පුවත්

චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !
නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරව නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හසංමාලි ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර කළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම අසාධාරණ බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන බවත් සඳහන් කර ඇත.
එසේම අදාළ පුවතට අනූව ඔවුන් නිරෝධානය කාල සීමාව අවසන් කර අද (16) දිනයේදී නිවෙස් වෙත පිටත්ව තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානයේ දී ජන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ.
නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වීමට පෙර ඩේලි මිරර් වෙත ඔවුන් අදහස් පළ කර ඇත්තේ මෙසේය. “අපට පසුව පවා පෞද්ගලික සාද පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබුණා.
කෙසේ වෙතත්, ඔවුන් සියල්ලෝම අප වගේ රැගෙන ගියේ නැහැ. නිවාස නිරෝධායනයට යටත් වුණා විතරයි. මෙතැන ලොකු අසාධාරණයක් වුණා. අපි නීතිමය මාර්ගයට එළැඹෙනවා”

මාස 10 කට පසුව ඇප ලබපු : කවුද මේ ශානි ?
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි.
නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු වරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.
ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කෙරිණි.
සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීම ද තහනම් කෙරිණි.
සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළේය.
ශානි අබේසේකර හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිත වූ බව ද පෙත්සම් විභාගයේදී අනාවරණය විණි.
හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍යවරු විසින් දැනටමත් උපදෙස් දෙනු ලැබ ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට තීන්දු කළ බවද සඳහන් කළේය.
මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරනු ලැබිණි.
දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.
ඉන් අනතුරුව මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කෝවිඩ්-19 ආසාදිත වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජාතික මානව හිමිකම් කොමිසම විසින් දෙවතාවක්ම බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන ලද සිහි කැඳවීම්වලින් අනතුරුව IDH රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙත්සම්කරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරි තවරාසා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
කවුද මේ ශානි අබේසේකර ?
ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.
එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නව රජය පත්වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේය.
ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.
පසුගිය යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්හවූ අතර ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අය අතර වේ.
ශානි අබේසේකර සමඟ විමර්ශන වල එක්ව කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නොවැම්බර් 24 දා ඇතැම් විමර්ශන ලිපිගොනුද රැගෙන විදේශ ගතවූ බවට වාර්තා විය. නිශාන්ත සිල්වා අවසරයකින් තොරව රටින් පිටව යාමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර විය නොහැකි පරිදි ඔවුන්ගේ නාම ලේඛන ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයට ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණ.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අවසරයකින් තොරව විදේශගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ විය.
රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔවුන්ට ඒ අවස්ථාවේදී චෝදනා එල්ලවිණි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔවුහු, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ පමණක් තමන් යෙදී ඇති බව අවස්ථා ගණනාවකදී සඳහන් කළහ.

බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් : සජිත් බාරගනියි !
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව සමගි ජනබලවේගය විසින් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ට එරෙහිව ගෙනෙන්නට සූදානම් වන විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල්ගේ නම මැතිවරණ කොමිසමට !
එක්සත් ජාතික පක්ෂය සඳහා පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නම නිල වශයෙන් මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇත.
ඒ බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් තහවුරු කර සිටියි. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධ ගැසට් නිවේදනය 18 නිකුත්කරනු ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එළැඹෙන පාර්ලිමේන්තු දිනයේ දිවුරුම් දෙනු ඇති බවයි.
මේ අතර මේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු ආගමනය හමුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තුළ කිසියම් දේශපාලන තිගැස්සීමක්, ආතතියක් ඇතිකර තිබෙන බවක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස ජූලි චන්ග් එයි !
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මී ළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර ඇත.
ඊයේ (15) ධවල මන්දිරය මේ බව නිවේදනය කළේ ය.
ඇමරිකානු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ජූලී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ලේකම්වරිය ද වෙයි.
ඇය මීට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර ඇති අතර ලොව රටවල් කිහිපයකම තානාපති කාර්යාලවල විවිධ තනතුරු හොඹවා ඇති හසල පළපුරුද්දක් සහිත අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.
ජූලී කාම්බෝජයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස , තායිලන්තයේ බැංකොක්හි තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශකවරිය ලෙස , ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකවරියක ලෙස, කොලොම්බියාව, වියට්නාමය සහ ජපානය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල සහ චීනයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ද සේවයේ නියුතුව ඇත.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ජූලි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ.

හිටපු CID අධ්‍යක්ෂ ශානිට ඇප !
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.
මෙසේ ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි. එසේම උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.
ඒ දෙදෙනා ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් දෙක නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි කැඳවන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් නඩු දිනයේදී වැලිකඩ බන්ධනාගාරයට නියම කර තිබුණි. එහෙත් වාර්තාව ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුණේ නැති අතර ඒ සම්බන්ධව වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරුණු විමසා බලන ලෙස විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.
ශානි අබේසේකර හා සුගත් මැන්ඩිස් යන පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින්ම රිමාඩ් භාරයට පත්කළේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වන අතර ඇප ඉල්ලීම් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප විය.
දෙදෙනාම අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් වෙනම ගොනු කළේ ඉන් අනතුරුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා සිටියේ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන තමා ශල්‍යකර්මයකට භාජනය වීමට ඇති බව කියා සිටිමිනි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී එම කටයුත්ත කිරීමට අපහසු බවද ඔහු සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් සම්මත කළ අතර එහිදි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබීම ගැනත් අවධානය යොමුකර තිබිණ.

යුරෝපා ජීඑස්පී තහනම තවත් ‘ආර්ථික ඝාතනයක‘ ආරම්භයයි - රජිත් කීර්ති
2010 – 2015 ආණ්ඩුවේ උපදේශකයින් තවත් වරක් ලංකා ආර්ථිකය ඝාතනය කිරීමේ මාවතට ශ්‍රී ලංකාව වේගයෙන් තල්ලු කරමින් සිටින්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
‘‘2010 සිට 2017 මැයි 17 දක්වා යුරෝපයේ ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීම නිසා ශ්‍රී ලංකාවට රු. බිලියන 150 සිට 250 දක්වා වන පාඩුවක් සිදුවුණා. 2017 දී යුරෝපා සංගමය 2023 දක්වා ලංකාවට නැවත එම බදු සහනය ලබා දුන්නා. මේ රජයේ අදූරදර්ශී ක්‍රියා නිසා නැවත එම සහන අහිමිවීමේ අවදානමක් තිබෙනවා‘‘ යැයිද ඔහු සඳහන් කරයි.
‘‘ලංකාවේ මානව හිමිකම් තත්වය නරක අතට හැරෙමින් පවත්නා අතර, එය යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික හා ඒකාබද්ධ වාණිජ්‍ය කටයුතු සඳහා අයහපත් අන්දමින් බල පෑ හැකිය.‘‘ යන පැහැදිලි පණිවුඩය ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
සමාජිකයින් 705 කින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවේ දී ලංකාවට පක්ෂව ලැබුණේ ඡන්ද 15 කි. ලංකාවට බදු සහන ලබා නොදිය යුතුය යන මතයට ඡන්ද 628 ක් ලැබී ඇත. යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවේ කටයුතු වලට මෙවැනි එල්ල වූ දැවැන්තම විරෝධය මෙය යැයි ද තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජීඑස්පී සහනය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය
චීනය ලංකාවේ ලොකුම වෙළෙඳ හවුල්කරුවා වන අතර දෙවන වෙළෙඳ හවුල්කරු යුරෝපා සංගමය යි. යුරෝපය 2020 දී යුරෝ මිලියන 2083 ක් භාණ්ඩ 27 ලංකාවෙන් මිලදී ගෙන ඇත.
2010 වසරේ දී ලංකාවේ අපනයනයන්ගෙන් 35% ක් යුරෝපය මිලදී ගත්තේය. 2010 සිට 2017 දක්වා ජීඑස්පී බදු සහනය අහිමි වීමෙන් පසුව අද ලංකාවේ අපනයනයන්ගෙන් යුරෝපයට යොමුවන්නේ 22.4% ක් පමණී. මෙම තත්වයට හේතු වූයේ එදා රජයේ ආර්ථිකය මෙහෙයවූ පිරිසගේ ක්‍රියාකලාපය යි. නැවත වරක් එවැනි තත්වය පාමුලට ලංකාව පැමිණ තිබේ.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් යුරෝපා සංගමය මගින් ලැබෙන බදු සහන උපයෝගී කොට ගෙන සිය ආර්ථිකය ගොඩ නංවා ගැනීමට දැඩි උත්සාහයක් දරයි. එසේ තිබිය දී, ‘තරඟකාරී පදනමින් අපනයනය සිදු කිරීම සුරංගනා කථාවකි.
2010 – 2017 ජීඑස්පී සහන අහිමිකිරීමේ ප්‍රතිඑලය
2010 වන විට ලංකාවේ ප්‍රධානම අපනයනයක් වූවේ යුරෝපා සංගමයේ ඇඟළුම් වෙළෙඳපොල යි. ලංකාවට බදු සහනය අහිමි කරන විට වියට්නාමය, පාකිස්ථානය කාම්බෝජය යුරෝපයට ඇඟළුම් අපනයයෙන් ලංකාවට පිටුපසින් පිළිවෙලින් ඩොලර් මිලියන 2.1, ඩො.මි. 1.5 හා ඩො.මි. 1.09 ක් ලැබීය. 2019 වන විට ඉහත රටවල් සියල්ල ඇඟළුම් ආදායමනේ ශ්‍රී ලංකාව පසුකර ගියේය. ලංකාවේ ඇඟළුම් ව්‍යාපාරිකයෝ බංගලිදේශය, වියට්නාමයේ ව්‍යාපාර ඇරඹීය. 2017 නැවත ලංකාවට ජීඑස්පී ලැබෙන විට ඉහත රටවල් පමණක් නොව ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් ද ලංකාව පසු කර යුරෝපා වෙළෙඳ පොල දිනාගෙන අවසන් ය.
අපට අහිමි වූ යුරෝපා ඇඟළුම් වෙළෙඳපොල දිනාගත් බංගලි දේශය අද ශ්‍රී ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් වී ඇත. ජීඑස්පී සහන නොලැබීමෙන් ලංකාවේ ආර්ථිකය ඝාතනය කිරීමේ ආරම්භ වූවේය. ග්‍රීක බැඳුම්කර, හෙජින් සුදුව නිසා භාණ්ඩාගාරය හිස් වන විට එය පක්ෂයේ පමණක් නොව එවකට ආණ්ඩු පක්ෂයේ ද විරෝධය එල්ල විය. අප නැවතත් ගමන් කරමින් සිටින්නේ ඒ ආර්ථික ආගධය වෙතය.
තරඟකාරි පදනමින් අපනයනය සිහිනයක් පමණක් වන්නේ, ජීඑස්පී සහන අහිමි වන්නේ නම්, මත්ස්‍ය නිෂ්පාදනය සඳහා 18.5% ක ද, අඟලුම් සඳහා 9.6% ක ද, එළවළු පළතුරු සඳහා 12.5% ක ද, සෙරමික් සඳහා 8.4% ක ද, බදු ගෙවීමන ලංකාවේ අපනයන කරුවන්ට සිදුවීමය. එවන් අතිරේක බදු බරක් දරමින් යුරෝපා වෙළෙඳපොල ජය ගැනීම සිහිනයක් පමණී.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සිදු කරන මර්ධනකාරී ක්‍රියා මෙන්ම, හිතුවක්කාරී අදූරදර්ශී තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අපට අහිමි කර තිබේ. එය නැවත දිනා ගැනීම සඳහා කටයුතු නොකරන්නේ නම් නැවත වරක් 2012 -2017 සමයේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයට නොවැලැක්විය හැකි වනු ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

ඉන්ධන මිල වැඩි කළේ රට ගැන හිතලා - ප්‍රසන්න

සෞඛ්‍යයේ සියල්ලට හවුල්වී සියල්ල අවුල් කරන දෙන්නෙක් ගැන බරපතළ විරෝධයක් !

ඉන්ධන මිල ඉස්සීමේ නාට්ටිය : පොහොට්ටු කාර්‍යාලයේ සිට ගම්මන්පිලට සොරි කියයි !
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය අතර ගැටුමින් සමන්විත දේශපාලන නාටකය බැසිල් පාර්ශ්වය පරාජය පිළිගන්නා බවකින් අවසන් වෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.
ඒ පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් නිසාය.
එහිදී ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අදහස් දැක්වූ අතර අදාළ තීන්දුව ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවත් පැවසීය.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.
මෙහි විශේෂත්වය වන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල අමාත්‍යවරයා ට එරෙහිව නිවේදනය නිකුත්කළ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊට සහභාගී නොවීමය.
එකී නිවේදනය පිළිබදව උදය ගම්මන්පිළ අමාත්‍යවරයා වෙත කණගාටුව පළකරන බවද එමගින් සිත් රිදීමක් වූයේනම් පක්ෂය වෙනුවෙන් කණගාටුව පළකරන බවත් රාජ්‍ය අමාත්‍ය පැවසීය.
කෙසේ වුවත් මේ නාට්‍ය අවසන් ද යන්න සැක නමුත් ඉන්ධන මිල ඉහළ දැමිම සිදුකර ඇත .
ඉල්ලා අස්වූ ඇමතිකෙනෙක් ද නැත.

අනුමැතිය නැතුව ණයවර ලිපි විවෘත කළේ කොහොමද ? BOC සභාපතිගෙන් කරුණු විමසයි !
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට පෙර මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ලංකා බැංකුව විසින් ණයවර ලිපි විවෘත කළේ කුමන නීතිමය තත්වයක් යටතේද යන්න පැහැදිලි කරන ලෙස ජවිපෙ මධ්‍යමකාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.
නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ට අනූව ලංකා බැංකු සභාපති මේ හරහා බරපතළ අර්බුදයට මුහුණදීමට නියමිත වෙයි.
හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ගේ උපදෙස් පිට නීතිඥ සුනිල් වටගල යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

ෆේල් නම් ඉල්ලා අස්වෙනු රැල්ලක් වගේ : දෙවැනි ලිපිය GL. පීරිස් ට යයි !
ෆේල් ඇමතිලා ඉල්ලා අස්වෙන්න බලකිරීම රැල්ලක් වන ලකුණු පෙන්වයි.
ඒ රටේ පාසල් අධ්‍යාපන පද්ධතිය සහමුලින්ම කඩාවැටී ඇති බවත් ඒ සම්බන්ධව නිසි වගකීම් ඉටුකිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස නොහැකි නම් වෙනත් අයෙකුට අමාත්‍ය ධූරය පවරා ඉල්ලා අස්වෙන ලෙස නව ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙතින් ඉල්ලා සිටීම හමුවේය.
නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් මේ බව ලිඛිතව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ ලිපිය 2021 ජුනි 08 යොමුකර ඇත.
වසර 1 1/2 ක කාලයක් තිස්සේ පාසල් වසා තැබීම බරපතළ අපරාධයක් බවත් එය සමස්ථ සමාජයට වන්දි ගෙවීමට සිදුවන්නක් බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

ශානි ඇතුළු පිරිස් ඉලක්ක කළ දේශපාලන දඩයම නවතනු : තලතා ඉල්ලයි !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි ද්වේශ සහගත දඩයම, රජය වහාම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල අවධාරණය කරයි.
මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත්කරමින් මේ අවධාරණය සිදුකර සිටි අතර ශානි අබේසේකර දේශපාලනමය වශයෙන් පීඩාවට පත් නොකරන ලෙසත් එහිදී ඉල්ලා ඇත.
නිවේදනය නිකුත් කරමින් තලතා අතුකෝරල මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සිරගත කිරීමේ සිදුවීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින්ද පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන් කළ බවය.

ඉන්ධන මිල ඉහළ දැමීම අවුල් තමයි - දයාසිරි
මේ මොහොතේ ලංකාව ප්‍රබල ලෙස ඩොලර් හිඟයකට මුහුණදී සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
පැනනැගී ඇති ප්‍රශ්නය ඩොලර් හිඟය නිසා බවත් විපක්ෂය මොන කතා කිව්වත් එය පාලනය කිරීමට පහසු කරුණක් නොව රටක් ලෙස මුහුණදීමට සිදුව ඇති තත්ත්වයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව මතුව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදිය.
තෙල් මිල මේ මොහොතේ වැඩිවීම ගැන තම පක්ෂය එකඟ නැති බවත් ඔහු පැවසීය. එසේම තෙල් මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය , ජීවන වියදම් ඇමති අනුකමිටුව ගනුලැබූ තීන්දුවක් බවත් ඔහු පැවසීය.

හරි නම් ඇමති මණ්ඩලයම ඉල්ලා අස්වෙන්න ඕන - ඉරාන්

සැප වාහන වෙනුවට ගිලන් රථ ගෙන්වන්න - හර්ෂ
මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් මේ මොහොතේ අවශ්‍යතාවය එය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටින්නේ නිවේදනයක් නිකුත්කරමින් වන අතර එය පහත දැක්වෙයි.
ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු කරමින් සිටී. මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොවේ.
ඒ සියලු මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීමයි. මේ නිසා, ජනතාවාදී විපක්ෂය ලෙස මා මීට දින තුනකට පෙර පැවසූ පරිදිම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහජන මුදල් වලින් වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන ලෙසයි. එම මුදල්ද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මෙයට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

ඉන්ධන මිල ඉහළ දැම්මේ ජනාධිපති අගමැති ප්‍රමුඛ කමිටුවයි - පක්ෂ 08 ප්‍රසිද්ධ නිවේදනයක් !
ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයක් තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත වැඩ පැටවීමේ වෑයම හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 විසින් සඳහන් කරයි.
අද (14) අදාළ පක්ෂ 8 හි නියෝජිතයින් ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපති සහ අගමැති ගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් පිළිබඳ ඇමති අනුකමිටුව ගනුලැබූ තීන්දුවක් බවත් එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

තෙල් මිල එකවර ඉහළ දාන්න උපදෙස් දුන්නේ බැසිල්ලු !
බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩනොදෙන බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ යළිත් විරෝධයක් මතුව ඇත.
ඒ ආණ්ඩුවේ බැසිල් හිතවාදි පාර්ශව තවදුරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට තීන්දු කළ සැබෑ තත්ත්වය වසංකර පෞද්ගලික දේශපාලන වාසියක් ගැනීමට බැසිල් පාර්ශ්වය කටයුතු කරන බව පවසමිනි.
මේ බව මතුකරන බැසිල් විරෝධී පාර්ශ්ව සඳහන් කරන්නේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම තවදුරටත් දරාගත නොහැකි බව තක්සේරු කරමින් ඉන්ධන මිල අවස්ථා දෙකකට ඉහළ දැමීම සඳහා තීරණයක් ගෙන තිබුණත් එය පසුව වෙනස් කළ බවය.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව සාකච්ඡා කිරීමට ජීවන වියදම් ඇමති අනුකමිටුව රැස්වීමට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර අමතා තෙල් මිල ප්‍රශ්නය ගැන කතාබහක් සිදුකර ඇත.
පීබී ජයසුන්දර ට බැසිල් දුන්න උපදෙස ?
එහිදී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර හරහා බැසිල් රාජපක්ෂ දැනගෙන ඇත්තේ ඉන්ධන මිල අවස්ථා දෙකකදී ඉහළ දැමීම සඳහා තීරණය කර ඇති බවය.
ඒ අනුව පළමු අවස්ථාවේ රුපියල් 10.00ක් සහ දෙවන අවස්ථාවේ රුපියල් 10.00 ක් වන ලෙස වැඩිකිරීම හැර විකල්පයක් නැති බව පීබී ජයසුන්දර පවසා ඇත.
එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ අවස්ථා දෙකකදී ජනතාව වෙතින් බැනුම් නොඅසා එකවර බැනුම් ඇසීම ප්‍රමාණවත් බවත් ඒ අනුව ඉන්ධන මිල එකවර ඉහළ දැමීමට සුදුසු බවය.
පොහොට්ටු ලේකම්ගේ හැසිරීම පුදුමසහගතයි !
ඒ අනුව ජීවන වියදම් ඇමති අනු කමිටුව ඒ යෝජනාව සඳහා එකඟතාව පළකර ඇත.
දැන් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්ව කියන්නේ ඉන්ධන මිල එකවර ඉහළ දැමීම සඳහා උපදෙස් නිකුත්කළ බැසිල් රාජපක්ෂ සිය පක්ෂ ලේකම් හරහා නිවේදනයක් නිකුත්කරමින් සිදුකළ ක්‍රියාව කිසිසේත් අදහාගත නොහැකි ක්‍රියාවක් බවය.
පළමු අවස්ථාවේ පක්ෂයේ නිල ලිපි ශීර්ෂයෙන් ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හරහා ගම්මන්පිල අමාත්‍යවරයා ට ඉල්ලා අස්වීම සඳහා ප්‍රසිද්ධ නිවේදන නිකුත්කළ පසුව දැන් දෙවැනි අවස්ථාවේ උග්‍ර බැසිල් පාක්ෂික ලංසා වැනි උදවිය යොදවා කරවන ප්‍රකාශ ඉතා බරපතළ බවත් එම ආරංචි මාර්ග පවසයි.
නාමලුත් හිටියා !
ඔවුන් පෙන්වා දෙන්නේ මේ පිටුපස ඉතා පැහැදිලිව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාව හමුවේ දැඩි අපහසුතාවකට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ගැනත් සැකසංකා මතුවන බවය. එසේම අදාළ තෙල් මිල ඉහළ දැමීම සඳහා වූ සාකච්ඡාවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිටි බවත් මේ කරන ප්‍රකාශ හරහා සියළු දෙනා ජනතාව හමුවේ දුෂ්කරතාවකට පත්ව ඇති බවත්ය.
Page 468 of 469