි. ඒ තත්වය තුළ, අතමිට නැති එකාවත් සොරකමට, අල්ලස සහ වෙනත් සමාජ-විරෝධී ක්‍රියාකාරීත්වයන්ට තල්ලු කරනු ලැබේ. මන්ද යත්, අපේක්ෂිත ජීවන රටාව නඩත්තු කිරීම සඳහා වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය කරන බැවිනි.

 අතිශය සිල්ලර ලාභයක් සඳහා කෙනෙකුව ඝාතනය කරන තරමට අපේ සාරධර්ම වටිනාකම් පිරිහී ඇත. මේ දුප්පත් රටේ කවුරුත් දැන් සිටින්නේ, මුදල පසුපස හඹා යමිනි. අපේ දරුවන්ට, ඔවුන්ගේ දෙමාපියන්, යහළුවන් සහ සමාජ සම්මතයන් විසින් උගන්වනු ලබන්නේ, ධනය ඒකරාශී කිරීම ජීවිතයේ නිෂ්ඨාව වශයෙනි. වෙළඳපොල සංස්කෘතියක් විසින් ගොඩනගා ඇති එකී සම්මතයන් අභියෝග කිරීමට හයියක් අද කෙනෙකුට නැත. එහෙත් ඒ සඳහා දැරීමට සිදුව ඇති නාස්තිකාර සමාජ වියදම හැම අතකින්ම පෙනෙන්ට තිබේ.

 මෙවැනි ආකල්ප සහ හැසිරීම් මොනම ආගමකින්වත් අනුමත කරන දේවල් නොවේ. එසේ වෙතත්, වඩාත් ආගමික බවක් ආරූඩ කරගන්නේ ද ඒ පිරිහීමට ලක්ව සිටින පිරිස්ම ය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා, දෛනික දිවි පෙවත තුළ, ‘උපාසක උපාසිකාවෝ’ ය. ඔවුහූ යාච්ඤා කරති. බුදුන් වඳිති. පන්සල් ගානේ යති. එපමණක් නොව, ආගමික ස්ථානවලට පුණ්‍යාධාර පිරිනැමීම වැනි සිල් අතේ වැඩත් කරති.

 ඔවුන්ගේ මේ ආගමික චර්යාව, ස්වකීය කැත වැඩ වසා ගැනීමේ වෙස්මූණකි. තමන්ගේ සාපරාධී සහ පාපතර ක්‍රියා එවැනි පින්කම්වලින් සමනය කර ගත හැකි වෙතැයි යන වැරදි විශ්වායක ඔවුහූ එල්බ සිටිති. මොවුන් අතරේ සිටින වඩාත් දක්ෂයෝ ඊටත් එහාට ගොස් මෙවැනි ආගමික කටයුතු, තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අභිමතාර්ථ සාධනය සඳහා ද යොදා ගනිති.

 ජීවිතයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ජනතාවක්, සාමාන්‍යයෙන් දුර්වල ය. අසම්පූර්ණ ය. ඉතිං ඔවුන් බලන්නේ ඊට පිහිටක් දේව අනුග්‍රහයෙන් ලබා ගැනීමට ය. අනිත් අතට, ධනපති ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ආයෝජනය දකින්නේ මූල්‍යමය දෙයක් වශයෙන් පමණි. අධිකතර ලාභ, සමාජමය වගකීමක් සහිත කාර්යයන් සඳහා යොදවනවා වෙනුවට ආයෝජකයන් බලන්නේ තව තවත් ලාභ උපරිමය සඳහාම ඒ මුදල් යොදා ගැනීමටයි. ඒ අතරේ, ආණ්ඩුවකින් කළ යුතු ඇතැම් පොදු කටයුතුවලට සම්මාදම් වීමෙන් යම් නමක් හදා ගැනීමටත් ඔවුහූ බලති.

 මේ අතරේ, කිසිවක් කරකියාගත හැකි දෙයක් නැති කෙනා ආගම පැත්තට හැරී ජීවිතේ සාමය සොයයි. මරණින් මතු විමුක්තිය සොයයි. එක්තරා අර්ථයකින් ගත් විට, බොහෝ සෙයින් බෞද්ධයන්, නොපෙනෙන දෙවි කෙනෙකුට බය පක්ෂපාත සහ ගෞරව කරන කොටසක් බවට පත්ව ඇත. එය එම ආගමේ මූලික ධර්මතාවටම පටහැනි ය. ආගම පස්සේ යන මිනිසුන් එසේ කරන්නේ පුරුද්දක් වශයෙන් සහ වතාවතක් වශයෙනි. එසේ නොමැතිව, එම ආගම්වලින් ඉගැන්වෙන ධර්මතා තමන්ගේ ජීවිත තුළට ඔවුන් උරාගන්නවා නොවේ. ජීවිතයේ ප්‍රශ්නවලට සහ දුෂ්කරතාවන්ට මුහුණදෙන විට ඔවුන් ආගම වෙතට හැරෙන්නේ, ලෙඩ ගතියක් නිසා වේදනාවක් ඇති වූ අවස්ථාවකදී මෙනි. ඒ අනුව, යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා දේශනා කොට ඇති ධර්මයක් අවසානයේදී අපේ අවශ්‍යතාවක් සනසන දෙයක් බවට පත්ව තිබේ. එය ද, භාවමය ආරක්ෂාවක් වශයෙන් පමණි.

 මෙසේ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාජය අතිශය ද්‍රව්‍යවාදී වීම හේතුවෙනි. ජීවිතයේ ද්‍රව්‍යමය දේවල් අත්පත් කර ගැනීමට යන තරගයේදී ඔවුන් සදාචාරය අමතක කොට තිබේ. මේ අතර මිනිස්සු, තර්කයකින් ජය ගැනීම සඳහා, කොන්ත්‍රාත්තුවක් හෝ වෙනත් යමක් ලබා ගැනීම සඳහා බොරු කියති. අර්ධ-සත්‍යයන් කියති. බේගල් ඇදබාති. මේ අනුව, වෙළෙන්දෙක්, රූපවාහිනී වෙළඳ ප්‍රචාරකයෙක් හෝ දේශපාලඥයෙක්, යමක් විකුණා ගැනීම සඳහා හෝ යමකට මිනිසුන්ව ඇබ්බැහි කිරීම සඳහා හෝ ඡන්දයක් දිනා ගැනීම සඳහා කප්පරක් පොරොන්දු දෙති. ඒ අනුව, සමාගමක් නම්, ඔවුන් ප්‍රචාරය කරන්නේ මිනිසුන් නොමග යවන වෙළඳ දැන්වීම් ය. ඔවුන්ගේ භාණ්ඩයේ ඔවුන් කියන ගුණ නැති බව වෙනම කාරණයකි. ඊටත් වඩා, මිනිසාට අහිතකර දේවල් විකිණීමෙන් ක්ෂණික ලාභයක් ලබා ගැනීමටත් තවත් සමහරු තැත් කරති.

 මේ අනුව, තමන්ගේ වාසිය සඳහා ආගම ප්‍රයෝජනයට ගන්නා අතරේ, අන්තයටම දූෂිත දේශපාලඥයෝ මිනිසුන්ගේ ආගමික භක්තිය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට සහ බලය තර කර ගැනීමට පාවිච්චි කරති. භෞතික සම්පත් සීමිත බවත්, අපේ අවශ්‍යතා අසීමිත බවත් ආර්ථික විද්‍යාව අපට කියා දෙයි. එබැවින් පරිභෝජනය සඳහා යම් සීමාවක් ඇති කර නොගැනීම විනාශයට මුල වනු ඇත. මෙය, අත්‍යාවශ්‍යයෙන් රටක ඇති විය යුතු ප්‍රශ්නයක් නොවෙතත්, ශ්‍රී ලංකාවේ මේ තත්වය සමාජමය වශයෙන් ගොඩනංවනු ලැබේ. ඒ, සමාජ වටිනාකම් සහ සමාජ සාරධර්මවලට ඉහළින් මුදල ස්ථානගත කිරීමෙනි. සමාජ මනෝ භාවය තුළ ඇති කරනු ලබන මේ පරස්පරය, දේශපාලඥයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට යාමේදී ප්‍රජාවන් අතර විරසක ඇති කෙරේ. ගෙදරදොරේ ආරාවුල් ඇති කෙරේ. කාර්මික අංශයේ ගැටුම් ඇති කෙරේ.

 දියුණු රටවල්වල දැකීමට ඇති පරිදි, සංවර්ධනය යනු හැම අංශයකින්ම රටක ජනතාවගේ සුභසිද්ධිය නංවාලීමයි. එහිදී, සමාජ වටිනාකම්, සමාජ සම්බන්ධතා සහ ආචාර ධර්ම පද්ධති සමාජයක පරමාර්ථ වශයෙන් ගැනෙන අතර, ඒ පරමාර්ථ මුදුන්පත් කර ගැනීමේ ද්විතීයික මාර්ග වශයෙන් පමණක් ධනය සහ බලය පාවිච්චියට ගැනේ. එබැවින්, අපේ වාසියට පමණක් ප්‍රයෝජනයට ගැනීම සඳහා පාවිච්චියට ගැනෙන ආගමක් අපේ අභිවෘද්ධියට හේතු නොවන බව සැලකිය යුතුය.

 හැමට සුඛෝපභෝගීත්වයක් සපයා දිය නොහැකි සමාජයක්, වෙළඳ භාණ්ඩ සහ ද්‍රව්‍යමය වටිනාකම් මුල් තැන්හි ලා සලකනු ලබන විට, එවැනි සමාජයක් තුළට මද පමණ, උපේක්ෂාව සහ ආධ්‍යාත්මික වර්ධනය පිළිබඳ අදහසක් හඳුන්වා දීම ලේසිපාසු සටනක් නොවන්නේය.

 -ලසන්ත පෙතියාගොඩ
(2018 ජුනි 20 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka: A Shameful Land Like No Other? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි )

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found