V2025

පුවත්

ඇයි ශවේ යන්නේ ? මෙන්න හේතුව !

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ දේශපාලන අධිකාරියේ දැඩි බලපෑම නිසා බව වාර්තා වෙයි .

මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද සඳහන් වෙයි .

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , බරපතළ චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත එල්ල කර ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ය. ඊට හේතුව මැයි 09 ප්‍රතිප්‍රහාරය අවස්ථාවේ හිටපු අගමැති කිහිපවතාවක් දුරකථන ඇමතුම් ලබාදී අරලිය ගහ මන්දිරය වටලෑම වලක්වන ලෙස ඉල්ලා ඇතත්, ක්ෂණික ක්‍රියාමාර්ග නොගැනීම බවත් දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් බරපතළ ආරෝවක පසුවෙන රාජපක්ෂ පවුල ජනාධිපති වෙත අවධාරණය කර ඇත්තේ , ඥාතිත්වය හෝ රැකගැනීම වෙනුවෙන් හමුදාපති නම් ඉවත් කිරීම අනිවාර්යයක් බවය.

කෙසේ වුවත් අවසාන මොහොතේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බංකරයක් වෙත යාමට ලැබුණේ , හමුදා ඛණ්ඩ කිහිපයක් අරලිය ගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා පැමිණි නිසාය.

මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක හඬින් මේ වන විට හමුදාපති සහ පොලිස්පති ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හමුව ගාලගෝට්ටියක් වී ඇත්තේ ද ඒ නිසා බවත් දැනගන්නට ඇත .

එසේම අදාළ චෝදනා සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් නිකුත්කර ඇති බවත් එහිද හමුදාපති පිළිබඳ ප්‍රසාදයක් නැති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම රහස්‍ය වාර්තාව සැකසීමට සහභාගී ව ඇත්තේද හිටපු හමුදා ප්‍රධානීන් බවත් නමුත් ඔවුන් සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අතර කාලයක් තිස්සේ පැවති සීතල යුද්ධයක පුපුරා යාම බවත් සඳහන් ය.

කෙසේ වෙතත් ශවේන්ද්‍ර සිල්වා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

නව යුධහමුදාපතිවරයා ලෙස විකුම් ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.

 

 

ගිනිගත් මැති ඇමති නිවෙස්වල තිබූ පොහොරවල : ජාතකය හොයයි !

මැයි 09 ප්‍රතිප්‍රහාරය අවස්ථාවේ දේශපාලඥයින් රැසකගේ නිවාස ගිනිබත් වූ අතර එහිදී ඔවුන්ගේ නිවාසවල තිබී යූරියා පොහොර මිටි විශාල වශයෙන් හමුවූ බවට ජනමාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත්කර තිබූ අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණ .

මෙම කාරණාව සම්බන්ධව ජනමාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් ඇමතිවරයා එම දේශපාලඥයින්ගේ නිවාසවල තිබී හමු වූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට කටයුතු යොදන බව සඳහන් කළේය.

විශේෂයෙන් මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ පොහොර ද, එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොග ද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට භාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වගා‍වන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තිබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා ලැබීමෙන් පසුව එම ගිනිගත් නිවාසවල තිබී හමුවූ පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

– මාධ්‍ය ඒකකය

සනත් නිශාන්ත, මිලාන්, ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමාකාමී විරෝධතා දෙකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

නන්දලාල් වෙනුවට කුමාරස්වාමි ?

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය රඳා පවතින්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය මත බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි .

දැනට පවතින ආහාර, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයට ඉන්දියාවේ සහය ලබා දීම තුළින් ඒ බව ඔප්පු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස පත් කිරීම සාදරයෙන් පිළිගන්නා ජාත්‍යන්තර ප්‍රජාව ඔහු කෙරෙහි ඇති විශ්වසනීයත්වය සහ සහයෝගය මේ වන විට පිලිඹුල් වෙමින් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් වන ආකාරයට නව පරිපාලනය විසින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට උපකාර කළ හැකි ශ්‍රී ලංකාව තුළ සිටින අනෙකුත් ප්‍රධාන පුද්ගලයින්ගේ සහාය ලබාගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග දැනටමත් තහවුරු කර ඇත.

එ අතරින් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එක් ගෞරවනීය පුද්ගලයෙකි.

IMF සමඟ සාකච්ඡා සඳහා රජයට සහාය වීම සඳහා පැවරී ඇති උපදේශක කමිටුවකට හිටපු මහා බැංකු අධිපතිවරයා මෑතකදී පත් කරන ලදී.

ආචාර්ය කුමාරස්වාමි යළි මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නව පරිපාලනය කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබේ.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයට සහය වීමට උපරිම උත්සාහයක් ගත්තද, නව පාලනයට වැඩි විශ්වසනීයත්වයක් සහ ස්ථාවරත්වයක් ගෙන එන්නේ ආචාර්ය කුමාරස්වාමි බව රජය සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙන්වා දී ඇත.

පසුගිය රාජපක්ෂ රජය විකල්පයක් සෙවීමට අපොහොසත් වීමත් සමඟ මහා බැංකු අධිපතිවරයා ලෙස පත් වුආචාර්ය වීරසිංහ දැන් පෙන්වා දී ඇත්තේ තමන් ආචාර්ය කුමාරස්වාමි වෙනුවෙන් ඉවත් වීමට කැමති නැති බවයි.

මහා බැංකු අධිපතිධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ සමීප හිතවතුන්ගේ සහය ලබාගෙන අචාර්ය නන්දලාල් විරසිංහ ලබාගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි .

බැසිල් 21 අවුල් කරන ගේමක : මෙන්න හේතුව !

21 වන සංශෝධනය ඉවත්කර ගැනීම වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් කඩාකප්පල් කාරී ලෙස බාධා කිරීමට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට හේතුව වී ඇත්තේ ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබීම සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ස්වාධීන කොමිෂන් සභා යළිත් බලාත්මක වීමය.

වාර්තා වන ආකාරයට 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91 (1)(xiii) වන උප ඡේදයේ මෙම සංශෝධනය ඇතුළත් කර ඇත.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 19 වැනි සංශෝධනයේ ආකෘතිය ගෙන ඒමෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යළි ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි සංශෝධන ද මීට ඇතුලත් කර තිබෙි.

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අක්‍රීය කර තිබු ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා යළි ක්‍රියාත්මක කිරිමටත් බලය හීන කර තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම, නැවතත් ස්වාධීනව පවත්වා ගෙන යාමට හැකි වන ආකාරයේ සංශෝධනත් 21 වන සංශෝධනයට ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වාධීන කොමිෂන් සභා වලටත් ව්‍යවස්ථාදායක සභාවට සහ කැබිනට් මණ්ඩලයටත් පැවරීම මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමෙි සංශෝධන ද 21වන සංශෝධනයට ඇතුලත් ය.

කැබිනට් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බවට වන සංශෝධනයක් ද ඇතුළත් වෙයි.

21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඇතුළත් නොවේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීම සම්බන්ධයෙන්ද 21 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කෙටුම්පතේ සඳහන් වේ.

එහි සාමාජිකයින් වශයෙන් අගමැති, කතානායක,විපක්ෂ නායක සහ අගමැතිවරයා සහ විපක්ෂ නායක යන දෙදෙනා නම් කරන ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම පස් දෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය. අනෙක් තිදෙනා පොදු හෝ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන කීර්තිමත් සහ අවංකභාවයක් ඇති කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන පුද්ගලයන් විය යුතුය.

ව්‍යවස්ථා දායක සභාවට පත් කරන එම සාමාජිකයින් පස් දෙනාගේ ධුර කාලය වසර තුනකි.

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පමණි.

ස්වාධීන කොමිෂන් සභා වල සභාපති ධුරය සඳහා ව්‍යවස්ථා දායක සභාව තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඒ අතරින් එක් අයකු පත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු වෙි.

මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම මෙලෙස බලාත්මක කෙරෙන කොමිෂන් සභාවේ.

නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පත්විම් සිදු කළ යුතුය.

අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි.

සෙල්ලම් නෑ : ලෝක බැංකුවෙන් රතු නිවේදනයක් !

මෙරට සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් රතු නිවේදනයක් වැන්නක් නිකුත්කර ඇත .

ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව නිවේදනය කර ඇත .

අදාළ නිවේදනය ඊයේ (24) නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.

"ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට,දිළිඳු ජනතාවට,අවදානමට ලක් වූ පවුල්වලට,ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය දීමට සැලසුම් කර ඇතැයි පල වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ."

රනිල් මුදල් ඇමති කළ : කොහෙවත් නොගිය තිරය පිටුපස කතාව !

මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි

මුදල් ඇමති රනිල්ට දෙන්න : දෙස් විදෙස් බලපෑම් !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ ආකාරයට මුදල් අමාත්‍ය ධූරයෙ දිවුරුම් දුන්නත් එය "මාර පරාජයකට " නොදෙවෙනි වූ බවයි .

ඒ සම්බන්ධ තොරතුරු මෙසේය .

ආර්ථික අර්බුදය , මේ වෙනකොට දේශපාලන අර්බුදයක් බවට පත්වුණා . ඒ නිසා තමයි අරගල භූමියෙන් පවා , තෙල් ගෑස් හාල් වෙනුවට , ගෝඨාගෝගම , මයිනාගෝගම හැදෙන්නේ .

තනි ආසනයේ අගමැති !

කොහොම නමුත් මේ වෙනකොට තවමත් පෝලිම් වල ඉවරයක් නෑ . කවදාවත් නැතුව මධ්‍යම පංතිය පාරට බැස්සේ ආර්ථික හේතු නිසා මිසක් දේශපාලන හේතු නිසා නෙවෙයි . තෙල් ගෑස් කිරිපිටි වල ඉඉඳලා දෛනික ජීවිතය අවුල් වුනේ මධ්‍යම පංතියේ . තට්ටු නිවාස වල ගෑස් නැතුව භූමිතෙල් වෙනුවෙන් පෝලිමේ ඉන්නේ අදටත් වැඩිපුරම මධ්‍යම පංතිය. එහෙම නොවෙන්න ලංකාව වගේ රටක කොහොමද මෙහෙම පොදුජන අරගලයක් දියත් වෙන්නේ. කොච්චර කවුරු තිත්තයි කිව්වත් ඇත්ත ඒකයි.

ඒ නිසාම තමයි , තනි ආසනයක් එක්ක පාර්ලිමේන්තු ආව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වෙන්නේ .

පොහොට්ටු ආණ්ඩුවේ මුලින්ම මුදල් ඇමති වෙන්නේ රට දිනුවා කියපු මහින්ද අප්පච්චි. අප්පච්චි අවුල් කියලා මොළ හතයි කියලා බැසිල්ට තැන එන්නේ , ආර්ථික අර්බුදය ඉස්මුරුත්තාවට ගිය නිසා. මැරයන් දාලා ගහලා ඒත් අරගලය මොට කරන්න බැරි වුණ තැන මහින්ද රිටයර්ඩ් වෙනවා. මොළ හතේ මුදල් ඇමති බැසිල් නිකම්ම ගෙදර යනවා.

සජිත් අනුර පසු පාදයේ ආරක්ෂක පියවර !

එතනදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ආණ්ඩුවක් හදන්න එන්න කියනවා. ඒත් දේශපාලන නැකත් පත්‍ර අනුව ඒ වෙලාවේ ආණ්ඩුව ගන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි කෑමක්. ඒ නිසා සජිත් කොන්දේසි නහුතයක් දාලා අඩිය පස්සට ගන්නවා . ජාතික ජනබලවේගය පක්ෂයේ අනුරත්, ජනාධිපති ඉන්නකං බෑ කියලා , ස්ටෙප් ඩවුන් යනවා.

රට අරාජික වෙනවා. අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් නැතුව දින ගණන් ගෙවෙනවා. හමුදා පාලනයක් ගැන දෙස් විදෙස් මත පළවෙනවා. ලෝක බලවතුන් ලංකාව දිහා බලලා පොලු අතට ගන්නවා.

අන්තිමට ජනාධිපති ගෝඨාභය දන්න කියන උපදේශකයන් වගේම අවසන් තුරුම්පුව කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ආරාධනා කරනවා ආණ්ඩුව බාරගන්න කියලා .

රනිල් තමයි ඒ අභියෝගය ගන්නේ . පතුලක් නොපෙනෙන අර්බුදය විසඳීමට අවශ්‍ය දැනුම තිබුණට රනිල්ට ටීම් එකක් නෑ . මොකද එජාපයෙන් ඉන්නේ රනිල් විතරයි . අභියෝගය සුලුපටු නොවෙන්නේ රනිල් අගමැති වුන ගමන් සජිත් අගමැති ධූරය ඉල්ලා නාහෙන් අඬන්න ගැනීමත් එක්ක.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය විදිහට ප්‍රසිද්ධියේ කියන්නේ , තමන් ආවේ ආර්ථිකය හදන්න කියලා . රනිල් ඇහින්දාස් ටීම් එකක් එක්ක තමයි මේකට බහින්නේ . 

දැන් රනිල් අගමැති තමයි . හැබැයි ප්‍රශ්නයක් තියෙනවා . ඒ තමයි දැන් අමාත්‍ය ධූර පත්කරමින් ගියත්, රනිල්ට රට හදන්න සහය දෙන්න කියලා හරීන්ලා, මනූෂලා, ජීවන්ලා තමන්ගේ දේශපාලන අනාගතය පරදු තිබ්බත්, තවමත් රනිල් - ගෝඨා ආණ්ඩුවට මුදල් අමාත්‍යවරයකු නෑ .

කඩ්ඩ හොඳ වුණාට විෂය බෑ : විෂය දන්නවට කඩ්ඩ බෑ !

ඒ කියන්නේ ඕනම එක හැර අනිත් සේරම වගේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය ධූර අරගෙන . ඒත් මුදල් ඇමති කෝ ?

මේක දේශීය විදේශීය ව්‍යාපාරික ප්‍රජාවෙ ඉඳලා ණය දෙන, ණය දුන්න, ඉස්සරහට දෙන්න සූදානම්ව ඉන්න කාටත් ප්‍රශ්නයක් වෙල තිබුණේ .

ඔය අස්සේ මුලින්ම ආව ආරංචිය තමයි බැසිල්ගේ හොල්මන් ආණ්ඩුව අස්සෙ ඇවිත් , මුදල් ඇමති ධූරය පොදුජන පෙරමුණේ නමට ගන්න ගිය බව .

කපුටාස් ඇටෑක් !

ඉතිං බැසිල්ගේ හොල්මන ගෝඨාභය රනිල් ආණ්ඩුව අස්සේ දුවන්න ගන්නවා. මුලින්ම යෝජනා වෙන්නේ කෙහෙලිය රඹුක්වැල්ල ව. ඒ කියන්නේ වත්මන් සෞඛ්‍ය ඇමති . හැබැයි කෙහෙලිය නෙවෙයි වැඩේට හරියන්නේ . දෙස් විදෙස් කවුරුත් කෙහෙලිය ව මුදල් ඇමති විදිහට පිළිගන්නේ නෑ .

මොකද කඩ්ඩ හොඳ වුණාට කෙහෙලිය සබ්ජෙක්ට් එක දන්නේ නෑ . හැබැයි බැසිල්ගේ අවතාරය එතනින් නැවතුනේ නෑ . සබ්ජෙක්ට් අවුල් කෙහෙලිය වෙනුවට ආර්ථික සබ්ජෙක්ට් එක දන්න කිහිපදෙනෙකු දාන්න බැලුවා . ඒත් එයාලගේ කඩ්ඩ, ඒ කියන්නේ ජාත්‍යන්තරය එක්ක ගනුදෙනුව බේරගන්න කඩ්ඩ බෑ. ඒ කියන්නේ බැසිල්ගේ අවුලම තමයි .

ඒ නිසා ආයෙත් හිටපු මුදල් ඇමති අලිසබ්‍රි ගේ නම යෝජනා වෙනවා. ඒත් ප්‍රශ්නයක්. ගේ ගිනි තිබ්බා කියලා ආය පාර්ලිමේන්තුව පැත්තේ එන්නේ නෑ කියලා , බොහොම හැඟීම්බර වුණ අලිසබ්‍රි දැන් පරක්කු වැඩියි කියලා තමයි දෙස් විදෙස් ව්‍යාපාරික , ආයෝජක සහ සංවිධාන වල මතය වෙන්නේ .

හර්ෂ සහ ඉරාන් ආසයි : සජිත් බයයි !

දැන් එතකොට කවුද මුදල් ඇමති ? ඇත්තම කතාව තමයි ලංකාවේ මිනිස්සු බලාගෙන හිටියා රනිල් වික්‍රමසිංහ අරගත්තු අභියෝගයට සහය දෙන්න ආචාර්ය හර්ෂ ද සිල්වා එයි කියලා . හැබැයි සජිත් විරුද්ධයි . ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් එනතුරු බෑ කියලා හර්ෂ අභියෝගය බාරගත්තෙ නෑ . ඊළඟට මිනිස්සු හිතුවා ඉරාන් වික්‍රමරත්න එයි කියලා . එයත් සජිත් නිසා ආවේ නෑ . ඔය අස්සේ චම්පිකගේ නමත් කරළියට ආවා. ඒත් තවම චම්පික හරියට ස්ථාවරය කියලා නෑ .

ඒත් මේ වෙනකොට රනිල් - ගෝඨා ආණ්ඩුවට තවම මුදල් අමාත්‍යවරයෙක් නෑ . ඒ කියන්නේ මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මනමාලි නැති මගුල් ගෙදරක් වගේ . නැත්නම් මනමාලයා නැති මගුල් ගෙදරක් වගේ .

දැන් කොහොමද රනිල් - ගෝඨා දීගය ඉස්සරහට යන්නේ ? කවුද විෂය වගේම භාෂාවත් දන්න ඒ, විශේෂ ප්‍රාගුණ්‍ය තියෙන නායකයා . ආරංචි විදිහට මේ ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න යන්නේ රනිල් . රාජතාන්ත්‍රිකයන් සමග හරි හරියට හැප්පිලා, සාකච්ඡා කරලා, අදහස් යෝජනා වගේම , විකල්ප ඉදිරිපත් කරලා , රට අර්බුදයෙන් ගලවලා ගන්න ඒ වගකීමත් රනිල්ට එන්නේ .

දෙස් විදෙස් තේරීම : රනිල් !

බැසිල් කොච්චර කොකු දැම්මත්, මේ වෙනකොට ජනාධිපතිටත් , සුදුස්සා කවුද කියලා , දේශීය ව්‍යාපාරික ප්‍රජාව වගේම , ජාත්‍යන්තර පවා තෝරලා තියෙන්නේ රනිල් කියලා තමයි කියන්නේ . ඒ නිසා රනිල් මේ ආණ්ඩුවේ මුදල් ඇමති වුණාට කවුරුත් පුදුම වෙන්න දෙයක් නෑ .

ඒ වගේම ලියන්න බැරි ගොඩක් තොරතුරු එක්ක පොඩි ටිප් එකක් දෙන්නම්. එජාප ක්‍රියාකාරීන් ඊයේ (24) සෝෂල් මීඩියා වල දාපු පෝස්ට් බලන්න . අගමැති ධූරය අත්හැර හෝ බැසිල් දමනය ජනතාවට දෙන්න කියලා තමයි ඒ පෝස්ට් ගියේ.

රාජපක්ෂ රනිල් ඩීල් නම් එහෙම පෝස්ට් වැටෙන්න විදිහක් නෑ .

ඒකයි කියන්නේ රනිල් මුදල් ඇමති වීම මාර පරාජය තරම් දුෂ්කර තත්ත්වයක් වුන බවත් අමතක කරන්න නරකයි. ඒ නිසාම තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක එක විට දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ ඉස්සරහට ගන්න ඕන .ඕක රනිල්ට අමතක වුණත්, ජනතාව අමතක කරන්න නරකයි .

 

කොත්තු රයිස් බත් බස් ගෑස් : සියල්ලේ මිල ඉහළට !

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි .

ඉන්ධන මිළ ඉහළ යාමත් සමගම සියලුම භාණ්ඩවල මිළ ඉහළ වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල් ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

බස් ගාස්තු 19.5 % කින් ඉහළට !

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර දී ඇති බව වාර්තා වෙයි .

ඊට අනුව සියලු බස් ගාස්තු 19.5% කින් ඉහළ යනු ඇත.

නව බස් ගාස්තු මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී අවම බස් ගාස්තුව රුපියල් 32.00 දක්වා ඉහළ ගොස් ඇත .

ගෑස් මිලත් ඉහළට !

තවද ලිට්‍රෝ සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .

මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා යනු ඇති බවත් දැනගන්නට ඇත .

දැනට එම ප්‍රමාණය ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4860ක මිලකටයි.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත පවතින මිලට ගෑස් අලෙවි කිරීමට නොහැකි බවද සමාගම දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් පසුගියදා කෝප් කමිටුව හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගම මිල සූත්‍රයක් සඳහා එකඟතාව පළකර තිබිණ .

 

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද (24) පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.

මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.

සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්විය.

මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය

රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද මහ බැංකු අධිපති පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.

එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

මූලාශ්‍රය - lankadeepa

පෙරටුගාමීන් සහ මනෝලා දිගාලා : දේශපාලන එකඟතාවක් !

ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහපක්ෂය ණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර එකඟතාවක් ඇතිව තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද (24) කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්‍යාලයේදී මේ සාකච්ඡාව පවත්වා ඇත .

ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාරද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න සහභාගීවූ බවත් වාර්තා වෙයි .

වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවබෝධයක් ඇතිකර ගත් බවත් වාර්තා වෙයි .

ඖෂධ හිඟයෙන් මිදීමට : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රනිල්ට පොරොන්දුවක් !

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුධයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී අද (24) සහතික වූවාය.

එසේම වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුධය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඇය සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් රැසක් දක්වන සහයෝගය ද මෙහිදී අගය කළේය.

ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බවද ආචාර්ය අලාකා සිං තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2 ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය කීවාය.

ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

අද පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් සම්බන්ධීකාරක, තාක්ෂණ සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

IMG 20220524 WA0001

IMG 20220524 WA0002 1

සෞභාග්‍යය මාරයි : රජයේ ත්‍රීපෝෂ කම්හල වහයි !

ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ ත්‍රිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙයි .

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත මෙය වසා දැමීමට සිදුව ඇත.

එමෙන්ම බඩ ඉරිගු හා සෝයා නැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂවලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ ආයතනද වසා දමන තත්වයකට පැමිණ ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත .

දර්ශන හඳුන්ගොඩට CID කැඳවීමක් ; අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන දර්ශන හදුන්ගොඩට හෙට පෙරවරු 10ට CID එකේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබෙන බව වාර්තා වෙයි .

වසර ගණනාවක් පුරා යූටියුබ් නාලිකා නියෝජනය කරමින් පවතින දේශපාලන තත්වයන් හා දූෂණ වංචාවන් හෙළිකරමින් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවන්හි ඔහු නිරත වී සිටියි.

පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරන්නටත් ඔහු ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරමින් සිටියි.

ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID එකට කැඳවීමක් කර තිබෙන බව දැනගන්නට ඇත .

කෙසේ වෙතත් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව දර්ශන හදුන්ගොඩ CID එකට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

ඉන්ධන මිල යළි ඉහළ යද්දී බත් පැකට්ටුවත් ගණන් උස්සයි

ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.

 බත් පැකට්ටුවත් ගණන් උස්සයි
 
මෙසේ  ඉන්ධන මිල යළි ඉහළ යද්දී  බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල අද(24) සිට ක්‍රියාත්මක වන පිරිදි 10% කින් ඉහළ දමා තිබේ.

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා සඳහන් කළේ, ආපන ශාලාවල අනෙකුත් ආහාරවල මිල ගණන් වැඩි කිරීමක් සිදුනොකරන බවය.

21 කැබිනට් මණ්ඩලයට : පිටපත් පක්ෂ නායකයන්ට !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වෙනි සංශෝධනය පිළිබඳ කමිටුව ඊයේ (23)පස්වරුවේ රැස්වී කළ සාකච්ඡාවෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කී අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ දී කෙටුම්පත සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ට එය ලබාදී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නැවත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසිඑක් වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනු ඇති බවත් ලබන සිකුරාදා රැස්වී ඔවුන්ගේ අදහස් ලබා ගන්නට අප බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට පසුව ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර පළමුවෙන්ම ගැසට් නිවේදනය පළ කොට ඊට පසුව වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහාය ඇතිව සංශෝධනය සම්මත කරගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

බැසිල්ගෙන් බාල්දියක් ?

මේ අතර සමාජ මාධ්‍ය ඇතුළු පුවත්පත් කිහිපයක වෙබ් අඩවි සඳහන් කරන්නේ 21 සම්මත කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ මෙහෙයවීමේ සූදානමක් ඇති බවයි.

එසේම ජාතිවාදී සංවිධාන මේ වන විට නිවේදන නිකුත්කරමින් විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලය සිඳීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවට දේශපාලන විචාරකයන් ද චෝදනා කරයි.

ඒ වෙනුවෙන් මේ වන විට ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ද යොමුකර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබන ලිට්මස් පරීක්ෂණයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

05/09 ප්‍රතිප්‍රහාරයේ චෝදනා : ජවිපෙ අමුවෙන්ම පොලිස්පති අමතලා !

05/09 පරීක්ෂණවලදී අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත අවධාරණය කර ඇත.

ඒ ආණ්ඩුවේ ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 05/09 ප්‍රහාරය සම්බන්ධයෙන් ජවිපෙ ඈඳා පොලිස්පති පවා උපුටා දක්වමින් එල්ල කළ චෝදනා ගැන කරුණු පැහැදිලි කරගන්නට පොලිස්පති හමුවී සිදුකළ සාකච්ඡාව අවස්ථාවේ ය.

අද (23) එම සාකච්ඡාව සඳහා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති , නීතිඥ හර්ෂණ නානායක්කාර සහ නීතිඥ සුනිල් වටගල සහභාගීවී ඇත .

සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ පැවසීය .

5/9 මිලේච්ජ ප්‍රහාරය පොහොට්ටු කල්ලියක වැඩක් !

පසුගිය 09 වැනිදා උදෑසන අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොල්ෆේස් පිට්ටනියේ සාමකාමී අරගලයේ හිටපු අයට ම්ලේච්ඡ ලෙස පහර දෙනු ලැබුවා. ඒ පහරදීම කළේ පොදුජන පෙරමුණේ ත්‍රස්තවාදී කල්ලියක්. ඉන් පසුව 09වැනිදා සවස රට පුරා උද්ඝෝසණ පැවැත්වුණා. ඒ වගේම රාත්‍රිය වන විට බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා. මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා.

පොලිස්පතිගෙන් දැනගත් දේවල් මෙන්න !

මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි; ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.

නමුත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විවිධ ඇමතිවරුන් නම් ප්‍රකාශ කරමින් අපේ පක්ෂයට චෝදනා එල්ල කළා. මේ චෝදනා සම්පූර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සමග පැවති සාකච්ඡාවේදී මෙය නිරවුල් කරගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස්වල සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා. එතැනදී කිසිදු දේශපාලන භේදයක් නැතිව එම සිදුවීම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළා. යම් තැනක වැරදි ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබෙනවානම්, විශේෂයෙන් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවලට අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්නත් ඔවුන් එකඟ වුණා. මේ අවස්ථාවේදී ඇතැම් අය පෞද්ගලික පළිගැනීම් මත, දේශපාලන පළිගැනීම් මත අපේ පක්ෂයේ සාමාජිකයන් දඩයම් කිරීම ඉලක්ක කර ගනිමින් ඇතැම් දේ සිදු වෙමින් තිබෙන බව අප පෙන්වා දුන්නා. ඒ පිළිබඳවත් සොයා බලන්න ඔවුන් එකඟ වුණා. පොලීසියේ අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අපි අවධාරණය කළා. මීට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතව සිදු කරන බවට පොලිස්පතිතුමා ඇතුළු පොලීසිය පාර්ශ්වයෙන් සහතිකයක් දුන්නා.

ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ නම් නීතිය ක්‍රියාත්මක කරන්න !

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් සම්බන්ධව දේශපාලන භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අභූත චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොතබන ලෙසත් අපි මෙහිදී ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ තින්දු ගෙන නොමැති බවත් ජවිපෙ සාමාජිකයන් දේශපාලන තීන්දුවක් මත එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අපි අවධාරණය කළා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන වැරදි මත වෙනස් කිරීමට මැදිහත් වන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටියා.

ඕනෑම දෙයක් අපෙන් අහන්න. අපට හංඟන්න දෙයක් නැහැ :
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

Sunil Handunnetti 2022.05.23 1දැනට ඇති සිද්ධි හා තොරතුරු ඇතුළුව, අපට අභූත චෝදනා නගන්න, දේහපාලන වශයෙන් මඩගහන්න පාවිචිචි කර තිබෙන තොරතුරු අප විසින් පොලීසියට ඉදිරිපත් කළා. එම තොරතුරු ලිඛිතවත් භාරදීමට සූදානම් බව අපි පෙන්වා දුන්නා. විශේෂයෙන් පසුගියදා වැලිගමදී ඩීසල් බෙදාහැරීමට බාධා කිරීමට ජවිපෙ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කටයුතු කළ බවට කාන්චන විජේසේකර තෙල් ඇමතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළා. මේ සිදුවීමට අදාළ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන ලෙස අපි පොලීසියෙන් ඉල්ලුවා. ඒ අවස්ථාවේදීත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මට කතා කරලා අපේ මන්ත්‍රීවරයෙක් මෙසේ බාධා කිරීමක් කරන්නේදැයි ඇහුවා. එවැනි තත්වයක් කොහෙත්ම නැති බවත් රටේ පවතින සාමාන්‍ය පරිපාලනයට බාධා කිරීමට අපට කිසිදු වුවමනාවක් නැති බව මම ඔහුට කිවුවා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයාත් සිටියේ තෙල් පෝලිමේයි. මීට අදාළ වීඩියෝ තියෙනවා. එහි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායැයි හිතාගෙන කතා කරන්නේ වෙනත් අයෙකුටයි. ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳි කෙනෙක්. කෙනෙක් රතු ටී ෂර්ට් එකක් ඇඳ ගත් පමණින් කෙනෙක් ජේවීපී වෙන්නේ නැහැ. එයවත් නොතේරෙන ලෙස කටයුතු කර අවසානයේ රටේ කඩාකප්පල් වැඩ කරන්න යන්නේ ජේවීපී එක බවට මාධ්‍ය තුළ මතයක් හදන්න හදනවානම් එය මුළුමනින්ම වැරදියි. එය නිවැරදි කිරීමට අප මැදිහත්වනවා වගේම එම වගකීම ආරක්ෂා කිරීම නීතිය රකින අයට තිබෙනවා.

අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම සිදුවීමක් පිළිබඳව ඍජුව අපගෙන් විමසන ලෙසයි. අපට හංගන්න කිසිවක් නැහැ. එම සිදුවීමේදීත් ඉතාම පැහැදිලි ලෙස අපට මඩ ගහන්න එය පාවිච්චි කර ගත්තත් රටේ තෙල් බෙදා හැරීම අඩපණ කරන්න හෝ වෙනත් පරිපාලන බිඳවැටීමක් කරන්න අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපි ඒ බව පොලිස්පතිතුමාට අවධාරණය කළා.

මේ සිදුවීම් පාවිච්චි කර ගෙන කවුරු හරි නැවත ඉතිහාස කතාවක් හදන්න හදනවානම් ඒකට නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් ගාවගන්න ඉඩ තියන්න එපා කියලා අපි පොලිස්පතිතුමාට අවධාරණය කළා. අපිට වගේම පක්ෂ භේදයෙන් තොරව සාධාරණත්වය ඉෂ්ට කිරීම වෙනුවෙන් පොලිස්පතිතුමාටත් වගකීමක් තියෙනවා. එවැනි සාධාරණ ඕනෑම පරීක්ෂණයකට සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. ඒ සහයෝගය ලබාදෙන්නේ මේ රටේ යුක්තිය, නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන, නීතියේ ආධිපත්‍යය රැකීමට අවශ්‍ය බව විශ්වාස කරන ජනතාව වෙනුවෙනුයි. එදත් 09වැනිදා ජනතාව පාරට ආවේ අවනීතික ක්‍රියාවට එරෙහිවයි. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අශිෂ්ට ක්‍රියාවට එරෙහිවයි. ඒ පිළිබඳව කරනු ලබන පරීක්ෂණයකදී අපක්ෂපාතීත්වය ආරක්ෂා කරන්න පොලිස්පතිතුමාට වගකීමක් තියෙනවා.

ලංකාවේ වගේ කරගන්න එපා : IMF ප්‍රධානී ලෝකයටම දන්වයි !

සමාජයේ සිටින දුප්පත් ම පිරිස් සඳහා රජයයන් ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා සඳහන් කර ඇත්තේ, එලෙස සහනාධාරයක් ලබා නොදීම සහ ඊට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේ මේ වන විට දක්නට ලැබෙන විරෝධතා වෙනත් රටවල ද ඇතිවිය හැකි බව ය.

වර්තමානයේ ඉහළ යන ජීවන වියදම සමග ලොව පුරා ජනතාව අපහසුතාවට පත් වෙමින් සිටින බව ත් ඔවුන්ට ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බව ත් ඇය අවධාරණය කර ඇත.

වඩා ත් සුදුසු වන්නේ, ඉලක්කගත ආකාරයකින් සෘජුව ම ජනතාවට සහනාධාර ලබා දීම බව ද ඇය පෙන්වා දී තිබේ.

බොහෝ රජයයන් සිය රටවල්වල ජනතාවට උපකාර කරන අතර එය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් විවේචනය කරන බව ද ඇය පවසා ඇත.

මෙම වසරේදී ආහාර මිල වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ඉන්ධන සහ ගෑස් මිල ද අභියෝගාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතය සහ රුසියානු – යුක්‍රේන යුද්ධය මීට ප්‍රධානතම හේතුව බව එම වාර්තා පෙන්වා දී ඇත.

කෙසේ නමුත්, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සශ්‍රීකත්වය උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයයන් සමග එක්ව කටයුතු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිරිස්ටලිනා ජියෝජියේවා වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

– මව්බිම

සහල් සංචිතය සැප්තැම්බර් ඉවරයි : අගමැති වගා සංග්‍රාමයක් අරඹයි !

විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

ලෝකයම ආහාර හිඟයක් අභිමුව සිටින අතර ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිලිබඳ සාකච්ඡාවක් අද (23) අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණ අතර එහිදී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

මෙහිදී අහාර භෝග, පශු සම්පත් සහ අපනයන භෝග පිළිබඳවත් සාකච්ඡා කල බව වාර්තා වෙයි .

ඊට අමතරව පොහොර , බිජ සහා ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කල අතර ඊට ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා උපදෙස් ලබාදුන් බවත් වාර්තා වෙයි .

මාසිකව සහල් අවශ්‍යතාව මේටික් ටොන් ලක්ෂ දෙකක් බවත් දැනට රට තුල සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.

ඊලඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය හැකි ආහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කල අතර විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ වෙත අහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කර ඇත .

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා වෙයි .

බස්නාහිර හා දකුණු පලාත් වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග , පා.ම මධුර විතාන , කොලඹ පුරපතිනි රොසි සේනානයක , විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතලත් කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා වෙයි .

රට තුළ දැනට පවතින අහාර ප්‍රමාණය පිළිබඳ දත්ත එක්රැස් කිරීම සහා නිර්දේශ ඉදිරිපත් පත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත් කල බවත් අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග පවසයි .

Page 249 of 387