පුවත්

රනිල් රාජකීය පිම්මකට සුදානම් !
සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.
නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විසාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700ක් පමණ සහභාගි වී සිටියහ.
32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් පිළිගැනීමේ කතාව සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබීය.
ඉන්ටරැක්ට් ගෝලීය තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන සහයෝගය සහ සහභාගීත්වය අගය කරමින් ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලාංඡනයක් පැළඳ වූ අතර ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් සමරු ඵලකයක්ද පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ඊයෙ දිනයේ පැවති රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය නිසා අද දිනයේදී මෙම අවස්ථාවට මම සහභාගි නොවනු ඇතැයි ඔබේ දිස්ත්‍රික් අධිපතිනිය කණස්සල්ලෙන් පසුවූ බව මට දැන ගන්නට ලැබුණා.
නමුත් ක්‍රිකට් තරගය ඊයේ අවසන් වුණ බවත් අද අලුත් දවසක් ආරම්භ වූ බවත් මම කියන්න කැමතියි. ඒ වගේම එය රසවත් ක්‍රිකට් තරගයක් වූ බව කිව යුතුයි. රාජකීය සහ ශාන්ත තෝමස් යන කණ්ඩායම් දෙකටම මම ප්‍රශංසා කරනවා. එම දෙපාර්ශවයටම වගේම ලබන වසරේ ක්‍රීඩා කරන ශිෂ්‍යයන්ටත් එම තරගය නායකත්වය පිළිබඳ පුහුණුවක් වගේම පරීක්ෂණයක් බව කිව යුතුයි.
ඔබ තරගයකට සූදානම් වන්නේ කෙසේද? ඔබේ පුහුණුකරු සමඟ කටයුතු කරන්නේ කෙසේද? තරගය ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන්නේ කෙසේද? ඒ වගේම පරාජය වළක්වා ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳ තමයි ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ.
සැබැවින්ම රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ ඊයේ දිනය තීරණාත්මකයි. ශාන්ත තෝමස් සාමාජිකයන් අධ්‍යනය කළ යුතුයි ඇයි ඔවුන් පරාජය වුණේ සහ රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කළේ කොහොමද කියන කාරණය. ඒ වගේම ඔබේ උපාය මාර්ගයන්හි දුර්වලතා මොනවද? ලබන වසරේ ඩී. එස් සේනානායක ශූරතාව ඔබ ජයග්‍රහණය කරන්නේ කෙසේද? එය තමයි නායකත්වයේ පරීක්ෂණය.
ඒවගේම රාජකීය විද්‍යාලය පැත්තෙන් , විශේෂයෙන් එහි නායකයා තවත් පරීක්ෂණයකට මුහුණ දෙනවා. ඒ තමයි තරග ගණනාවක් පරාජයට පත් වූ පසුබිමක පරාජය නොවී සිටින්නේ කෙසේද යන්නත්, දෙවනුව ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්නත් සම්බන්ධවයි. එහිදී ඔහු පරාජය නොවී සිටීමටත් ජයග්‍රහණය කරා යාමටත් තීරණය කර තිබෙනවා. ඇත්තෙන්ම එය හොඳ නායකත්වයක්. ඔහුට මගේ ප්‍රශංසාව හිමි වෙනවා. රාජකීය විද්‍යාලය සියලු තරග පරාජය වෙමින් තිබෙන අවස්ථාවක අවසානයේදී ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා.
දැන් මගේ උත්සාහය වන්නේත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කළ දේ සිදු කිරීමටයි. මම මේ රට බාර ගත්තේ පසුගිය ජුලි මාසයේදී. ඔබ දන්නා පරිදි ඒ අවස්ථාව වන විට ඉන්ධන, පොහොර, ආහාර ආදී හැමදේකම හිඟයක් පැවතුණා. අපට මුදල් තිබුණේ නෑ. අපට ඒ සදහා ගෙවීම් කිරීම දුෂ්කර කර්තව්‍යක් වුණා. එය හරියට බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම වගේ. බොහෝ දෙනා සිතුවේ අපට එයින් ගොඩ ඒමට නොහැකි වේවි කියලයි.
පසුගිය මාස 7ක පමණ කාලයක සිට මේ දක්වා එම තත්ත්වය ස්ථාවර කිරීමට මගේ කණ්ඩායමට හැකි වුණා . දැන් ඉන්ධන, විදුලිය, පොහොර තිබෙනවා. අප්‍රේල් මාසය වන විට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි.
නමුත් රට නැවත ගොඩගත හැක්කේ ණය සහනය සමඟයි. එය ඉදිරි දින කිහිපය තුළ සිදු වනු ඇතැයි මම විශ්වාස කරනවා. රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකයා වගේ මටත් සිදු වී තිබෙනවා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද කියන කාරණය වෙනුවෙන් කටයුතු කරන්න. අප මේ මොහොත වන විට කරමින් සිටින්නේ කුමක්ද කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අපට ලබා දෙන්නේ හුස්ම ගැනීමට ඉඩකඩක් පමණයි.
අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව ඔවුන් පවසාවි. එවිට අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකියි. මේ වසරේ අපට ගෙවීමට ඇති සියලු මුදල් නැවත ගෙවීම සඳහා වසර දහයක් ලබා දෙනු ඇති කියා මම බලාපොරොත්තු වෙනවා.
මේ අතර අපේ විදේශ විනිමය ආදායම අපේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අපට අලුත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. විදේශයන්ගෙන් අපට මිලදී ගැනීමට ඇති අවශ්‍යතා සඳහා යන වියදමට වඩා අපේ අපනයන ආදායම අඩුයි. මෙය දිගු කාලීනව පැවති තත්ත්වයක්.
ඒ සමඟ අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ඇතිකරගත් පසු රුපියල පහළ යනු ඇත.එහෙත් එය රුපියල් 200ට හෝ 185ට පහත වැටෙන්නේ නැත.එය ක්‍රමානුකූලව සිදුවිය යුතුයි.
අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි.
දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ, නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇතියි. එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.
මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීමට ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා රටේ ආර්ථිකය වර්ධනයත් ඇති කළ යුතුයි. එසේ ආර්ථිකය වර්ධනය නොකළහොත් අප නැවත පහළට යනවා.
මම රාජකීය විද්‍යාලයේ ප්‍රාථමිකයට යන කාලයේ ආසියාවේ දෙවෙනියට සමෘද්ධිමත් ජාතිය වූයේ අපියි. පළමුව ජපානය, ඉන් පසුව ශ්‍රී ලංකාව. අද අනෙක් සෑම රටක්ම අපිව අභිබවා ගොස් තිබෙනවා. දැන් මගේ අරමුණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, වසර දහයකින් අපගේ ණය ආපසු ගෙවීමට හැකි වන පරිදි ආර්ථිකය ස්ථාවර කිරීමට අඩිතාලම දැමීම පමණක් නොවෙයි
ඉදිරි වසර 40 - 50 තුළ ජීවත් වන අයට යහපත් අනාගතයක් ලබා දෙන සමෘද්ධිමත් නව ආර්ථිකයක් ගොඩනැගීම තමයි මගේ අවශ්‍යතාවය.
මට එම මහා තරගය සඳහා කණ්ඩායමක් අවශ්‍යයි. අප එය සිදු කරනවාද? අප රට දියුණු කරනවාද? එසේ නැත්නම් රට කඩා වැටීමට ඉඩ දෙනවාද? මේ ක්‍රීඩාව සඳහා මගේ කණ්ඩායම කවුද?
මගේ කණ්ඩායම අන් කිසිවෙක් නෙවෙයි. ඒ ඔබ සියලු දෙනායි. ඒ සඳහා අප සිටින්නේ වසර 25ක සැලැස්මකයි. වසර 2048 දී මේ රට සමෘද්ධිමත් රටක් වනු ඇතියි. මැලේසියාව, සමහර යුරෝපා රටවල ජනතාව වගේ අපට ණය ගෙවීමට නැති වනු ඇතියි. ඊටත් වඩා අවම වශයෙන් ඔබ මාසකයට ඩොලර් දහස් ගණනක් හෝ ඊටත් වැඩිය උපයාවි.
මෙතන සිටින ඔබ අතරින් වැඩිමහල්ම කෙනාට තවත් වසර 25කින් වයස අවුරුදු 45ක් වේවි.. සමහර අයට ඊටත් අඩු වෙයි. අප කතා කළ යුත්තේ ඔබේ අනාගතය පිළිබඳවයි. ආර්ථිකය ස්ථාවර කිරීම තුළින් රටක් වශයෙන් අපට දියුණු විය නොහැකියි. සමෘද්ධිමත් සමාජයක් විය නොහැකියි. අප ආර්ථිකය ස්ථාවර කළ විට සමෘද්ධිමත් රටක් කරා ගමන් කළ හැකියි.
දැන් සමහරු හිතාගෙන ඉන්නේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමටයි. මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දුෂ්කරතා හෝ විශ්වවිද්‍යාල තුළ ඔබ මුහුණ දෙන ගැටලු පිලිබඳ මට වැටහීමක් තිබෙනවා.ඒ වගේම ඇතැමුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ නොසිට විදේශගත වීමටයි. තවත් සමහර අය විදෙස් රැකියා සඳහා ගොස් නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා.
විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාටම මට කියන්න තියෙන්නේ මේ රට අතාරින්න එපා කියන එක විතරයි. ඉදිරි වසර දෙක තුළ රට සංවර්ධනය වන ආකාරය ඔබට දකින්නට ලැබේවි. එවිට ඔබට අනාගතයක් ඇති බව ඔබට පෙනේවි. එබැවින් පිටරට යන්න, ඉගෙන ගන්න, නමුත් ආපසු පැමිණීමට මතක තියාගන්න. මොකද අපිට වසර 25 ක මහා තරගයක් තිබෙනවා ජයග්‍රහණය කිරීමට.
රාජකීය - ශාන්ත තෝමස් වගේ දින තුනකින් ක්‍රීඩා කරන තරග හෝ නැත්නම් වෙනත් පාසල් තරග මෙන් දින දෙකෙන් ක්‍රීඩා කරන තරග වගේ නොවේ, අපට තිබෙන්නේ අවුරුදු 25 තරගයක්. දෙවැනි ඉණිම පළමු ඉණිමට වැඩිය තරමක් දිගු එකක් . පළමු ඉණිම වසර හතරක් පමණයි. ඉන්පසුව දෙවැනි ඉණිම වසර 21ක් පමණ වේවි. මේ තමයි අපට ක්‍රීඩා කරන්න තිබෙන තරගය. මෙතැන සිටින ඔබ සියලු දෙනා එම තරගය ක්‍රීඩා කළ යුතුයි. මේ රටේ සිටින මේ වයසේ සියලු දෙනා ක්‍රීඩා කළ යුතුයි. මේ තරගය අප ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කිරීමටයි.
කලාපයේ වඩාත්ම සමෘද්ධිමත් රට බවට අප පත්විය යුතුයි. දුප්පත්කම නොතිබිය යුතුයි. අපට රැකියාවක් තිබිය යුතුයි. අපට හරිත ආර්ථිකයක් තිබිය යුතුයි. අපට ඩිජිටල් ආර්ථිකයක් තිබිය යුතුයි. අපේ තාක්ෂණයේ නවීන විය යුතුයි: අපේ චින්තනය ද නවීන විය යුතුයි. ඒ වගේම පාලන ක්‍රමයේ ඉතා කැපී පෙනෙන වෙනසක් සිදු විය යුතුයි. මේවාට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.
මෙතන සිටින සාමාජිකයින් ගැන හිතල ඒ සිස්ටම් චේන්ජ් වෙන්න ඕන. ඔබට අවශ්‍ය රට කුමක්ද? ඔබට අවශ්‍ය සමාජය කුමක්ද? ඔබට අවශ්‍ය වෙනස්කම් මොනවාද? එහෙම නම් ඒ රට ගොඩනැගීමට හවුල් විය යුතුයි.
මොකද අවසානයේ නායකත්වය ගන්නේ ඔබයි. ඔබ සෑම කෙනෙක්ම රට ගොඩනැගීමට සහ රට ඉදිරියට ගෙන යාමට විවිධ ආකාරයෙන් උපකාර කරනු ඇති. අනාගතයේදී ඔබගෙන් සමහරෙකුට ඉදිරියට පැමිණ අද මම කරන කතාව කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා , දිස්ත්‍රික් ඉන්ටරැක්ට් කමිටුවේ සභාපති ෂානාස් ෂහාබ්දීන් , තරුණ කමිටුවේ සභාපති ජී. එස් සිල්වෙස්ටර්, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුලු රොටරි සාමාජිකයන් ද මේ අවස්ථාවට සහභාගි විය.
https://newstube.lk/news?start=3762#sigProId26546d1de1

ඉදිරියේදී සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාව පළමු ශ්‍රේණියේ සිට
සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30වැනිදා සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේ දී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ ව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද පැවසූ ඒ මහතා කෙටිකලක් තුළ සිදු කෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බව ද පැවසී ය.
අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර පදානය කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි.
මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණයට, විශ්ලේෂණයට හා ප්‍රතිකාර දීමට මෙන් ම ආර්ථික වර්ධනයට ද භෞතික විද්‍යා විෂය දක්වන දායකත්වය ඉස්මතු කර දැක්වූ අමාත්‍යවරයා පාසල් මට්ටමින් පවත්වන ඔලිම්පියාඩ් ජාතික වැඩසටහන භෞතික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට මනා පිටුබලයක් වන බව ද පැවසී ය.
එමෙන් ම ජාත්‍යන්තර තලයේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ විද්‍යා විෂය සංවර්ධනයට පමණක් නොව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, ගණිතය වැනි අනෙකුත් විෂය ප්‍රවර්ධනයට ද වැඩසටහන් ලබන 31 සිට ආරම්භ කරන බවත් එමගින් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය දිවයිනේ ප්‍රචලිත කර එය ජාතික ආර්ථික වර්ධනය සඳහා මුසු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

තැබෑරුම් හිමි මාලිමා අපේක්ෂකට විරෝධයක් !
මෙවර පලාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේග අපේක්‍ෂකයෙකු විසින් පොලොන්නරු දිඹුලාගලල සිිරිපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්පැන්හලක් වටලා ප‍්‍රදේශවාසීන් විරෝධය දක්වා ඇත.
ඔවුන් පවසන්නේ මෙම මත්පැන්හල හේතුවෙන් ප‍්‍රදේශයේ ජන ජීවිතය මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනය ද දැඩි තර්ජනයට ලක්ව ඇති බවයි.
මෙම අපේක්ෂකයා හේතුවෙන් ඡන්දය වර්ජනය කරන බවත් විරෝධතාකරුවන් සඳහන් කර ඇත.
එසේම මෙවැනි පුද්ගලයන් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස මෙතෙක් සිදුකළ සේවය අපකීර්තියට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

කල් ඉකුත්වූ කඳුළු ගෑස් භාවිත කතාව බොරුවක් !
විරෝධතා හා විසුරුවා හැරීමට පොලීසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කඳුළුගෑස් උණ්ඩ 15,000 ක පමණ ප්‍රමාණයක් කල් ඉකුත් වීම මත ඉකුත් 2022 වසරේදී නිෂ්ක්‍රීය කරන ලද බවය.
එසේම තවත් කල් ඉකුත් කදුළු ගෑස් උණ්ඩ තොගයක් විනාශ කිරීම වෙන් කර ඇති බවද ඔහු පවසා ඇත.
කල් ඉකුත් වූ කදුළු ගෑස් ජන ශුන්‍ය ප්‍රදේශ වලට ගෙනගොස් ආරක්ෂිත ක්‍රමවේද වලට විනාශ කර දමන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් : ඊට පස්සේ මොකද වෙන්නේ ?
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වුවත් හෙට (20) දින සිටද එම ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවය.
ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇත.
2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව සභිකයින් තෝරාගැනීමෙන් පසු එම වසරේ මාර්තු 20 වනදා සිට පළාත් පාලන ආයතන 340ක සභිකයින්ගේ නිල කාලය ආරම්භ විය.

භූ කම්පන ගැන ජනතාවට දැනුම්දීමක් !
මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ඊයේ (18) දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවය.
එහිදී ඔහු මෙසේ පවසයි.
"ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 - 5 භූකම්පන රැසක් සිදුවුණා. ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ."
ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද, පලටුපාන වෙරළ තීරයෙන් ද සුළු භූචලන දෙකක් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලය,තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ භූචලනයක් සිදුව ඇත. රික්ටර් මාපකයේ 3ක අගය ගත් එය සුළු භූචලනක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි. නමුත් ගෝමරන්කඩවල ප්‍රදේශවාසීන්ට එම භූචනය දැනී ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර ඊයේ පස්වරු 06.46 ට තවත් භූ චලනයක් සිදුව තිබුණේ කිරින්ද - පලටුපාන වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයෙනි. එය දැක්වුණේ රික්ටර් මාපාංක 2.6 ක් ලෙසින්ය.
එම භූචලන ද්විත්වයම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති අතර එය මෙරට භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබුණි.

ඉන්ධන අලෙවියේ අඩුවක් : බෙදුම්කරුවන් මැසිවිලි නගයි !
ඉන්ධන අලෙවිය දිගින් දිගටම අඩුවීම නිසා ඉන්ධන පිරවුම්හල්වල මාසික පිරිවැටුම 30%ත් 40%ත් අතර ගණනකින් පහළ වැටී ඇතැයි තෙල් බෙදුම්කරුවන් පවසයි.
වෙනදා ඉන්ධන පිරවුම්හල්වලට ගෙනෙන තෙල් තොගය දිනක් හෝ දෙකක් තුළ අවසන් වුවත් දැන් ඊට දින තුන හතරක කාලයක් ගන්නා බවද ඔවුන් සඳහන් කරයි.
මේ නිසා ඉන්ධන හල් හිමියන්ට අධික බැංකු පොලියක් ගෙවීමටද සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් අනාගතයේදී ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් කොටසක් ඉවත් කිරීමට පවා සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රජය හඳුන්වා දුන් QR කේතය නිසා තෙල් අලෙවිය අඩුවිය. දැනට මාසිකව මෝටර් රථයකට හිමිවන පෙට්‍රල් ලීටර් 80 ලබාගැනීම සඳහා රුපියල් 32,000ක් පමණ වැය කළ යුතුය. තෙල් අලෙවිය අඩුවීමට එම තත්ත්වය ද බලපා ඇත. එනිසා ඉදිරියට QR කේතය අවශ්‍ය නොවනු ඇතැයිද ඔවුන්ගේ අදහස වී තිබේ.

ජන්දයට සල්ලි හොයන්න කොමිසම අලුත් වැඩක !
මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 23දා කැඳවා ඇති විශේෂ පක්ෂ ලේකම්වරුන්ගේ සමුළුවට මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 58ක ලේකම්වරුන් කැඳවා තිබේ.
මෙම රුස්වීමේදී පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීම සඳහා බලපා තිබෙන ගැටලු ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා දේශය පුවත්පතට පවසා ඇත.
එසේම මැතිවරණය පැවැත්වීමට අදාළව පැන නැගී ඇති මුදල් හිඟය සම්බන්ධව සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාමූහික ප්‍රයත්නයක් දැරීමට අපේක්ෂා කරන වගද සභාපතිවරයා සඳහන් කර ඇත.

නොරොච්චෝලේ බිඳවැටීමක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී 03වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.
කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

“නිල් මහා සටන” ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ජනපති අතින් !
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවන දිනය වන ඊයේ (17) එය නැරඹීමට ජනාධිපතිවරයා ද එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එම අවස්ථාවට එක්ව සිටියේය.
මේ අතර ජනාධිපතිවරයා අද උදෑසන සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් තරගය නැරඹීමට එක් වූ අතර එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
අද දින තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
ජයග්‍රාහී කණ්ඩායමට මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායමට සහ තරගයේ දක්ෂතා දැක්වූවන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්ෂතා දැක්වූවන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත රැස්ව සිටි ක්‍රීඩා ලෝලින් සමඟ සුහද කතා බහක නිරත වීමට ද අමතක නොකළේය.
https://newstube.lk/news?start=3762#sigProId7748100d0c

IMF වැඩේ ගොඩ : සුබ පුවත 21 ලැබෙනවා !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා (20) දින පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් මෙම මාසයේ දී ම ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ පිළිබඳව තීන්දුවක් ගෙන ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් දැනුම් දෙනු ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කර සිටී.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තීන්දුව මාර්තු 21 වනදා නිවේදනය කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

ජන්දයට සල්ලි දෙන්නත් අනුර සූදානම් !
පළාත් පාලන මැතිවරණට මුදල් නැතැයි ආණ්ඩුව තවදුරටත් පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
පළාත් පාලන ආයතන නියෝජිතයන් අට දහයේ සිට හාරදහස දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ප්‍රශ්නය බාධාවක් ලෙස පවසන පවසමින්නේ නම් ඊට විසඳුමක් ලෙස මන්ත්‍රී දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ද මන්ත්‍රීවරයා පවසයි .
සත්‍ය වශයෙන්ම මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා වැඩි නම් ඔවුනට ලබා දෙන සියලු දීමනා හරි අඩකින් අඩු කරන්නයි තමන් යෝජනා කරන බවද පැවසූ අනුර දිසානායක මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා සියයට 75 කින් කපා හැරීමෙන් ද ආණ්ඩුවට මුදල් ඉතිරි කරගත හැකි බවද කියා සිටියේය.

පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.
නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපතිවරයාට හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය චෝදනා නගා ඇත.
එම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.
මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.
(රොයිටර්)

මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ - මුද්‍රණාලයාධිපතිනිය
2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ එම කොමිසමට දැනුම් දී තිබේ.
මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කර සිටී.
ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.
මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගන යාමේ අර්බුදයක්ද මතුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.
පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සඳුදා දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද ඇය සඳහන් කළාය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවය.
මේ අතර පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට භාර දිය යුතුය.
එමෙන්ම එම ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු පළමුවනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේය.
DERANA

පසිඳු ගුණරත්න ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට
ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න පත්කර ඇත.
පසිදු ගුණරත්න ගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අද ඊට අදාළ පත්වීමේ ලිපිය ලබාදී තිබේ.
25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටී. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න, ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.
NYSC හි නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගන්වන සහ අනුබල දෙන පරිසරයක් ඇති කිරීමට සහ අවස්ථා නිර්මාණය කිරීමේ මෙහෙවරට නායකත්වය දෙනු ඇතැයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන පුනරුදය තුල, තරුණ තරුණියන්ගේ චින්තන සහ ශ්‍රම දායකත්වය රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කරමින් ඔවුන් සාර්ථක අනාගතයක් කරා යොමු කරන නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක සාධකය වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.

ගුරු මාරු මණ්ඩලය විසුරවයි
අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝගකර ඇත.
ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇත.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී තිබේ.
එසේම ආර්ථික අර්බුදය සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධිකවීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරනා රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් ජනාධිපතිවරයා වෙත දුක් ගැනවිලි යොමුකර තිබිණි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරුමාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වෙයි. ඒ අතරින් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් ජනාධිපතිවරයාට වාර්තා වී තිබෙි.
ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ මෙම කරුණු කාරනාද සලකා බැලීමෙන් අනතුරුවය.

සරසවි වරම් අහිමිවූ සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා පොළී රහිත ණයක්
උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය.
අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසු කම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිසුන් 5,000 කට මෙම ණය පහසුකම් ලබා දීමට නියමිතය. මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
අදාළ ණය මුදල විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

අප්‍රේල් 25 ඡන්දෙට ඉඩක් නැහැ - පැෆ්රල්
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'පැෆ්රල්' සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය.
"මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ."
"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා."
"නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ."
"ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි."
මැතිවරණ කොමිසමේ තීරණය කල් යයි !
2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර තිබිණ.
අද දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි.
මේ අතර අද සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
Page 210 of 461