V2025

එල්ලූම් ගගේ දේශපාලනය (1) 

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ දැරියක් දූෂණය කළ අවස්ථාවේ ඒ දූෂිතයාව කෑලිවලට ඉරා මරන්ට තමන්ට භාර දෙන්නැයි මෑතකදී උතුරේ ජනයා පාරට බැස ඉල්ලා සිටියෝය. මේ සෑම අවස්ථාවකදීම අර වැරදිකරුවන්ට පහර දෙන්නේ, ඒ වරදට ලක්වූ තැනැත්තන් හෝ ඔවුන්ගේ නෑ හිතවතුන් පමණක් නොවේ. ඇත්තෙන්ම ප‍්‍රහාරකයන්ගෙන් අති බහුතරයක් දෙනා අර කියන වින්දිතයාව ඈතකින්වත් හඳුනන අයවළුන් ද නොවේ. එහෙත් මේ සෑම අවස්ථාවකදීම, සිදු වූ වරද පිළිබඳ සාමූහික ක්‍රෝධය පිට කිරීමක් හෝ පලිගැනීමක් පිළිබඳ ආශාවකින් පොදුවේ මිනිසුන්ව මෙහෙයවෙයි. ඇත්ත වශයෙන්ම බැලූවොත්, එය, තමන් නිවැරදි යැයි පිළිගන්නා සාධාරණත්වයක් වෙනුවෙන් හෝ අසාධාරණත්වයකට එරෙහිව හෝ මිනිසා තුළ ස්වභාවයෙන් ඇති වන ආවේගාත්මක හැඟීමක ප‍්‍රතිඵලයකි. එය, ඉතා ප‍්‍රාථමික අර්ථයෙන් ගත් විට, තමන් විශ්වාස කරන ආකාරයේ ක්ෂණික යුක්ති ධර්මයක් ඉල්ලා කෑගසන මිනිස් ආවේශයකි. තවත් විදිහකින් කිවහොත්, නොමිනිස් ආකාරයකින් මිනිසත් කම ඉල්ලා සිටීමකි.    

මීට තිස්පස් වසකට පෙර, 1983 ජුලි මාසයේ 23 වැනි දා යාපනේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කරන ලදි. අර ඉහතින් කී, ‘සාධාරණත්වය වෙනුවෙන් සහ අසාධාරණත්වයට එරෙහි දරුණු හැඟීම’ ජුලි 24 වැනි දා දකුණේ යම් පිරිසක් තුළ ඇති කැරැවුණි. ඒ අනුව යමින්, ඔවුහූ දකුණේ ජීවත් වූ දෙමළ ජාතිකයන් දහස් ගණනක් නොවේ නම් අඩු වශයෙන් සිය ගණනක්වත් ඝාතනය කළෝය. දෙමළ ජාතිකයන්ට අයත් නිවාස 8000 ක් ද, කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ආයතන 5000 ක් ද විනාශ කළෝය. සති දෙකක් තුළ 150,000 ක් දෙමළ ජාතිකයන්ව උන්හිටි තැන් නැති සරණාගතයන් බවට පත්කළෝය. එදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එය හැඳින්නුවේ, ‘සිංහල ජනතාවගේ සාධාරණ කෝපය පිට කිරීමක්’ වශයෙනි.

මුලින් කී පික්පොකට්කාරයා හෝ රියැදුරා හෝ උතුරේ ළමා දූෂකයා අරභයා හුදී ජනයා දැක්වූ ආකල්පය (සාධාරණ කෝපය පිට කිරීම) සහ 1983 කළු ජුලියේදී සිංහල සොල්දාදුවන් 13 දෙනා වෙනුවෙන් දකුණේ සිංහලයා දැක්වූ ආකල්පය (නැවතත්, සාධාරණ කෝපය පිට කිරීම* තුළ, විවිධ කාරණා අතින් වෙනස්කම් තිබියේ වී නමුත්, මූලික ප‍්‍රාථමික ආවේශය එකක්ම විය. මුල් ප‍්‍රචණ්ඩත්වය සමාජ ආකල්පයක ‘අහිංසක’ ප‍්‍රතිඵලයක් වන විට, දෙවැනි ප‍්‍රචණ්ඩත්වය ජාතික ආකල්පයක දේශපාලනික ප‍්‍රකාශනයක් විය. ඒ අවස්ථා දෙකේදීම, පුහුදුන් මිනිසාව මෙහෙයවනු ලැබ ඇත්තේ, තමන් විශ්වාස කරන සාධාරණත්වයකට අනුව, දඬුවම තීරණය කිරීමට ඇති පෙළඹවීම විසිනි.        

දඬුවමක් තුළ, පෞද්ගලික සහ පොදු වශයෙන් අංග දෙකක් තිබේ. එය, ඉහතින් කී අනීතික දඬුවම් පැමිණවීමට මෙන්ම, රජයක් විසින් පනවන නෛතික දඬුවමටත් පොදු මූලධර්මයකි. මුලින්ම ගත් විට, දඬුවමක් යනු, වැරදිකරුවෙකු තමාගේ වරදක් වෙනුවෙන් දරණ ගෙවීමකි. මේ වියදම දරන්නේ, කරන ලද වරද නිසා ඇති වුණු අලාභයට හෝ හානියට තමා පුද්ගලිකව දැරිය යුතු (හිරේ යාම හෝ එල්ලූම් ගස් යාම වැනි) වන්දියක් වශයෙනි. ආගමික භාෂාවෙන් සාමාන්‍ය ව්‍යවහාරය තුළ එය හඳුන්වන්නේ, ‘පල දීම’ වශයෙනි. ඔහුට/ඇයට, ඉහළින්ම ‘පල දිය යුතු’ බව, සාමාන්‍ය සමාජ අපේක්ෂාවකි.       

දෙවැනුව, දඬුවම තුළ ඇති පොදු අංගය ක‍්‍රියාත්මක වෙයි. එහිදී, එම වරද නැවත සිදුවීම වැළැක්වීම සඳහා වන පරමාර්ථය/අරමුණ අර දඬුවම තුළට ඇතුළත් වෙයි. එතැනින් පසු, දඬුවම යනු, වැරදිකරුවාට වඩා වැරැුද්ද ඉලක්ක කර ගන්නා නියමයක් වන්නේය. පික්පොකට්කාරයාව මරාගෙන කන්නට යන නාඳුනන පුද්ගලයා තුළ පවා, මේ කියන වැරදිකරුවාට ඔහුගේ ක‍්‍රියාවට අනුකූලව එසැණින් ‘පල දෙන’ බවට වගබලාගන්නා අතරේම, ඔහු කළ වැරැුද්ද යළි ඇති නොවීමේ ආදර්ශයක් ඒ මගින් සැපයීමේ ආශාවත් තිබෙන්ට පිළිවන.    

මේ අවස්ථා දෙකේදීම, වාහකය බවට හෙවත් දඬුවම කර ගහගෙන යන්නා බවට පත්වන්නේ වැරදිකරුවා නැමැති පුද්ගලයා වෙතත්, දෙවැනුව කී පොදු අංගය සමාජය වෙනුවෙන් සාධනය කර ගැනීම සඳහා, ඉහත කී පෞද්ගලික වන්දියට අමතරව, පොදු පරමාර්ථය සමගත් දඬුවම පෑහිය යුතු වන්නේය. එනම්, වැරදිකරුවාට දෙන දඬුවම ඔහුට පමණක් නොව, සමස්ත සමාජයටම පූර්වාදර්ශයක් විය යුතු බවයි. පූර්වාදර්ශයක් යන්නෙන් අදහස් වන්නේ, එම වරද නැවත කිරීමට, එම වැරදිකරුවා පමණක් නොව, සමස්ත සමාජයමත් අධෛර්යමත් කරවන ආදර්ශයක් විය යුතු බවයි.  

   මේ අවසානයට කී කාරණය, හෙවත් දඬුවමක් මගින් යම් වරදක් නැවත සිදුවීම වැළැක්වීම හෝ පාලනය කිරීම සිදුවන්නේ ද නැද්ද යන්න සනාථ කරගත හැක්කේ, අදාළ දත්ත සහ පවතින විද්‍යාත්මක සාක්ෂි අනුසාරයෙනි. අනිත් අතට, මුලින් කී කාරණය, එනම්, වරදක් වෙනුවෙන් වැරදිකරුවා ‘පෞද්ගලිකව කරන ගෙවීම’ නැමැති දඬුවම තීන්දු වන්නේ, සමාජයක පවතින හැඟීම්බද්ධ තත්වයක් මත ය. එහිදී ‘ඇහැට ඇහැක්’ ඉල්ලා සිටීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. බොහෝ රටවල්වල, ස්වල්ප දෙනෙකු හැරුණු විට, අති බහුතරයක් ඉල්ලා සිටින්නේ ‘ඇහැට ඇහැකි’. ලංකාවේ එල්ලූම් ගස නැවත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ සංවාදයක් පවතින මේ අවස්ථාවේ, අපේ ජනගහනයෙන් අති බහුතරයක්, සමහර විට සියයට 90 ක් පමණ, මේ ප‍්‍රශ්නය දෙස බලන්නේ එවැනි හැඟීම්බර ආවේගයකින් බව පැහැදිළි ය. ඔවුන්ට ඒ ගැන වරද පැටවිය නොහේ. මන්ද යත්, ඔවුන් වනාහී, ගැඹුරු සහ සැඟවුණු මිනිස් සහජාසයන්ට පහසුවෙන් යට වීම හේතුවෙන්, ‘ඇස් දිස්ටියේ විසඳුමක්’ අපේක්ෂා කරන පිරිසක් වන බැවිනි. (ඇස් දිස්ටියේ විසඳුමක් යනු, බැලූ බැල්මට ආකර්ශණීය වන විසඳුමකි). එහෙත් නිශ්චිත අපරාධකරුවෙකුගෙන් පලිගැනීමට වඩා එම අපරාධයෙන් රට ගලවා ගැනීම ඉලක්ක කරගත යුතුව ඇති රට කරවන්නන්, අර කියන සැඟවුණු මිනිස් සහජාසයට පමණක් යට වීම, හැම විටකම අමනෝඥ ය. ඇතැම් විටෙක, අවස්ථාවාදී ය.
   

මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අරභයා, තෝරා ගත් වැරදිකරුවන් පිරිසක් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය පසුගිය දා ඒකමතිකව අනුමත කොට තිබුණි. විශේෂයෙන්, මංගල සමරවීර සහ රාජිත සේනාරත්න වැනි ලිබරල් දේශපාලඥයන් කැබිනට් මණ්ඩලය තුළ මේ සම්බන්ධයෙන් යථාවාදී ස්ථාවරයක් නොගෙන සිටියේ මන්ද යන්න ඇත්තෙන්ම ප‍්‍රහේලිකාවකි. මොවුන් දෙන්නාම තමන් පුද්ගලිකව මරණ දඬුවමට එරෙහි වෙතත්, එල්ලා මැරීම පිළිබඳ කැබිනට් යෝජනාවට එකඟත්වය පෑ බව වාර්තා විය. එය ඒකමතික කැබිනට් තීරණයක් වී ඇත්තේ ඒ අනුවයි. සෑම කැබිනට් තීරණයක් සඳහාම ඒකමතිකත්වය අනිවාර්ය නොවන නිසා, මෙවැනි ලිබරල් දේශපාලඥයන්ට ඒ සඳහා තම එකඟත්වය නොදී සිටීමට පුළුවන් කම තිබුණි. එහෙත් එසේ නොවුණේ මන්ද යන ප‍්‍රහේලිකාව, ඊයේ ? (23) ටී.එන්.එල්. නාලිකාවේ ‘ජනහඬ’ වැඩ සටහනට මා සහභාගී වීමේ දී මට පසක් විය.    එල්ලූම් ගස නිමිති කරගෙන පැවති මේ වැඩ සටහනට සහභාගී වූයේ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යු. ආර්. ද සිල්වා සහ මා ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා මරණ දඬුවම වෙනුවෙන් පෙනී සිටියේය. අනිත් තිදෙනා පෙනී සිටියේ මරණ දඬුවමට එරෙහිව ය. මේ වැඩ සටහන අතරවාරයේ මහජනතාවගේ අදහස් දුරකථන මාර්ගයෙන් ලබා ගන්නා ලදි. දුරකථන ඇමතුම් රාශියක් අතුරින් 7 ක් විකාශය කෙරුණි. ඒ සියලූ දෙනා, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහස සමග පූර්ණ එකඟත්වය පළ කළ අතර, අප තිදෙනා කෙරෙහි කර්කශ විවේචන ද ඉදිරිපත් කළෝය. ඉන් එක් අයෙකු කී පරිදි, අපගේ අදහස් දැක්වීම, දැනට එල්ලූම් ගසට නියමව සිටින අපේ එකෙකු වෙනුවෙන් පෙනී සිටින දෙයක්දෝ යි සිතෙන තරම් යැයි කීවේය. දූෂණය කොට ඝාතනය කරන ලද විද්‍යා දැරිය මගේ දියණියක් විණි නම්, මේ අදහසම මා එවිටත් දරන්නේදැ යි තවත් කෙනෙක් ප‍්‍රශ්න කෙළේය.    නියෝජ්‍ය පොලිස්පතිවරයා මරණීය දණ්ඩනය යුක්ති සහගත කිරීම සඳහා අප‍්‍රකට මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේ ප‍්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කළ අතර, ඉතා හැඟීම්බරව වරක් කියා සිටියේ, මරණීය දණ්ඩනය නොතිබුණොත් රටේ සිටින සියලූ මිනිසුන් (ඝාතනය වීමෙන් හෝ මත්ද්‍රව්‍යවලින්) විනාශ වී ගොස්, අවසානයේ මානව හිමිකම් පමණක් රටට ඉතිරි විය හැකි බවයි. එසේම, දැඩි දඬුවම්වල ඇති වැදගත්කම පෙන්වීමට, සෞදි අරාබිය වැනි රටවල ඇඟිලි සහ අතපය කපා දැමීම වැනි සිද්ධීන් ද ඔහු නිදර්ශනයට ගත්තේය. ඉනුත් නොනැවතුණු ඔහු, හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ව පවා සිය ආදර්ශයට ගත්තේය/ (ඒ ජෝර්ජ් ඩබ්. බුෂ්, සංහාරක අවි නිපදවීමේ වැඩපිලිවෙලක් ඇතැයි යන අභූත චෝදනාව යටතේ මුළු රටක්ම (ඉරාකය) ‘එල්ලූම් ගස් යැවූ’ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කෙළේ නැත). කෙසේ වෙතත් අවසානයේදී, එල්ලූම් ගස වෙනුවට විස එන්නත වැනි වඩාත් ‘මානුෂීය’ ක‍්‍රමයකට මරණීය දණ්ඩනයට පත්කිරීමට තමා යෝජනා කරන බව කියා සිටීමට තරම් ඔහු ‘පරිත්‍යාගශීලී’ විය. 

ඇඟට දැනෙන ක්ෂණික යුක්තිය පමණක් ඉල්ලා සිටින මිනිසුන්ට අවශ්‍ය කරන්නේ, වැරදිකරුවාට උපරිමයෙන් දඬුවම් කිරීම පමණි. එසේ දඬුවම් කිරීමෙන් අනාගතයේ එවැනි අපරාධ සිදුවීම වැළැක්වෙන වන බවට නිශ්චිත සාක්ෂි තිබේද යන්න ඔහුට/ඇයට වැදගත් නැත. එහෙත් රටක නීති පද්ධතියක් සකස් විය යුත්තේ ඒ ප‍්‍රාථමික ආශාව මත නොවේ. (වැරදිකරුවාට දඬුවම් දෙන අතරේම) ඊට වඩා තිරසාර විසඳුමකට  හැකි තාක් අනුගත වන ආකාරයෙනි.           

හිටිහැටියේම නැවත වරක් එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීම අරභයා ජනාධිපතිවරයා තුළ ඇති වී තිබෙන හදිසි උනන්දුව පසුපස තිබිය හැකි ජනප‍්‍රිය දේශපාලනය මට වැටහුණේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම අදහස් පිළිබඳව ලැබුණු අති-උත්තේජනීය මහජන ප‍්‍රතිචාර දැකීමෙනි. ඒ සමගම, ජනාධිපතිවරයාගේ එම අදහසට විරුද්ධ වීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුට දේශපාලනික හයියක් නොතිබීමේ අරුතත්, ඒ මගින්ම පැහැදිළි කෙරුණි. 

ජනාධිපතිවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඒ ජනප‍්‍රිය දේශපාලනය ගැනත්, මරණීය දණ්ඩනය නිසා යම් රටක මිනීමැරුම් වැනි අපරාධ හෝ මත්ද්‍රව්‍යවලට අදාළ අපරාධ අඩු වී තිබේ ද යන්න ගැනත් ඊළඟ සතියේ සාකච්ඡුා කෙරේ. 

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found