V2025

පුවත්

ග්ලයිෆොසේට් ආනයනය ට අවසර !

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හෙට (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව ඊට අනුමැතිය ලබා දුන්නේය.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වෙනිදා රැස්විය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (5) පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා පැවසීය .

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.

නව ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සමග වැඩ අරඹයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ විවෘත විය.

 ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙනි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රකාශිත 'නව ලංකා නිදහස් පක්ෂයේ' නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර සමග මතගැටුම් ඇතිකරගෙන තිබෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් ඉදිරියේදී 'නව ලංකා නිදහස් පක්ෂය'ට එක්වීමට මේවනවිටත් සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

අන්ත දක්ෂිනාංශික හෝ අන්ත වාමංශික දේශපාලන පිළිවෙතට එරෙහිව රැඩිකල් මැද ප්‍රතිපත්තියක් මත පිහිටා අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට 'නව ලංකා නිදහස් පක්ෂය' කටයුතු කරනු ඇති බවත්, එම ස්ථාවරයේ සිට පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමග මෙන්ම අරගලයට දායකවූ තරුණ ක්‍රියාකාරීන් සමග පසුගිය සති කිහිපයෙහි දීර්ඝ වශයෙන් සාකච්ජා කළ බවත් එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු ඉහළට......

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ නංවා ඇතැයි දුරකතන සමාගම් පවසයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුවූ බව අදාල සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටෙලිවිෂන් හෙවත් මුදල් ගෙවා නරඹන රුපවාහිනි සේවා ගාස්තුවද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද සිට දුරකතන පැකේජයන් සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ ය.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි – ජනපති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත බාර දීම ද ජනාධිපති කාර්යාලයේ දි සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දී ඇත.

පිළිකා ඖෂධ හිඟයක් : කොමිස් වෙනුවෙන් ඇතිකළ හිඟයක් දැයි සැකයක් !

Folinic acidවල සිට පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නතද ඇතුළත්ව පිළිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැති බවට දැනුම්දීම හේතුවෙන් රෝගීන් ඉමහත් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි .

අදාළ ඖෂධ සිය ගබඩා ආශ්‍රිතව හිඟ හේතුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් , ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පෞද්ගලික ෆාමසි හරහා ලබාගන්නට නිර්දේශ කරන බවත් පීඩාවටපත් රෝගීන් පවසයි .

වාර්තා වන ආකාරයට , කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක මෙකී ඖෂධ හිඟය සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් කර ඇත .

එසේම මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඖෂධ හිඟ බව රෝහල් ආශ්‍රිත ඖෂධ ගබඩා ආරංචිමාර්ගද තහවුරු කර ඇති බවත් දැනගන්නට ඇත .

පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ , අදාළ ඖෂධ පරිත්‍යාග ලෙස ලැබුණොත් මිස, රෝගීන් වෙත රෝහල් හරහා ලබාදීමට නොහැකිව ඇති බවයි.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් වැඩිදුරටත් වාර්තා වන්නේ , අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියමිත වේලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශ දැනුවත් කර නොමැති බවය.

මේ ආකාරයට නියමිත වෙලාවට ඖෂධ හිඟය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් , කල්වේලා ඇතුව ඖෂධ සපයා ගැනීමට නොහැකි වන බවත් , එහිදී සිදුකිරීමට වන්නේ , නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව , අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් වෙත යාමට බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිලදී ගැනීම් වලදී සැපයුම්කරුවන් සඳහන් කරන මිල ගණන් වලට යාමට සිදුවන අතර , එහිදී අනවශ්‍ය මිල ඉහළ දැමීම් සහ කොමිස් මත මිල නියමවීමේ අවධානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශවිශේෂඥයන් පවසන්නේ නියමිත වේලාවට මතුවිය හැකි ඖෂධ හිඟතා සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම වැදගත් බවය.

එසේ නොවුණුහොත් ඖෂධ හිඟයක් පමණක් නොව , වැඩි මිලට ඖෂධ ගැනීමට සිදුවීම , හදිසි ඖෂධ මිලදී ගැනීම් වලදී අතයට ගනුදෙනු ඇතුළු විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි .

IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර්ගෙන් : ලංකාව ගැන සටහනක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර් සටහනක් තබා ඇත.

එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉමහත් ප්‍රසාදයට පත් වන බව ය.

මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා වැදගත් පියවරක් බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගෝස්තු 31 වන දා නිල වශයෙන් නිවේදනය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත ය.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

kistalina 660

විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව : කැබිනට් මණ්ඩලයට !

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග අද (04) පැවති සාකච්ඡාවේදී එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයාට දැනුම්දී ඇත.

ජනාධිපති රනිල්ගෙන් පුටින්ට පණිවිඩයක් !

සෝවියට් සංගමයේ හිටපු නායක මිහයිල් ගොර්බචොව්ගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බලවත් සංවේගය පළ කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් වෙත විශේෂ ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ මිහයිල් ගොර්බචොව්ගේ අභාවය සැලවීමෙන් තමන් බලවත් කණගාටුවට පත් වූ බවයි.

ලෝක සබඳතාවන්හි නව යුගයක් සඳහා මං විවර කිරීමට මෙන්ම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට අනෙකුත් ජාතීන් සමග ක්‍රමයෙන් ඉදිරියට රැගෙන එනු ලැබූ හවුල්කාරීත්වය වෙනුවෙන් කැප වූ අග්‍රගණ්‍යය ලෝක නායකයෙකු ලෙස, මිහයිල් ගොර්බචොව් සිහිපත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

ශෝකයට පත් ගොර්බචොව් පවුල සහ රුසියානු ජනතාව සමග ශ්‍රී ලංකා රජය සහ ජනතාව ද මෙම අවස්ථාවේ අත්වැල් බැඳගෙන සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු අල්ලන්න ආපු අයට තේ අරගෙන දෙන්නද කියන්නේ ?

පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයි ඇතැමුන් චෝදනා කරන නමුත් කළ යුතුව තිබුනේ එලෙස පැමිණි අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය .

පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට කවුරුන් හෝ බලනවා නම් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

එය වීර ක්‍රියාවක් කියා කියන්නට බැහැ.අපට මුහුණ දෙන්නට සිදු වුණේ එවැනි අවස්ථාවකටයි.

ඉකුත් මාර්තු මාසයේදී තරුණයන් එක් වී ආණ්ඩුවකට විරුද්ධව අරගලය කියා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය ක්‍රියා කළේ සාමකාමීව යි. ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා. ඒ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්නට බැහැ. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ඒ උද්ඝෝෂණය ගෙන ගියා. අවාසනාවකට ඉකුත් ජුනි මාසයේදී සාමකාමී කණ්ඩායම ඉවත් කොට ප්‍රචණ්ඩකාරීන් විසින් ඒ ව්‍යාපාරය අල්ලා ගත්තා. ඔවුන් රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තා. පාර්ලිමේන්තුවත් අල්ලා ගන්න උත්සාහ කළා.

පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වෙනවා.

මෙය නීතියේ ආධිපත්‍ය මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. එමෙන්ම ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ හමුදාව සහ පොලිසිය එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසයි.

මහ බැංකු අධිපති නන්දලාල් : නඩුවකට අත වනලා !

අපේ රටේ අර්බුද ඉවරවෙන්නේ නැ .. එකක් හරියගෙන එන කොට, තවත් මරාලයක් කඩා පත්වෙනවා.

සජිත්ලා බලාගෙන ඉන්නේ, ඒවගේ චාන්ස් එක්ක ආපු ගමන් මහ ඡන්දයක් ඉල්ලලා කැම්පේන් කරන්න..

ඔය කතාව කිව්වේ, අලුත් මරාලේ ගැන කියන්න. IMF එක පාස්වෙලා, ජාත්‍යන්තර සහයෝගේ පලවේගෙන එනවත් එක්කම, කඩා පත්වෙච්ච මරාලේ ගැන කියන්න.

මහ බැංකු අධිපති විදියට ආචාරය නන්දලාල් ව පත් කෙරුවේ හිටපු ජනාධිපති ගෝඨා .

ඒත් එතුමාගේ සේවා කාලය ඉවරවෙන්න තියෙද්දී තවත් වසර 06ක සේවා දිගුවක් දෙන්න නිර්දේශ කලේ මුදල් ඇමති විදියට රනිල්..ඒ ගෝඨා ගේ අගමැතිවෙලා ඉන්දෙද්දී..

හැබැයි නන්දලාල්ට අවුරුදු 6කට දෙනවට,, රනිල් එච්චර කැමැත්තකින් හිටියේ නෑ කියන එක, රහසක් නෙමයි.

නන්දලාල් දේශපාලන චරිතයක් විදියට ඉස් ඉස්සෙල්ලම හිට් වුනේ පහුගිය මැයි 09 වෙනිදා රටම ගිනි ගත්තට පස්සේ .

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවොත්, ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍යවේදීන් මහ බැංකුවට ම ගෙන්නලා කිව්වා. ඒ මාධ්‍ය හමුව තිබුනේ මැයි 12 වෙනිදා..

ඒ මාධ්‍ය හමුවෙදි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙහෙම කියනවා.

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”

මහ බැංකු අධිපතිතුමා එහෙම කියල ජනාධිපති ගෝඨා වයි, ජනතාවයි බය කරනකොට රටේ අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් නැතුව පැය 48කට වැඩි කාලයක් ගිහින්..

''අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව මේ වන විට පැය 48ක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට දේශපාලන බලධාරීන් මෙතෙක් අසමත්ව තිබේ.'' මහ බැංකු අධිපතිතුමා සද්දේ දාලා කිව්වා.

ඔය කතාවලට බයවෙලා තමයි ගෝඨා කව්රුහරි අගමැති කෙනෙක් පත්කර ගන්න ට්‍රයි එක දුන්නේ..

අන්තිමේදී සජිත්, ෆොනී, ඩලස් බැ කියද්දේ රනිල් හා කිව්වා. රනිල් අගමැති වුනා. මහ බැංකු අධිපතිගේ බිය ගැන්වීම නිසා නිකම්ම නිකන් තනි මන්ත්‍රී කෙනෙක් විදියට හිටපු රනිල්ට, අගමැති වෙන්න චාන්ස් එක ආවා.

එහෙම අගමැතිවෙච්ච රනිල් දැන් ජනාධිපති..

ඔන්න දැන් මහ බැංකු අධිපතිට විරුද්ධව ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව මහ බැංකු අධිපති රට බංකොලොත් (ඩීෆෝල්ට්) කිව්වයි කියලා. මේ සේරම ප්‍රශ්න මතුවුනේ ඔය කතාවට පස්සේ ලු..

'' රට බංකොලොත් කියල ලෝකෙට කියන්න මහා බැංකු අධිපතිට බලයක් නැහැ .. මුදල් ඇමතිට වත්, කැබිනට් එකටවත් එහෙම බලයක් නෑ . එහෙම තීන්දුවක් ගන්න ව්‍යවස්ථානුකුල බලය තියන්නේ පාර්ලිමේන්තුවට විතරමයි.. මහ බැංකු අධිපති විතරක් නෙමෙයි ඊට අනුබල දෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රිත් ව්‍යවස්ථාව උල්ලංගනය කරලා. මහ බැංකු අධිපතිට ඔයවගේ තීන්දු තීරණ ගන්න නන් අලුත් පනතක් ගෙනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕන..'' ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් පහුගිය දවසක ප්‍රසිද්ධියේම කියල තිබුනේ එහෙම..

ඔය කතාවලට හිටපු මුදල් ඇමතිට මල පැනලා .. පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සද්දයක් දැම්ම. මහ බැංකු අධිපති වැරදි නම් මම යන්නම් කියල එයා කිව්වා.

ඔය කතාවට සජිතුත් පැටලුනා. රනිල්ට විරුද්ධ කව්ද ? ඒ කව්රු වුනත් සජිත්ට වීරයෙක්.. දැන් නන්දලාල් , සජිත්ගේ ලොකුම වීරයා වෙලා කියලයි, ශෝෂල් මිඩියා එකේ සමහරු කියන්නේ..

හැබැයි මේ සිද්ධියේදී බැසිල්ගේ කට්ටිය ඉන්නේ , ගෝඨා පත් කරපු මහ බැංකු අධිපතිට විරුද්ධ තැනක.

මේ බලන්න පුවත්පත් මණ්ඩල සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ එයාගේ FB එකේ කියලා තියන කතාව..

mahinda p fb

ලංකාව ඩිෆෝල්ට් කරපු එක පහුගිය ඉතිහාසයේ ගත්ත අදූරදර්ශී ම තීරණය. ඒක ගත්තෙ ණය ගෙවන්න සියළු සැලසුම් ක්‍රියාත්මක කරල තියෙද්දි.

2022 ⁣ගෙවන්න තිබුණ ණයවලින් 50%කට ආසන්න ව ගෙවන්න තිබුනෙ පළවෙනි කාර්තුවෙ. ඒව ගෙවල තිබුණෙ.

දෙවැනි කාර්තුවෙ තිබුන චීනයට ගෙවන ඩොලර් මිලියන හයසීයක්. ඒ වෙනකොටත් චීනය හා ලංකාව අවසන් අදිය⁣රේ හිටියේ ඩොලර් බිලියන 2.5ක් ගන්න.

චීනය මුල ඉඳලම කියපු දෙයක් තමා ඩිෆෝල්ට් කරන්න එපා. එහෙම කළොත් අපට ඒකට එකඟ වෙන්න බැහැ කියන එක.

මේ සටහනේදී මහින්ද පතිරණ කියනවා , ඩිෆෝල්ට් නොකරන්න කරපුවැඩ වගයකුත්. ඒ එක්කම මෙහෙමත් කියනවා.

ඩිෆෝල්ට් කළාට ලංකාවට නොගෙවා ඉන්න පුළුවන් ණය තියෙන්නෙ ඉතාම ටිකයි. ලෝක බැංකුව ණය, IMF ණය, ADB ණය නොගෙව ඉන්න බැහැ.

මහබැංකුව අදත් ඒව ⁣ගෙවනවා. ජූලිවල ගෙවන්න තිබුණ ISB ණය මිලියන 1000 නොගෙව ඉන්න පුළුවන් වුනා. ඒකයි තව ඉතාම සුළු ණය ටිකකුයි විතරයි.

මහින්ද පතිරණ මෙහිදී කියනවා, මුදල් බලතල තිබෙන පාර්ලිමේන්තුවටවත් නොකියා මේ තරම් බරපතල තීරණයක් ගැනීම නීතියට පටහැනියි, කියලා .

ඔන්න ඔහොමයි බැසිල්වාදී මහින්ද පතිරණ කියන්නේ..

ආරංචියේ හැටියට මහ බැංකු අධිපතිට විරුද්ධව නඩුවකුත් පටලවන්නයි යන්නේ.

ප්‍රදේශ රැසකට මහ වැසි..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කාලුතර දිස්ත්‍රික්කවලඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාම් පිළිබඳ විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කෙරිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, යක්කලමුල්ල හා බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජනතාව නායයාම් පිළිබද විමසිලිමත් විය යුතු බවය.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට , බුලත්සිංහල පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයාම් පිළිබඳව විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල , බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

රත්නපුර දිස්ත්‍රකික්යේ නායයාම් පිළිබද අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරුණේ කලවාන , අයගම , කහවත්ත , කුරුවිට , ඇහැලියගොඩ , ඇලපාත සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහායි.

ආදායම් බදු නිලධාරීන් 600ක් සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් !

කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අයකර ගත හැකි රුපියල් කෝටි දස දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.

මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන් නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන ඒ සම්බන්ධයෙන් එහිදී පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.

විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද රජයට කරුණු වාර්තාවී ඇත.

මෙම පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

- lankadeepa

ණය සහන ක්‍රියාවලිය අරඹන්න පැරිස් ක්ලබ් සූදානම් !

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව "පැරිස් සමාජ සාමාජිකයෝ" (Paris Club Members) සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය පවසන්නේ ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කරන බවය.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පැරිස් සමාජය විසින් පිළිගෙන ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසාරත්වය පවත්වාගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගතය.

අනෙකුත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ද දැනටමත් යෝජනා කර ඇති පරිදි සාධාරණව කටයුතු කිරීමට ඇති හැකියාව ද ඔවුන් තහවුරු කර තිබේ.

ගෝඨාභය වෙනුවෙන් සීතා සූදානම් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ සඳහන් කරයි.

නමුත් එවන් ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු මෙතෙක් කර නැතැයි ද ඇය කියා පවසයි .

හිටපු ජනාධිපති රාජපක්ෂ  පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නැති බව කී මන්ත්‍රීවරිය එවන් කතාවක් පක්ෂය තුළ හෝ මෙතෙක් සිදුවී ඇති බවද පැවසුවාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන කථාව සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද බොරුවක් විය යුතු බවද මන්ත්‍රීනිය වැඩිදුරටත් සඳහන් කර ඇත .

අත්‍යාවශ්‍ය නියම කර ගැසට් නිවේදනයක් එයි !

දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද( 03) ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

අද 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022-08-03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

උක්ත පනතේ 3(2) වන වගන්තියේ ප්‍රතිපාදන අනුව, එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වන ලද අතර, එම යෝජනාව සම්මත වීමෙන් පසුව එම නියෝගය මාසයක කාලයක් සඳහා වලංගුව පැවතුනි. ඒ අනුව එකී නිවේදනයේ වලංගු කාලය 2022-09-02 දිනෙන් පසුව අවසන් විය.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ගෝඨාභය නවතින්නේ බී විස්සේ !

විරෝධතා උත්සන්න වෙද්දී රටින් පැනල ගිහින්, ජනාධිපති කමෙනුත් ඉල්ලා අස්වුණ, ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ ලංකාවට ආවා.
ඒ, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන්. රාත්‍රී 11.48ට විතර වගේ තමයි ආවේ. ගෝඨාභය එක්ක තවත් තුන්දෙනෙක් හිටියා.

ඒ බිරිඳ , සුගීශ්වර සහ ආරක්ෂක නිලධාරියා.

ගෝඨා ව පිළිගන්න මැති ඇමතිවරු සෑහෙන පිරිසක් ඇවිත් හිටියා.. 40ක් විතර ඇවිත් හිටියා කියලා තමයි කියන්නේ. ප්‍රසන්න , ටිරාන් , නාමල් , රමේෂ් ඉස්සරහින්ම හිටියලු.

ආරංචියේ හැටියට ගෝඨා ට ලොකු ආරක්ෂාවක් දෙන්න, ජනාධිපති රනිල් ත්‍රීවිධ හමුදාපතිවරුන්ට වගේම, පොලිස් පතිටත් ඕඩස් දීලා. සැහෙන්න ආරක්ෂාවක් දාලයි තියන්නේ.

ගෝඨාභය හිටපු ජනාධිපති තුමාගේ පදිංචියට, නිල නිවාසයක් හොයන්න සෑහෙන්ඩ අමාරුවෙලා. අන්තිමේ දී විමල් වීරවංශ ඇමති කාලේ පදිංචි වෙලා හිටපු, බුලස් පාරේ නිල නිවාසේ ගෝඨා ට දෙන්න තින්දුවෙලා තියනවා.

ඒක දීලා තියන්නේ තාවකාලික පදනමෙන්.. මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිතුමා තව ටික දවසකින් ආයෙත් විජේරාම නිල නිවාසෙට ගියාම , මහින්ද දැනට පදිංචිවෙලා ඉන්න පැජට් පාරේ B 20 ගෙදර ගෝඨා ට දෙන්න කියල ජනාධිපති අදාළ බලධාරීන්ට කියල.

මේ දවස්වල ජනාධිපති රනිල් ඉන්නෙත් ඔය පැජට් පාරේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු නිල නිවසේ..

ගෝඨාභය රාජපක්ෂ ඊයේ තායිලන්තයෙන් එන්න ඉස්සෙල්ල, කේක් එකක් ගෙනත් කපලා. මොකද ඊයේ සුගීස්වරගේ උපන් දිනේ.

ඊට පස්සේ තමයි එයාපෝර්ට් එකට ඇවිත් තියෙන්නේ . එයාපෝර්ට් එකේදී තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇවිත් ගෝඨාභය එක්ක සතුටු සාමීචියෙ යෙදිලා කියලත් ආරංචියි. ඒ වගේම දැඩි ආරක්ෂාවකුත් දීලා තිබිලා තියෙන්නේ .

ඊළඟට ගෝඨාභය ආවේ සිංගප්පූරුවට. එතන ට්‍රාන්ස්සිස්ට් එක පැය 3ක්ලු. සිංගප්පූරු එයාපෝර්ට් එකේ අමුත්තන්ගේ රූම් එකක තමයි ඉඳලා තියෙන්නේ . එතනට චන්ද්‍රදාස කියලා සිංගප්පූරු රජයේ නියෝජිතයෙක් ඇවිත් . ඒ වගේම සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනිය වුණු ශෂී ප්‍රේමවර්ධන ත් ඇවිත් ඉඳලා තියෙනවා .

- දේශපාලන වාර්තාකරු

ගෝඨා පිළිගන්න මැති ඇමතිවරු 30කට වැඩි පිරිසක් ගිහින් !

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රී 11.47ට දිවයිනට පැමිණියේය. ඒ සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙනි.

 ඒ මොහොතේ 30 දෙනකුට වැඩි සංඛ්‍යාවක පිරිසක් ගුවන් යානය අසළට පැමිණ හිටපු ජනාධිපතිවරයා මල් මාලා දමා පිළිගත් බවත්, පසුව ප්‍රභූ පර්යන්ත පිවීසුමෙන් ඔහු ගුවන් තොටුපලෙන් නික්ම ගිය බවත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මෙම අවස්ථාවට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ටිරාන් අලස්, නාමල් රාජපක්ෂ ද පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්ව සිටියේය.

ඊයේ පෙරවරුවේ තායිලන්තයේ සිට සිංගප්පුරුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා, සිංගප්පුරු ගුවන් තොටුපලේ පැය 3කට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

හිටපු ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිල නිවසට ඊයේ (02) රාත්‍රී 12.50 ට පමණ පැමිණියේය.

පලාගිය ගමන් මඟ

ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ දින 14ක තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.

ඉන් පසු තවත් දින 14කට එම සංචාරක විසා බලපත්‍රයට දිගුවක් ලබා ගත් බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට දින 28ක පමණ කාලයක් සිංගප්පුරුවේ ගත කොට තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අගෝස්තු 11, එරට වේලාවෙන් රාත්‍රී 8.15 පමණ මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවසන් වරට ළඟා විය.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.

Page 207 of 387