Language Switcher

V2025

MCC ප්‍රදාන ඇමරිකානු උගුලක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යන ඇමෙරිකා ඩොලර් මිලියන 450ක ප්‍රදානය පිළිබඳ විවිධ මතිමතාන්තර පළ වේ. ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා යෝජිත ආර්ථික කොරිඩෝරයද ඊට සම්බන්ධ කර දැක්වීම, ආරක්ෂක වැටකින් රට දෙකඩ වන බව සඳහන් වීම ඉන් සමහරකි.

මෙම වැඩසටහන මුලින්ම දියත් වූයේ 2002 වසරේදීය. ඒ ජනාධිපති බුෂ්ගේ පාලන සමයයි. 2004 වසර වන විට රටවල් 17ක් පමණ ඊට සම්බන්ධ වී සිටියහ. ඒ අතර ශ්‍රී ලංකාවද විය. කෙසේ වුවද, වසර 2006න් පසු ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වය මානව හිමිකම් පිළිබඳ මතු වූ ප්‍රශ්න වැනි හේතූන් මත වසර 2008න් අප ඉන් ගිලිහිණි. යළිත් වරක් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම ප්‍රදානය මෙරටට ලබාදීම පිළිබඳ කාරණය මතු විය.

මේ සමගම වාගේ ඇක්සා, සෝෆා වැනි ගිවිසුම්ද මතුවීම නිසා ඒවාද එම්.සී.සී. සමග සම්බන්ධ කර දැක්විණි. එහෙත් ඒවා අතර සම්බන්ධයක් නැත.

එම්සීසී ප්‍රදානය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් යටතේ ලබාදීමට යෝජිතය. ඒ ප්‍රවාහනය හා ඉඩම් යන ක්ෂේත්‍රවලට අදාළවය. ප්‍රවාහන ක්ෂේත්‍රය නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් හා ඉඩම් ව්‍යාපෘති සඳහා ඇමෙරිකනු ​ඩොලර් මිලියන 63ක් වශයෙනි. ව්‍යාපෘති කාලසීමාව වසර 5කි.

ප්‍රවාහනය අපට ඇති දැවෙන ප්‍රශ්නයකි. තදාසන්න ප්‍රදේශයක සිට කොළඹ නගරයට කිලෝමීටර් 8-10ක දුරක් පැමිණීමටද පැයකට ආසන්න කාලයක් ගත වේ. මේ හේතුවෙන් ඉන්ධන පමණක් නොව කාලයද දැවීම සිදුවේ. මේ ව්‍යාපෘතිය යටතේ එවැනි මාර්ග කිලෝමීටර් 350ක් පමණ දියුණු කිරීමට නියමිතය. එය රටට විශාල සහනයක් මෙන්ම අනවශ්‍ය වියදමක් අවමකර ගැනීමක්ද වනු ඇත. රථවාහන තදබදය නිසා වසර 2020 වන විට නිකරුණේ විනාශ වන මුදල රුපියල් බිලියන 1.8ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය මගින් ගණනය කර තිබේ. මේ ප්‍රශ්නය නිරාකරණය කර නොගැනීම යනු විශාල මූල්‍යමය අපරාධයකි.

අනෙක් ව්‍යාපෘතිය ඉඩම්ය. එම්.සී.සී. ප්‍රදානයට අදාළව වැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපෘතියද මෙයයි. ඉඩම් යනු අතීතයේ සිටම ප්‍රශ්න සහිත මාතෘකාවකි. ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තය හා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් සමානය. බටහිර වර්ජිනියාවේ මෙන් මෙරට ජනගහනය සතර ගුණයකින් පමණ වැඩිය. මේ නිසා ඉඩම් යනු අපේ රටේ දැවෙන ප්‍රශ්නයකි. ජනතාව අතර පමණක් නොව පවුල් අතරද ප්‍රශ්නයකි.

දැනට තිබෙන නීතිරීති යටතේ මෙරට ඉඩම් පිටරැටියන්ට විකිණීමට නොහැකිය. එසේ කිරීමට නම් නීති සංශෝධනය කිරීමට සිදුවේ. උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති රජයේ ඉඩම් එලෙස විදේශිකයන් අතට පත්විය හැකිද යන්න වෙනම කාරණයකි. එහිදී ආණ්ඩුව කළ යුත්තේ ඉඩම් විකිණීම නොව බදුදීමය. හම්බන්තොට කර්මාන්ත කලාපයන් සඳහා චීනය ඉල්ලා සිටි අක්කර 15,000 ඔවුන්ට විකුණනවාද නැත්නම් බදු දෙනවාද වැනි ප්‍රශ්න වෙනම සාකච්ඡා කළ යුතුය.

ප්‍රශ්නයක කාරණා ඇති වීමට බලපෑ හේතුවක් නම් ඇමෙරිකාව පිළිබඳ අපේ මනසේ ඇති චංචල බවය. මෙම ප්‍රදානය චීනය හෝ ජපානය අපට ලබාදීමට සූදානම් වූයේ නම්, මෙවැනි ගැටලු පැන නගින්නේ නැත. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද ඇමෙරිකාව පිළිබඳ අපට යම් කුකුසක් තිබේ. මේ කුකුස තිගැස්ම තවත් බලවත් වී ඇත්තේ මේ ව්‍යාපෘති පිළිබඳ මනා විග්‍රහයක් ජනතාවට දැන ගැනීමට සැලැස්වී නැති බැවිනි.

2004-2019 කාලසීමාව තුළ රටවල් 29ක් එම්.සී.සී. සමග ගිවිසුම්වලට එළැඹ ඇත. එවැනි ගිවිසුම් සංඛ්‍යාව 37ක් වීමෙන් පෙනෙනුයේ ඇතැම් රටවල් එක් වරකට වඩා ගිවිසුම්වලට යොමුවී ඇති බවය. දැනට ඩොලර් බිලියන 14ක් ප්‍රමාණ එලෙස ප්‍රදාන ලෙස සැපයී තිබේ. ඒවා විශේෂයෙන් අප්‍රිකාවට ගලා ගොස් ඇත. ආසියාවට ලැබුණේ අල්පයකි. ලංකාව ඇතුළු රටවල් 5ක් ඒ අතර වේ. ලංකාවට මෙම ප්‍රදානය ලබා දීමට තීරණය වූ අවදියේ අපේ ආදායම් තත්ත්වය අනුව ඊට සුදුසුකම් ලැබූවද පසුව මැදි ආදායම් රටක් බවට පත්වීම නිසා අද වැනි අවදියක දී මෙම ප්‍රදානය අපට ලැබෙන්නේ නැත.

මේ මස මැද භාගයේදී එම්සීසී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පැවැත්වෙන ලංකාව පිළිබඳ පවතින තත්ත්වය සාකච්ඡාවට ලක්වනු ඇත. ඇමෙරිකා තානාපති කාර්යාලයේ නිලධාරියකු අප සමග කී පරිදි මෙම ප්‍රදානය ප්‍රතික්ෂේප කළ රට ලංකාව විය හැකි බවය. ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ තීරණය ජනාධිපතිවරණයෙන් පසුව ගන්නා බවය. එසේ කීවද මැතිවරණයෙන් පසු ඒ තීරණය ගැනීමට සිදුවන්නේ එතුමාට නොව වෙනත් අයකුටය. එසේ තීරණය කළ නොහැකි නම් ජනාධිපතිතුමා කළ යුතුව ඇත්තේ අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, ප්‍රවාහන හා මහාමාර්ග මෙන්ම ඉඩම් ඇමැතිවරුද සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් විමසීමය.

පී.එල්. 480 යටතේ මීට වසර 10-15කට පෙර දක්වාම ලංකාවට පාන්පිටි ලබාදීමට ඇමෙරිකාව කටයුතු කළේය.

එම්.සී.සී. වැඩසටහන දියත් කළේ රිපබ්ලිකන්, බුෂ් පාලනය යටතේය. ඔබාමා බලයට පත්වූ පසු එය ඉදිරියට ගෙන යන්නේද යන දෙගිඩියාව ඔහු තුළ විය. අනතුරුව ට්‍රම්ප් බලයට පත්වූ පසුවද අනුන්ගේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතු දැයි පසුබැසීමක් පෙනුණද ලබාදෙන ආධාර අඩුකර එය ඉදිරියට ගෙන යාමට පියවර ගෙන ඇත. මෙලෙස ප්‍රදාන වශයෙන් ලබා දෙන්නේ ඇමෙරිකා ජනතාවගේ බදු මුදල් බැවින් ඒ ගැනද එරට තුළ අවධානයක් තිබේ. මෙ ප්‍රදානය යටතේ සිදුවන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් ඇමෙරිකාවටද දිය යුතු බවට කොන්දේසියක් නැත. එම කොන්ත්‍රාත් බොහෝ විට ඇමෙරිකානු සමාගම්වලට වඩා චීන සමාගම්වලට ලැබීම සිදුවේ. ඇතැම්විට ඇමෙරිකා සමාගම්වලට ඉඩ ලැබෙනු ඇත. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ඇමෙරිකා ව්‍යාපාරවලටද යම් අවස්ථා ලැබිය හැකිය යන කාරණය ප්‍රතික්ෂේප කළ ​නොහැකිය.

ආරක්ෂිත වැටක් නිසා රට දෙකඩ වීමක් සිදුවන්නේය යන චෝදනාව ගැන අවධානය යොමු කළ විට පළමුවරට මෙවැනි වැටක් ඉදිවූයේ කොළඹ සිට ගාල්ලට බව පෙනී යයි. එම අධිවේගී මාර්ගයේ මුල් කාලයේ සතුන් මැරී සිටිනු දැකිය හැකි විය. දැන් එය සිදුවන්නේ නැත. ඕනෑම රටක අධිවේගී මාර්ගයක බල්ලන්, බළලුන්, එළුවන්, හරකුන්ට ගමන් කිරීමට ඉඩ තැබිය නොහැක. එසේ ඉඩ දෙන්නේ නම් එය අධිවේගී මාර්ගයක් නොවේ. එබැවින් සතුන්ට ඇතුළු විය නොහැකි ලෙස ආරක්ෂිත වැට ඉදිවේ. එවිට සතුන්ට මෙන්ම මිනිසුන්ටද මාර්ගය හරහා එහා මෙහා යා නොහැකිය. මාර්ගයක් නම් ඉන් සිදුවන්නේ රට දෙකඩ කිරීම නොව එක් කෙළවරක් අනෙක් කෙළවරට යා කිරීමය. එය රට එක් කිරීමකි. කොළඹ හා ත්‍රිකුණාමලය අතර අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිවී යැයි සිතමු. මහා බ්‍රිතාන්‍යයට යැවෙන කන්ටේනර් නැවත කොළඹ වරායට ළඟා වේ. මේ කන්ටේනර් එම අධිවේගී මාර්ගයෙන් ත්‍රිකුණාමලයට යවා එතැනින් මහා බ්‍රිතාන්‍යයට රැගෙන යා හැකිය. එසේ නැතිනම් නෞකාවට විශාල වටයක් ගමන් කිරීමට සිදුවේ. මෙතැනදී දවස් කිහිපයකම වාසියක් තිබේ. දශක කිහිපයක් තිස්සේ නැගෙනහිර පළාත් පාළු අඳුරු ස්වභාවයක් ඉසිලීය. යුද්ධය නිමා වූ පසු හිරු එළිය වැටෙන්නට පටන් ගෙන තිබේ. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කළ හැකිය. අවධානයට ලක්ව ඇති කොරිඩෝරය හා එම්.සී.සී. අතර සම්බන්ධයක් නැත. එය ජාතික භෞතික සැලැස්ම යටතේ යෝජනාවී ඇති දෙයකි.

වසර 2000දී චීනයේ දුම්රිය ගමන් කළේ පැයට කි.මී. 60-80 අතර වේගයෙනි. වසර කිහිපයක් ගත වන විට 80-100 දක්වාද 100-120 හා 120-150 දක්වාද ආදී වශයෙන් වැඩිවී අද වන විට පැයට කි.මී. 300ක වේගයෙන් ගමන් කරන දුම්රිය ධාවනය වේ. පටු ලෙස කල්පනා කළ විට නම් එවැනි දියුණුවක් අත්කර ගැනීමට නොහැකිය.

එම්.සී.සී. ප්‍රදානය හා මෙම ව්‍යාපෘති ගැන නිවැරදි දැනුමක් ඇති කිරීමට නම් එම නිවැරදි තොරතුරු මහජනයාට හා අදාළ පාර්ශ්වවලට ලබාදීම සිදුවිය යුතුය. මේ ව්‍යාපෘතිවලින් ඉඩම් බැහැර වුවහොත් මෙය විශාල ප්‍රශ්නයක් ලෙස පැන නගින්නේ නැත. ප්‍රශ්නයක් ලෙස මෙය මතු වූයේ ඉඩම් මීට සම්බන්ධ බැවිනි. ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන එවැනි ගැටලු මතුවී නැත.

මේ කලාපයේ චීන ආධිපත්‍යයක් තිබීමට ඇමෙරිකාව අකැමැතිය. එසේ වුවද එම්.සී.සී. ව්‍යාපෘතිය දියත් වන විට චීනයේ නව සමුදුරු සේද මාවත ව්‍යාපෘතිය ගැන සිතාවත් තිබුණේ නැත. එබැවින් ඊට අභියෝගයක් ලෙස මෙය හඳුන්වාදුන් බව කල්පනා කළ නොහැකිය. ඇමෙරිකාවට චීනය ගැන ඇති භීතිය සාධාරණය. මීට වසර 15කට පමණ පෙරද ඇමෙරිකාව ලංකාවට චීනය සමග ඇති සම්බන්ධය ගැන දැන ගැනීමට උනන්දු විය. එවිට 1951දී චීනය අපට උදව් කළ අයුරු අදද අප අමතක නොකරන බව දැන්වීමට සිදුවිය. රබර් වගාවට අවශ්‍ය ගෙන්දගම් ලංකාවට රැගෙන ඒමට ඔවුන් ඉඩ නොදුන් අතර චීනය අපේ රබර් මිලට ගනිමින් අපට උපකාරී විය.

මෙම අදහස් දැක්වීම කරනුයේ 2004 වසරේ සිට මේ පිළිබඳ ඇති දැනුම ඔස්සේය. මෙය කළ යුතුම දෙයක් ලෙස හුවා දැක්වීම මෙහිදී අදහස් නොකෙරේ. එහෙත් මෙහි දෙපැත්තම බලන්නට හැකිවිය යුතුය. නිවැරදි දර්ශනයක් ලබා ගත හැකිවන්නේද එවිටය. නිකම් මුදල් ලැබෙන නිසා භාරගෙන එය සාක්කුවේ දා ගැනීම වෙනුවට දෝෂ ඇත්නම් ඒවා මග හරවා ගනිමින් නිසි වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක වීම සිදුවිය යුතුය.

චීනය හම්බන්තොට වරාය ඉදිකළ අතර පසුව එම ණය වෙනුවෙන් එය හිලව් කර ගැනීම සිදුවිය. එම්.සී.සී. ලබාදෙන ඇ.ඩො. මිලියන 350 ණයක් නොව ප්‍රදානයක් බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් නැත.

[බර්නාඩ් ගුණතිලක]

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ පාත් ෆයින්ඩර් පදනමේ සභාපති
(අරුණ)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found