V2025

පුවත්

පොහොර වංචාවට වගේම හිඟයටත් තිත තැබෙයි !

“ලබන මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිළදී ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය පළ වී තිබෙනවා. යූරියා පොහොර මිළදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ඊට ලෝක බැංකුවේ නිර්දේශ ලැබෙනවා. එමනිසා ලබන මාස් කන්නයේ ලබාදෙන පොහොර වලින් රුපියලක් හෝ වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. සියලු මිළදීගැනීම් විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට කටයුතු කරනවා. ඒවගේම මනා විගණනයක් සිදු කරනවා. ඒ නිසා ඉදිරියේදී පොහොර ගණුදෙනු වලින් කාටවත් වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ” යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් දෙවන තොගය ඊයේ (22) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට නිල වශයෙන් භාරදුන් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
 
මෙසේ භාරදුන් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21000කි. කොළඹ වරායේදී මෙම යූරියා පොහොර භාර දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.
මෙහිදී මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යල කන්නයේ වී වගා කළ ගොවීන්ට යූරියා පොහොර ලබා දීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදු වූවත් මෙ වන විට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය බෙදාහැර ඇති බවය. ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ චෝදනා ඉදිරිපත් කළේය. සමහරු යූරියා පොහොර තත්ත්වයෙන් බාල බවත්, විස සහිත බවත් ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙම යූරියා පොහොර තත්ත්වයෙන් ඉතාම උසස් බව ගොවි ජනතාවම දැන් ප්‍රකාශ කරන බවය.
 
ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලබා දීමට පියවර ගැනිණි. ඉන් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000 ක් පසුගිය මාසයේ ලැබුණු අතර දෙවන තොගය මේ වන විට ලැබී තිබේ.යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර වලින් 98% ක් මේ වනවිට ගොවීන් වෙත බෙදා දී තිබේ. ඉතිරි 2% ඉදිරි කාලය තුළ බෙදා හැරීමට කටයුතු යොදා ඇති අතර, යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව තවත් යූරියා මෙට්‍රික් ටොන් 35, 000 ක් ඉතිරි වන අතර ඒවා ලබන මහ කන්නය ආරම්භයේදීම ගොවීන් වෙත බෙදා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
 
මෙහිදී අදහස් පළකර ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ “ ශ්‍රී ලංකාවට අසල්වැසි හිතවතා වශයෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබාදෙනවා. මෙම යූරියා පොහොර ලබා දීමට හැකිවීම ගැන සැබෑවටම අපිට සතුටක් තියෙනවා. ඉන්දීය රජය හා ජනතාව සෑමවිටම ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරනවා” යනුවෙනි.
 
මේ සමඟ රසායනික පොහොර තහනම හේතුවෙන් අවධානමේ වැටුණු මෙරට කෘෂිකර්මාන්තය යළිත් පණ ගසා නැගිටින තැනට පත්වෙමින් ඇති බවට කෘෂි විශේෂඥයන් පළකරයි.
 
ඒ ඉදිරි මහ කන්නය වෙනුවෙන් ප්‍රමාණවත් පොහොර තොග මෙරටට ඇණවුම් කිරීමට සහ දේශීයව නිෂ්පාදනය කරන පොහොර වලද නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව නිසා බවත් ඔවුන් පවසයි.
 
සුපුරුදු පරිදි  මහ කන්නයේ ඉහළ අස්වැන්නක් ලබාගැනීමට සහ  රටේ මතුවූ සාගතයක අවධානම අවම කර ගැනීමට මේ හරහා අවස්ථාව උදාවනු ඇති බවත් අවධාරණය කරන ඔවුන් ගොවි ජනතාව තුළ පොහොර සහ අනෙකුත් අයිතම සම්බන්ධයෙන් හිඟයක් ඇති නොවන තැනට විශ්වාසය ගොඩනැගීම , කෘෂි භෝග අස්වනු වැඩි වීමට පමණක් නොව ඒ ආශ්‍රිත මිළ සම්බන්ධයෙන්ද ධනාත්මක බලපෑමක් සිදුකරනු ඇති බවත් පවසයි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට : ජී.එල්. ගේ විරෝධය !

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවැසීය.

මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් කිසිවක් ඉතිරි නොවන බවද ඔහු පැවසූවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් සමස්ත පනත සමාලෝචනයට භාජනය කරන තුරු පනත ක්‍රියාත්මක කිරීමට ඉක්මන් නොවන්නේයැයි එහිදී ප්‍රකාශ කෙරුණු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

තව සති දෙකකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ පනස් එක්වෙනි රැස්වීම ආරම්භ වෙනවා. සැප්තැම්බර් දොළොස් වැනිදා. ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව ටත් සූදානම් වෙනවා. ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයනයට කෙලින්ම බලපාන දෙයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේන් මේ සියලුම ක්ෂේත්‍ර අගතියට පත් වෙනවා. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි .

ඒ වගේම රජය හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. අපි තීරණය කළා ඒ යෝජනාවට සහාය නොදීමට. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

දැන් ඊට වඩා දරුණු පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන්න සූදානම් වෙනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍යයා දින අනූවකට රඳවා ගැනීමට නියෝගයක් ලබාගත්තා. මොකක්ද මෙතන තියෙන ත්‍රස්තවාදය. අපි දකින්නේ නැහැ මෙතන ත්‍රස්තවාදයක්.

රජිත් කීර්ති : ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට !

කැෆේ ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් හා හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් හට ජනාධිපති කාර්‍ය මණ්ඩලයේ ඉහළ තනතුරක් හිමිව ඇති බව වාර්තා වෙයි .

ඒ ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙසය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

විශ්වවිද්‍යාල විවෘත කරන දවස මෙන්න !

රට පුරා සියලුම විශ්වවිද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි .

විශ්වවිද්‍යාල විවෘත කළ ද කිසියම් ශිෂ්‍යයකුට අවශ්‍ය නම් තවදුරටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද දේශනවලට සහභාගී විය හැකි බවත් ඔහු පවසයි .

ඒ අනුව රටපුරා රට පුරා සියලූ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැත්වෙන බවද ඔහු සඳහන් කර ඇත .

ඇතැම් විශ්වවිද්‍යාලවල අධයන කටයුතු මේ වන විටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කිහිපයක විභාග පැවැත්වෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි .

කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද සියළු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඉකුත් කාලයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිදු කළ බව ද ඔහු සිහිපත් කර සිටියි .

මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු ද සුපුරුදු පරිදි ආරම්භ කර ඇත .

බිත්තර තොග හංගලා මාට්ටු වෙන්න එපා !

බිත්තර බෙදා හැරීමෙන් වැළකී තොග රැස් කිරීමක් සිදු කළහොත් එම බිත්තර රාජසන්තක කර සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඔහු අවධාරණය කළේ, රජය විසින් පනවන ලද පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බව ය.

මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අදහසක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය රඳා පවතින්නේ දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මත බව ය.

යම් හෙයකින් ඔවුන් බිත්තර නිෂ්පාදනය නොකරන්නේ නම්, බිත්තර ආනයනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

- mawbima

ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීම : ගමනා ගමන කොමිසමට !

ත්‍රිරෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කර ඇත .

මේ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන අතර ඒයාපනය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගාස්තු තීරණය කිරීම ඇතුළු ප්‍රවාහන සේවාවලට නියාමන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවය.

ගෝඨාභයට ආරක්ෂිතව එන්න දෙන්න : රාමඤ්ඤ  නිකායේ අනුනායක හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර ඇත .

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරම්න් ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය නොකළ අයෙකු බවත් අමෙරිකානු පුරවැසිභාවයද අත්හළ අයෙකු බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.

තනතුරෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වුවද රටින් පිටව යන ලෙස හිටපු ජනාධිපතිවරයාට කිසිවෙක් ප්‍රකාශ කර නොමැති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

රංගන සහ කැලුම් ඇතුළට : ජෙහාන්ට ඇප !

ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වෙයි .

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට අද (22) පෙරවරුවේ පැවැත්වූ සාමකාමී නිහඬ විරෝධය අවසන් වීමෙන් පසුවය.

එසේම අරගලය කියමින් රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවී එහි විකාශන කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කැලුම් අමරසිංහ අද (22) බාර වු බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

පොලිසියට බාර වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ නියෝග කර ඇත .

ජෙහාන් අප්පුහාමි අධිකරණයට බාරවීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් විය.

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට : භූමිතෙල් සහනාධාරයක් !

භූමිතෙල් මත යැපෙන ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඊට අනුව අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් සහනාධාරය රජය විසින් ලබාදීමට කටයුතු යෙදෙනු ඇත.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 87ක්ව පැවති භූමිතෙල් මිල රුපියල් 253 කින් ඉහළ ගියේය. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340කි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත .

“භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ දෙයක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩු සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට විකිණීමයි. මිල ගණන් නව පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇත.”

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ගෙදර යන්න - ජනපති

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්නැයි (21) ජනපති රනිල් වික්‍රමසිංහ  අනුරාධපුරයේදී අවධාරණය කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පල කළේ, අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පවසා සිටියේය.

”අද අපේ ආර්ථිකය වෙන අවුරුදුවලට වඩා 8%කින් අඩු වෙන්න යනවා.ඒක සීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා. ඒකේ විපාකය තව ටිකකින් හැම එක්කෙනාටම තේරෙන්න යනවා.මෙහෙම සීග්‍රයෙන් අඩු වුණා නම් ඒ වගේම අපි බලන්න ඕන ආපහු තල්ලු කරලා දියුණු වෙන්න.ඉතිං කොහෙන්ද අපිට ඉස්සෙල්ලම ආර්ථිකය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්.මහ කන්නයේ ගොවිතැන අපි ගොවිතැන හරියට සාර්ථකව කරනවනම් ආපහු අඩු වුණා. ආර්ථිකය ඇකිලුණ ආර්ථිකය තල්ලු කරන්න පුළුවන්.එහෙනම් අපි බලන්නේ ආණ්ඩුවක් හැටියට මහ කන්නයට යොදවලා වැඩ කටයුතු කරන්න.පොහොර දෙන්න පොහොර වලට අපිට දැන් ආධාර ලැබිලා තියනවා.බීජ ලබලා දෙන්න , ඩීසල් ලබලා දෙන්න ,තෙල් ලබලා දෙන්න, ඒ වැඩසටහන දැන් ආණ්ඩුවෙන් කරගෙන යනවා. ආණ්ඩුව හැම එකක්ම ලබලා දෙනවා මෙතනින් අපි පටන් ගමු.ඒ වගේම ධීවරයන්ට පුළුවන් තෙල් ලබලා දෙන්න.විශේෂයෙන්ම තේ රබර් පොල් ක්‍රමාණුකූලව ඒ අයටත් පොහොර ලබලා දෙන්න.කෘෂිකර්මයෙන් අපි ඉස්සෙල්ලම ඉදිරියට යන්න බලන්න ඕන.අපි කැපවෙමු දැන් මහ කන්නෙදී හොද අස්වැන්නක් ලබා ගන්න.ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්නවා නිලධාරීන් දිසා ලේකම්තුමා තුන්දෙනෙක්ද හතරදෙනෙක්ද ?නමයක් ඉන්නවද ඒගොල්ලො ගොවිතැන් කළත් ඇතිනේ. තව මොකක්වත් උවමනා නෑ.අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියමු. වැඩ කරනවනම් වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න.නිකන් ගෙවන්න ලෑස්ති නෑ . ඒක දිසාලේකම් තුමාට බලාගන්න වෙයි. ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. දැන් කාටවත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මොකද අපියි ගෙවන්නේ.මටත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මම මේක දියුණු කලේ නැත්නම් මටත් යන්න වෙනවා.දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. ජනතාව බලන්නේ දේශපාලනඥයින්ගෙන් මේකට විසදුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕන.පරණ දේශපාලනය උවමනා නෑ ඡන්දයක් තියනවා කියලා පැනලා යන්න එපා.ඊට ඉස්සෙල්ලා බැහැලා මේ වැඩ කටයුත්ත කරන්න.මම ඔක්කොම පක්ෂ එක්ක කතා කරනවා මම කැමතියි ඔක්කොම එකට එකතු වෙන්න.”

සිරිකොතට අලි වගේම පොහොට්ටු පෙරහැරකුත් !

වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරන බවත් එසේ වුවොත් සජබෙට සහ පොදුජන පෙරමුණට අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තමයි එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පසු බැහැලා විනාශ වුණේ.ඒක මුළු රටම දන්න කාරණයක් .

දැන් රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගොඩ ගන්න හොඳම කාලේ මේක තමයි කියලා.

ඒ නිසා අද සමගි ජන බලවේගය විනාශ කරමින් පවතිනවා.අලි පෙරහැරක් සිරිකොතට යනවා කියන්නේ සජබ විනාස වෙනවා කියන එකයි.

ඒ වගේම තමයි ඒ පිටු පස්සෙන් පොහොට්ටුවේ කණ්ඩායමකුත් සිරිකොතට යන ලකුණු පෙනෙනවා.

ඒ පෙරහැරේ ඉන්නේ හොර මැරකම් දූෂණ චෝදනාවට ලක් වූ පුද්ගලයන්,ඒකයි දැන් සිටම රනිල් වන්දනාවේ යන්නේ.

මේක අපේ පොහොට්ටුව අය තේරුම් ගන්න ඕන එහෙම තේරුම් ගත්තෙ නැත්තං එක්සත් ජාතික පක්ෂෙට එදා වෙච්ච දේමයි පොහොට්ටුවටත් වෙන්නේ."

ලංවීම ණය ට්‍රිලියන භාගයයි : විකුණන්නවත් බැරි වෙයි ! චම්පික

ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමට උත්සාහ කළද එය මිලදී ගැනීමට කිසිවකු නො පැමිණෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

අද වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500 ක ණය බරක් දරාගෙන සිටින බවත් එම ණය බර සහිතව එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

චම්පික රණවක මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එහි ඇති ණය බර සමග මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන් අතර රාජ්‍ය දේපල පුද්ගලීකරණය කරන බවට ආණ්ඩුව පැවසූවද බංකොලොත් වූ රටක ණය බරක් සහිත රාජ්‍ය දේපල මිලට ගැනීම සඳහා කිසිවකු නොපැමිණෙන බවත් ඔහු පැවසීය .

මගෙන් ඇහුවා නම් ගෝඨට යන්න එපා කියනවා : මම යන්නෙත් නෑ - මහින්ද

තමන්ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂට රට හැර නොයන ලෙස උපදෙස් දෙන බව හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

අවාසනාවට ඔහු කටයුතු කළේ ඔහු විශ්වාස කළ විශ්ෂඥයන්ගේ උපදෙස් මත බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇති අතර ,ඒ sunday times පුවත්පත සමග අදහස් දක්වමින් ය.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවත් හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසා ඇත .

තමන් දිගටම දේශපාලනයේ රැඳී සිටින බවත් එයින් විශ්‍රාම යාම සිදුකරන්නේ සුදුසු වේලාවට බවත් ඔහු පවසා ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දීමට තමන් අවශ්‍ය බවත් , ඒ සම්බන්ධයෙන් තීන්දුව පක්ෂය ගතහොත් තමන් නීතිඥයකු බැවින් උසාවියේ ප්‍රැක්ටිස් කරන බවත් ඔහු පවසා ඇත.

සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි - ඇමති : වෘත්තීය සමිති රත්වෙයි !

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ට්වීටර් සටහනක්ද සිය ගිනුමේ තබා ඇත.

cpc

වෘත්තීය සමිති උද්ඝෝෂණයේ !

කෙසේ වුවත් අමාත්‍යවරයා මේ අදහස් දක්වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති හෙට (22) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන පසුබිමකය .

උද්ඝෝෂණය හෙට පස්වරු 1ට සංස්ථාව ඉදිරිපිටදී සංවිධානය කර ඇති බවත් වාර්තා වෙයි .

සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් මෙම විරෝධතාව සංවිධාන කොට ඇති බව වෘත්තීය සමිති පවසයි .

මැතිවරණයක් අත ළඟ : පොහොට්ටු - අලි සන්ධානයක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට සහ එජාපය සන්ධානගත වී තරග කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි.

එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තාවේ.

මෙම පුවත දේශය පුවත්පත වාර්තා කර ඇත .

මේ අතර කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා පෙන්වා දෙන්නේ වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවත් ය.

 

ඒ අනුව, මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සීතා එළියට! ගෝඨා පාර්ලිමේන්තුවට! අගමැති ධූරයටත් යෝජනාවක් !

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි සක්‍රීය දේශපාලනයට ගෙන ඒමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස සැලසුම් කොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමටය.

ඒ අනුව පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වන සීතා අරඹේපොළ සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව තව සති කිහිපයකින් පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවේ අගමැති ධූරය සදහා ගෝඨාභය රාජපක්ෂගේ නම යෝජනා කිරීමන පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඒ සදහා බහුතර මන්ත්‍රීවරුන් අස්සන් කොට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

රනිල්ට මාසයයි පුළුවන් ද : රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

මේ ප්‍රශ්නය වර්තමාන දේශපාලන - ආර්ථික හැසිරීම හමුවේ කිහිපවරක් නැගූවද වැඩි නැත. සැබවින්ම දේශපාලන ප්‍රොපගැන්ඩා සහ දේශපාලන යථාර්ථය යනු එකක් නොව දෙකක් ය. එහෙත් එකක් අනික මත ඇතිකරන පීඩනය සුළුපටු නැත. ප්‍රොපගැන්ඩා විසින් මොන මතයක් හැදුවත් දේශපාලන යථාර්ථයෙන් ගැලවීමක් ද නැත.

මේ මොහොතේ තරම් ඒ බව ප්‍රායෝගිකව අත්විඳින තත්ත්වයක් මෑත ඉතිහාසයේ මතකයට එන්නේද නැත.

🎯 රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාවේ ඉරණම !

"රනිල්ට බෑ" කියා ප්‍රොපගැන්ඩා හදන්න යාම තවදුරටත් වලංගුත් නැත. ඒ අදාළ ප්‍රොපගැන්ඩාව හැදූවන් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති නිසාය. ඒ රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව හැදුවේම රනිල්ට පුළුවන් බව හොඳින්ම දැන සිටි නිසා කියමින් ය.

මේ ඒ ගැන අටුවා ටිකා ලියන අවස්ථාව නොවේය. ඉතිහාසයේ එකම දේ දෙවරක් වන්නේ , පළමුව ඛේදවාචකයක් වූ දේ, දෙවනුව හාස්‍යක් කරමින්ය .

පළමුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වුණේ රාජපක්ෂ පවුල් පාලනය දරුණු ඒකාධිපතිත්වයක් බවට පත්කරමිනි. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වූයේ ට්‍රැජි කොමඩියකිනි.

ඒ මොහොත මෙසේ සාරාංශ ගතකිරීමට පුළුවන. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව නිර්මාණය වුණේ, ජාතික ආරක්ෂාව , දේශීය ආර්ථිකය මුල් කරගෙනය. එහි අවසානය සටහන් වුණේ, ජාතික ආරක්ෂාව තබා තමාගේ ආරක්ෂාවවත් තහවුරු කරගන්න අසමත් ජනාධිපතිවරයෙකු බිහිකරමිනි. දේශීය ආර්ථිකය නම් විගඩම කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට ඇද දමනින් ය.

අවසානයේ ප්‍රතිඵලය සටහන්ව ඇත්තේ , ජාතික ආරක්ෂාව සහතික කරන අතර තුර මිහිමත යන එන මං නැතුව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව උපන් බිමට එන්න ආරක්ෂාව සැලසීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ උරමතට පැමිණෙමිනි.

ලංකා ඉතිහාසයේ මුහුණදීමට සිදුව ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් ලංකාවේ ජනතාව බේරාගැනීමේ වගකීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උරමතට පැමිණෙමිනි.

රනිල්ට බෑ කියූ දෙවැනි ප්‍රොපගැන්ඩාවේ ඊට වඩා දෙයක් ඇත්නම්, ඒ ලංකා ඉතිහාසයේ අසාර්ථකම විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉතිහාසයට එක්වීමය.

🎯 ඉතිහාසයේ සාක්ෂිය : ශක්තිමත් බැස්ටීල බින්ද විපක්ෂ නායක රනිල් !

රනිල්ට බෑ යන ප්‍රොපගැන්ඩාව කුඩු කරන්න ලංකා ඉතිහාසයේ දුර්වලම විපක්ෂ නායක ලෙස සජිත් ඉතිහාසයට එක්වීමත් හොඳටම ප්‍රමාණවත් ය.

ඔබට මතක නම් මෑත ඉතිහාසයේ ආර්ථිකය සෘන වූ චන්ද්‍රිකා පාලන සමයේ විපක්ෂ නායක රනිල් ය. ආර්ථිකය සෘන වූ අවස්ථාවේ දේශපාලන බලය ගන්න රනිල් වික්‍රමසිංහ සමත් වූවා පමණක් නොව , සෘන වූ ආර්ථිකය ධන කරන්නත් ඔහු ආණ්ඩුව මෙහෙයවීය.

තවත් උදාහරණයක් නම් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළීමය. 2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ දේශපාලන විචාරකයන් බහුතරයක් හිතුවේ තවත් අවුරුදු 25 කට ලංකාවේ පාලනය රාජපක්ෂවරුන් ගෙන් ගැලවීම සුම්මා කියාය. එහෙත් දේශපාලන විචාරකයන් කඳ හරහා වට්ටමින් 2010 ජනාධිපතිවරණය වන විට රට තුළ රාජපක්ෂවරුන් තිත්ත වෙන තැනට දේශපාලනය හසුරවන්න සමත්වූ කප්පිත්තා රනිල් වික්‍රමසිංහ විය.

ඓතිහාසික දේශපාලන වරදක් ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නොගෙනෙන්න එදා රත්වුණ තැටියේ රොටිය කරකර ගන්න අවස්ථාවක් තිබුනා යන්න , ශක්තිමත් තර්කයකි.

ඊළඟ අවස්ථාව 2015 ජනාධිපතිවරණය අවස්ථාවය. ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ බලය ගන්න සූදානම් වෙන්න කියා එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ කිව්වේය. 2014 සටන් පාඨය " පුළුවන් " යනුවෙන් ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බිම් කොටා ආණ්ඩුව ගන්න බිම සකස් කළ නමුත් , දෛවයේ සරදමක් ලෙස ජනාධිපති අපේක්ෂකයා වූයේ , සිවිල් සමාජ ප්‍රමුඛ බලවේග උස්සගෙන ආ මෛත්‍රීපාල සිරිසේන ය.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ගේ බිම් කෙටීම සාර්ථක වූ නිසා මෛත්‍රීපාල සිරිසේන උඩින්ම ජනාධිපතිවරණය ජය ගත්තේ ය.

දින 52 ආණ්ඩු කුමන්ත්‍රණය පවා ජයග්‍රහණය කරන්න තරම් රනිල් වික්‍රමසිංහ කෙරුමෙක් වූයේ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හුරතල් දේශපාලන පුත්‍රයා ලෙස ප්‍රසිද්ධ වූ පසුබිමක බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

අවසානයේදී සිරිසේන ජනාධිපති ගේ කෙරුවාව අවසන් වුනේ, දෛනික සරදම් කළේ රනිල්ට පමණක් නොව මුළු රටටම බව තහවුරු කරමින්ය .

🎯 ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක සහ රනිල්ගේ දේශපාලන ක්‍රීඩාව !

ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක බිහිවූයේ ඒ අනුවය.

එජාප නියෝජ්‍ය නායක වූ සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන ද්‍රෝහීකම් තීරණාත්මක වංගුවක් ගෙන එක්සත් ජාතික පක්ෂය අතුගා දැමීය. ඒ 2020 මහ මැතිවරණය අවස්ථාවේ ය.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. බහුතරයක් හිතුවේ රනිල් ප්‍රමුඛ එජාපය " ගමනක අවසන " සටහන් වූ බවය.

එහෙත් බාධා රැසක් මැද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගෙන පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසිංහ , දේශපාලන සෙල්ලම යළිත් ඇරඹීය.

ගෝලීය වසංගතයක් වූ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් පවා කළ යුත්තේ කුමක්ද යන්න සොයන විට, ජනාධිපති ගෝඨාභය කැඳවූ, සර්ව පාක්ෂික සමුළුව ඇමතූ රනිල් කිව්වේ, " වැක්සීන් එකක් එනතුරු මුව වැසුම් සහ අත්වැසුම් භාවිතා කරමු" කියාය.

ඒ කොරෝනා වෙනුවෙන් වූ ප්‍රතිකාර‍යක් නොව රෝගය වලක්වා ගැනීමට උපක්‍රමයක් විය. සෞඛ්‍ය ඇමතිනියගේ සිට බොහෝ දේශපාලන කුහකයන් එය හාස්‍යට ලක්කළ බව අපට මතකය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නිකුත්වීම සමග රනිල් වික්‍රමසිංහ නිවැරදි බව තහවුරු වුනේය.

අනතුරුව මෙරට ආණ්ඩුව කොරෝනා වසංගතයට එරෙහිව තෙල්, පැණි, දුම් වට්ටි, මැතුරූ කළ පස්සේ යමින් පිස්සු නටන විට, රනිල් කිව්වේ, ඉක්මනින් වැක්සීන ඇනවුම් කරන්න කියාය. රනිල් වික්‍රමසිංහට ඉස්සර කරන්න ගිය සජිත් කිව්වේ, ජාතියටම ප්ලැකනිල් ගස්සන්න කියාය.

අවසානයේ කොරෝනා මේ තරමට හෝ පාලනය කරගැනුනේ, රනිල් වික්‍රමසිංහ මුලින්ම කියූ වැක්සීන නිසා මිස, සජිත්ගේ ප්ලැකනිල් නිසා නොවේය.

🎯 ආසයි බයයි සජිත් සහ " මම කරලා පෙන්නන්නම්" රනිල් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සෑම ක්ශේත්‍රයකම එකසේ අසමත් විය. ඊනියා බදු සහන හමුවේ රනිල් වික්‍රමසිංහ තනියම ඊට විරෝධය දැක්වීය. බොරු ජාතික පුරාජේරු වෙනුවට පණ අදින ආර්ථිකය ශක්තිමත් කරන්න IMF යන ලෙස පැවසීය . රසායනික පොහොර සහ යෙදවුම් තහනම රටේ සාගතයක් ඇති කරනු ඇතැයි කීවේය. ඩොලරය කෘතිම ලෙස පාලනය කිරීම විදෙස් සංචිත අර්බුදයකින් කෙලවර වනු ඇතැයි කිව්වේය.

මේ ආකාරයට ගෝඨාභය පාලනයේ වැරදි අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පමණක් නොව , ඉදිරියේ ඇති අවධානමත්, කළ යුත්තේ කුමක්ද යන්නත් ප්‍රසිද්ධියේ කිව්වේ රනිල් වික්‍රමසිංහ ය. ඊට සජිත්ගේ ප්‍රතිචාරය වූයේ , ගෝඨාභය ආණ්ඩුව රනිල්ව ප්‍රමෝට් කරනවා කීම පමණය. ඒ නිසා අර්බුදය ආරම්භයේ කැඳවූ සර්ව පාක්ෂික සමුළු වර්ජනය කිරීමය.

🎯 නිශ්චිත මොහොතේ නිවැරදි ඉලක්කය ගැනීම !

අවසානයේ, ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය පැමිණියේය.
ගෝඨාභය පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව නිර්පාක්ෂික සාමකාමී අරගලයක් දියත් විය. ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම පංතිය එහි කේන්ද්‍රය බවට පත්විය.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ, අරගලය පාලනය කරගත නොහැකි වූ ජනාධිපති ගෝඨාභය , පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්කරවීය.

ඊළඟට ආණ්ඩුවක් හදන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කළේය. එහෙත් බල දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, සාමාන්‍ය දැනුමත් අහිමි, පාලම ඇති විටත් ඒදණ්ඩේ යන සජිත් විවිධ කොන්දේසි දමා ඒ අභියෝගය ප්‍රතිකේෂ්ප කළේය. සරත් ෆොන්සේකා ගේ සිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පාර්ශ්ව නම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අලුත් ආණ්ඩුවක් සඳහා කැඳවීම් කළත්, අර්බුදය විසඳීමට තියා සමනය කරන්න, ඒ වෙනුවෙන් අභියෝගය බාරගන්න , ධෛර්යයක් ඇති නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් නැතිව අරාජිකත්වය වෙත යමින් තිබූ, ලංකාවේ සුක්කානම රනිල් වික්‍රමසිංහ බාරගන්නේ ඒ පසුබිමේ ය.

🎯 රනිල් දොස්තර වෙයි !

පාලනය බාරගත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ක්‍රමයට වැඩේ කරන්න ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රටින් පළාගිය විට, ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය ලබාගන්නට කටයුතු කළේය.

විපක්ෂ නායක සජිත් හිටියේ , අවම වශයෙන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වෙන්න තරම් හෝ ධෛර්යය අහිමි කරගෙන ය. ජනාධිපති ධූරය තෝරණ ජන්දය සඳහා ඩලස් යෝජනා කර පැත්තකට වුනේ ඒ නිසාය.

පාර්ලිමේන්තුවේ ජන්දය හරහා ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ සුක්කානම අතට ගත්තේ ය. ලංකාව නම් ICU රෝගියා ට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රසිද්ධියේ කිව්වේය. ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් සියලු දෙනාට ආමන්ත්‍රණය කළේය.

ඒ වන විට අයාලේ යමින් ප්‍රචණ්ඩත්වය වෙත යොමුවූ අරගලයට පවා රට ගොඩනගන්න ආරාධනා කළේය. එදා LTTE සංවිධානය කැබලි වූ ආකාරයට අරගලය කැබලි වුනේ ඒ අනුවය.

ඉන්ධන , ගෑස්, පොහොර අඛණ්ඩව සැපයීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත් අතර , ඒ තුළ මධ්‍යම පංතිය ඔහු සම්බන්ධයෙන් නිල නොලත් විශ්වාසයක් තැබීය. ප්‍රකාශිතව මෙන්ම අප්‍රකාශිත ලෙසත්, "රනිල් සමහර විට කරයි- දීලා බලමු " ය සිතුවිල්ල බලයක් බවට පත්විය.

ආම්පන්න වෙත බනිමින් ඉන්න දුර්වල දේශපාලන කාර්මිකයා වෙනුවට ජනතාව වෙත විශ්වාසය කාන්දු කරන නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති භූමිකාව පෙරට ගත්තේ ය.

රනිල් ගෙදර යවන්න සූදානම් කළ අගෝස්තු 09 අරගලය , රනිල් වික්‍රමසිංහ ගෙදර යවනු වෙනුවට අරගලය ගෙදර යැවුණේ ඒ අනුවය.

මාසයක් ඉක්මයන තැන ඉන්ධන පෝලිම් අවසන් විය. ගොවියාගේ පොහොර ප්‍රශ්නයට පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කෙරිණ . ගෑස් පෝලිම් අවස්ථාවේ කළා පමණක් නොව , මිලත් අඩු කළේය. ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට , සාගත තත්ත්වයක් ඇති නොවීමට පියවර ගැනිණ .

පාසල් අධ්‍යාපනය , රාජ්‍ය - පෞද්ගලික අංශය සුපුරුදු ලෙස සක්‍රීය කිරීමට පියවර ගත්තේ ය. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය මෙන්ම වෙළෙඳ පොළ හිඟය පියවීමට ක්‍රියාමාර්ග ගනිමින් ඇත. විදුලි කප්පාදුව පැය 12 සිට දිනකට පැය 2-3ක් දක්වා සීමා කර ඇත .

විදෙස් විනිමය අර්බුදය විසඳීමට IMF සමග සාකච්ඡා සාර්ථක කරගෙන ඉදිරියට යමින් ඇත . ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සූදානම් කර ඇත .

ජනාධිපති ලෙස පත්ව, පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ වික්‍රමසිංහ ජනාධිපති ලෙස,, අර්බුදය ජයග්‍රහණය කරවීමට මාර්ග සිතියම ඉදිරිපත් කර ඇත . සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික ඔස්තාර්ලා පවා ප්‍රසිද්ධියේ කියන්නේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ තමන්ද අනුමත කරන බවය. ඔවුන් කවුරුත් සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කියන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

RRU වෙනුවෙන් :

එස්. එල්. ශ්‍යාම්

බැසිල් ජනාධිපතිගෙන් ඇමතිකම් ගොඩක් ඉල්ලයි !

තනි තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙස පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත යුතුව ඇත්තේ, පක්ෂයක් ලෙස සාමුහිඛව බවත් ඔහු පවසා ඇත.

බැසිල් රාජපක්ෂ මේ බව පවසා ඇත්තේ එළඹෙන සතියේ සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් වන අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇති පසුබිමේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව මුණගැසී අමාත්‍ය ධූර ඉල්ලමින් සිටින බවට ලැබුණු ආරංචියකට අනුව බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ හමුව පසුගියදා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති අතර එහිදී සඳහන්ව ඇත්තේ අලුත් කැබිනට් මණ්ඩලයේ ඇමැති ධුර ලබා දිය යුතු මන්ත්‍රිවරු දහසයකගේ නාම ලේඛනයක් බැසිල් රාජපක්ෂ විසින් සකස්කර ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

කෙසේ වුවත් එම ලේඛනයේ නම් සඳහන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක් වීමට නියමිත මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි. එසේම පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රී පිරිසක්ද මෙම පිරිසට අමාත්‍ය ධුර නොදෙන ලෙසත්, පසුගිය සමයේ අපකීර්තියට පත්වූ මේ පිරිස් වලට අමාත්‍ය ධුර ලබාදුනහොත් ජනතාව තුළ නව ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිවනු ඇති බවත් ඔවුන් දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් මෙවර ගැසට් නොකිරීමේ යෝජනාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් වෙන වෙනම ගැසට් කර තිබුණි.

Page 211 of 385