V2025

පුවත්

විමල්ලාගේ සන්ධානය ලත් තැන ලොප්  :  පළුවක් ගැලවී ඩලස්ට එයි !

එන සතියේ පාර්ලිමේන්තුව තුළ ස්වාධින වෙන්න බලාගෙන ඉන්න ජි එල් - ඩලස් ඇතුලු පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණවාදී මංත්‍රී කන්ඩායමට එකතුවෙන්න, ඊට කලින් ස්වාධින වුන, මංත්‍රීවරු 7 දෙනෙක් කැමැත්ත පලකරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.

මේ 7 දෙනා අයිති වෙන්නේ කන්ඩායම් 3 කටලු.

ඉන් එක්කෙනෙක් හෙට අනිද්දා වෙනම සංධානයක් පිහිටුවන්න යන පක්ෂ 10 කන්ඩායමේ මෙතෙක් හිටපු පක්ෂ නායකයෙක්ලු. විමල් වීරවංසගේ නායකත්වයෙන් පිහිටුවන්න යන සංධානේ නායකත්වය ගැන වැඩි පැහැදීමක් නෑ කියලා, මේ මංත්‍රීතුමා ඩලස්ලගේ මංත්‍රී කන්ඩායමට එන්නලු හදන්නේ ..

කොහොමටත් පක්ෂ 10 න් සංධානෙ පිහිටුවන කොට, පක්ෂ 8 ක් වත් ඉතුරු උනොත් පුදුමයි කියල, මෙතුමා කියනවලු. පක්ෂ කිව්වට ඒ බොහෝ පක්ෂවල ඉන්නේ ජාතික ලැයිතුවෙන් ආපු, එක මංත්‍රි කෙනෙක් විතරයි නිසාලු, මංත්‍රීවරු 4 දෙනෙක් ඉන්න ජාතික නිදහස් පෙරමුණට සංධානේ නායකත්වය ලැබෙන්නෙ.

ඉතින් එහෙම බැලුවම, දැනටමත් මංත්‍රීවරු 14 ක් විතර ඉන්න , ජී එල් ලාගේ කන්ඩායම ඒ සන්ධානෙට වඩා ඉස්සරහෙන් ඉන්න නිසාලු, කලින් ස්වාධීන උන අනුර යාපා, චන්දිම වීරක්කොඩි ඇතුලු කිහිපදෙනෙකුත් මේ කන්ඩායමට එකතු වෙන්න බලන්නේ.

කොහොමින් කොහොම හරි ලගදිම දවසක ආන්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නැතිවීමේ ඉඩක් තිබෙන බව නම් පේනවා.ඒ අස්සේ විමල්ලාගෙත් පළු ගැලවෙනවා වගේ .

- දේශපාලන වාර්තාකරු

 

රනිල්ගේ වැඩ ගැන  නාමල් පරළවෙයි : බැසිල් පාර්ලිමේන්තු එන්න සූදානම් !

නාමල් රාජපක්ෂ දේශපාලනඥයන්ට අමතරව, විවිධාකාර මිතුරන් ඇසුරු කෙනෙක්..

ඔන්න පසු ගිය දවසක හිතවතුන් කිහිපදෙනෙක් එක්ක, රෑ කෑමකට ගිහින් ඉන්න වෙලේ ,, එක්කෙනෙක් අහල තියෙනවා ''රනිල් නිසා ඔයාගේ අනාගතේ සුරක්ෂිත වුණා නේද'' ? කියලා.

එහෙම අහන්න හේතුව රනිල් හා නාමල් අතර ඉතා හොඳ සම්බන්ධයක් තියෙනවා කියලා, මෙයාල හොඳටම දන්න නිසාලු.

හැබැයි නාමල්ගේ උත්තරෙන් මෙයාල හොල්මන් වෙලා.

" අයියෝ මේ යකා තීරණයක් ගන්න බයයි . වැනි වැනි කාලේ අල්ලගන ඉන්නවා.. . අපි හිතුවේ ඉක්මනට කැබිනට් එක පත්කරලා වැඩේට බහියි කියල". නාමල් බොහොම අසතුටින් එහෙම කිව්වම, එතන හිටපු මිතුරියක් ඇහුවලු '' ඇයි එහෙම කියන්නේ කියල ''

" අපි ඉල්ලලා තියෙන්නේ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ට කැබිනට් ඇමති කම් දෙන්න කියල. මොකද ඒ අය නිසා තමයි රනිල් ජනාධිපති උනේ. දැන් රනිල් කියනවා මටයි ජොනීටයි ඇමතිකම් දෙනවට විපක්ෂය විරුද්දයි කියලා. මිනිහා ඔය විපක්ෂය කියන්නේ සජබෙ ගැන නෙවෙයි අර මිනිහගේ අරගලේ සෙට් එකටයි මිනිහගේ UNP සෙට් එකටයි '' නාමල් කිව්වා ලු..

රනිල්ට ඕනේ වජිරවත් කැබිනට් එකට ගන්න. ඒවට ඉඩ ගන්න තමයි අපිට කපන්න හදන්නෙ. අපි රනිල්ට ජනාධිපති කම දුන්නට පස්සෙ මිනිහ වෙනුවට ජාතික ලැයිස්තුවෙන් ආපු එකාටත් ඇමතිකම් දීලා අපිට මෙච්චර වැඩ කරපු ජොනීට නොදී හිටියොත්, අපි පාක්ෂිකයන්ට මුහුන දෙන්නේ කොහොමද? ඉතින් අපි කිව්ව එහෙම බෑ , අපිට කැබිනට් එකේ වැඩි ඇමති කම් ප්‍රමානයක් ඕනේ කියලා" නාමල් එකදිගට කියා ගෙන කියා ගෙන ගිය ලු...

ආරංචි විදියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයයි. ශ්‍රිරන්ති රාජපක්ෂ නෝනයි දෙන්නම ජනාධිපති රනිල්ට වෙනවෙනම කතා කරලා, බැගෑපත් වෙලා තියෙනවා, නාමල්ට මේ පාර ඇමති කමක් දෙන්න කියලා.

මොකද ඒ අය හිතන්නේ, නාමල්ට ඇමති කම නොදීම පිටිපස්සෙ , බැසිලුත් ඉන්නවා කියලලු.

බැසිල්ට ඕනෙ වෙලා තියෙන්නේ මේ පාර පිටරට ගිහින් මාස 3 කින් විතර ආපහු එනකන් , සියලූම රාජපක්ශවරු කැබිනට් එකෙන් පිටත තියාගන්නලු.

ඊට පස්සෙ ධම්මිකට අස්වෙන්න කියල බැසිල් ආයේ, පර්ලිමේන්තු ඇවිත් කැබින්ට එකටත් එන්න තමයිලු සැලැස්ම.

හැබැයි ඊට කලින් 22 සංශෝධනය පරද්දන්න ඕනේ කියල, ඔන්න බැසිල්ගේ කට්ටිය වැඩේට බැහැලා..

මොකද සංශෝධනය සම්මත උනොත් බැසිල්ට දිවිත්ව පුරවැසිකම තියාගෙන පාර්ලිමේන්තු එන්න බෑ. ඒ නිසා තමයි පොහොට්ටුව දැන් අළුත් තර්කයක් ගේන්නේ ....

22 ට අත උස්සන්න නම් ජනාධිපතිට අවුරුදු 2 1/2 කින් පාර්ලිමේන්තුව විසුරවන්න කියන, 70 වෙනි වගන්තිය වෙනස් කරලා ඒ කාල සීමාව අවුරුදු 4 1/2 කරන්න කියලා ඔන්න පොහොට්ටුවේ සමහරු එළිපිටම ගේමට බැහැලා.

දැන් ඔය වැඩේට මංත්‍රීවරු එකග කරගන්න බාරදීල තියෙන්නේ, මදුර විතාන, ඩයනා ගමගේ, රන්ජිත් බන්ඩාර ජයන්ත කැටගොඩ වගේ බැසිල්ට හිතවත් පිරිසකටලු.

හැබැයි ටිකක් මොලේ තියන මන්ත්‍රීවරුන් අහනවලු " ඉතින් අපි 22 පැරද්දුවත්, 20 තියෙනවනේ ඒ විදියටම. ඉතින් දැන් තියෙන අවුරුදු 2 1/2 කාල සීමාව කොහොමටත් වෙනස් වෙන්නේ නෑනෙ" කියල.

හැබැයි පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න හුඟ දෙනෙකුට ඔය සරල කාරනයවත් තේරුම් ගන්න බැරි පාටයි. කියල බැසිල්ගේ ගෝල බාලයෝ තැන්තැන් කියව කියව යනවලු..

- දේශපාලන වාර්තාකරු

අද නෙවෙයි හෙටයි : පුංචි ජන්දයට බාලගිරි දෝෂය ලබයි !

පළාත් පාලන චන්දෙ , ඒ කියන්නේ පුංචි චන්දෙ, එන අවුරුද්දේ මාර්තු වෙනකොට තියන්න වෙනවා කියල, මැතිවරණ කොමිසමේ සභාපති තුමා, දැනටම කියල තියන්නේ.

හැබැයි ජනාධිපතිතුමා දැන්ම පළාත් පාලන චන්දයක් තියන්න, එච්චර මනාපයක් නැති ලු.. මොකද මේ වෙලාවේ ඔය චන්දෙ තිව්වොත්, UNP එකට,, දැනට තියන ටිකත් නැතිවෙන්න ඉඩතියනවා කියල, ජනාධිපති තුමා ගණන් බලලා ඇති..

අන්තිමට තිබිච්ච පළාත් පාලන චන්දෙ දී,, සමගි ජනබලවේගය පක්ෂය තරග කලේ නෑ .. මොකද ඒ කාලේ, සජබක් තිබුනෙ නෑ .. අද සජිත් එක්ක ඉන්න කට්ටියත් තරඟ කලේ UNP එකෙන්.. පානදුර වගේ නගර සභාත් UNP එක දිනුවා.

ඒ නිසා එන චන්දෙකදී, සජබේ වෙනම තරඟ කරනවා. ඒක මේ වෙලාවේ UNP එකට ආවසි වෙන්න පුළුවන්..

මේ ළඟදී ජනාධිපති තුමා හම්බවෙන්න ආපු, හිටපු ඇමති කෙනෙක් එක්කත්,, ජනාධිපති තුමා මේ ගැන කතා කරලා කියල ආරංචියි..

මොකද ඒ හිටපු ඇමතිතුමා, පළාත් පාලන චන්ද කල්දාලා, වාර්තා පිට වාර්තා තියපු කෙනෙක් නිසා, සමහරවෙලාව පොඩි ඔපිනියන් එකක් ගන්න හැදුව වෙන්නත් බැරි නැහැ.

ඒ අස්සේ තවත් කතා ගොඩයි.. ඒ චන්දෙට UNP එකයි,, පොහොට්ටුවයි එක පෙරමුණකින් චන්දෙට ඉදිරිපත් වෙනවා කියල , කතාවකුත් යනවා.

ජනතා බලයක් නැතුව, ජනාධිපති විදියට පත්වෙලා ඉන්න , රනිල් වික්‍රමසිංහ, හිට්ලර් පන්නයේ ආණ්ඩුවක් සකස් කිරීම වෙනුවෙන්, ගමන් කරමින් ඉන්නා බවට,, චෝදනා කරන වාමාංශික නායකයෙක්, ඔහුගේ ආණ්ඩුව පලවා හැරීම සදහා දැවැන්ත ඒකාබද්ධ බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා.

" කම්කරු පංතිය ප්‍රමුඛ වමේ බලවේග, ගොවි සංවිධාන, ධිවර සංවිධාන, වතුකරයේ ජනතාව විතරක් නෙමෙයි, උතුරේ දෙමළ ජනතාවත් ඒකාබද්ධ කරගත්ත දැවැත්න ජනතා බලයක් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලවාහැරීම වෙනුවෙන් අපි ගෙනියෑම අද අපේ දවසේ කාර්ය බවට පත්වෙලා තියනවා. ''

එහෙම කියන්නේ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ..

සිරිතුංග ඔය කතාව කිව්වේ, 23 වැනි අගහරුවාදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ..
ලබන අවුරුද්දේ පෙබරවාරි, මාර්තු මාස වලදී, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නෑ කියලයි සිරිතුංග කියන්නේ..

ජනාධිපති තුමා මිලිටරී පොලිසි රාජ්‍යක් නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙලක, නිරතවෙලා කියලත් සිරිතුංග කියනවා.

"පොහොට්ටුව හා රනිල් කුමන්ත්‍රණකාරීව මේ ඡන්ද කල් දාලා මිලිටරිය, පොලීසිය සමග ආණ්ඩු ගෙනයෑමේ එහෙම නැතිනම් මිලිටරී පොලිස් රාජ්‍යක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලටයි මේ රනිල් රාජපක්ෂ අද කටයුතු කරමින් යන්නේ. "

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට 2015 යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස ජාත්‍යන්තරයට පොරොන්දු වු වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලැජ්ජාවක් නොමැතිව භාවිතයට ගන්නා බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා කියනවා.

" එයා හදනවා ඇති එයා කල්පනා කරනවා ඇති මේ තුලින් මේ රටේ නැගී එන ජනතාවගේ වෛරය එයාට පාලනය කරන්න පුළුවන් කියලා. අපි කියනවා රනිල් උඹට වැරදුනා. මතක තියාගනින් රනිල් උඹට වැරදුනා. "

ජනතාවගේ ජයග්‍රහනය වෙනුවෙන් සියළු දෙනා ඒකාබද්ධව වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය එහිදී තව දුරටත් අවධාරණය කළා "

- දේශපාලන වාර්තාකරු

 

වැඩි මිලට බිත්තර විකුණලා : 64 කට වැඩ වැරදිලා !

පාලන මිලක් නියමකර තිබියදී වැඩි මිලට බිත්තර අලෙවි කළ 64කට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වෙයි .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි.

වැඩි මිලට බිත්තර අලෙවි කිරීමට එරෙහිව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් : තවත් දින සීයේ වැඩක් !

ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් නිකුත්කර ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවේදී ය.

වගාව සඳහා හිස් ඉඩම් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් පරිසරයට හානියක් වෙන දේ කිසි විටකත් ක්‍රියාත්මක නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන අතර ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගම් මට්ටමේ සිට ඉහලට සැලසුමක් සකස් කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා මෙහිදී පවසා ඇත .

උද්ඝෝෂණවලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ : ඇමති නිමල් සිරිපාල කියයි !

උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘතිවලින් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ප්‍රතිපල නොමැති බොරු ‘සිස්ටම් චේන්ජ්වලින්’ ඵලක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද පැවසීය .

අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මණ්ඩලයේ 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමීමේ උත්සවයේදීය

වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු චේන්ජ් කළ බවත් වරායේ තනතුරු වලට තමා කිසිවිටකත් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 04 ක වෛද්‍ය සැපයුම් !

ශ්‍රී ලංකා ජනතාව ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් (Tedros Adhanom Ghebreyesus) පවසයි .

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්ය .

මෙරටට ලබා දෙන අත්‍යවශ්‍යය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද එම පණිවිඩයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

helth 559px

 

මහ බැංකු අධිපති පාර්ලිමේන්තු යන සූදානමක !

ලංකා මහ බැංකුවේ අධිපති , ආචාර්ය නන්දලාල් වීරසිංහ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ඒ, ලබන 30 වැනිදා පස්වරුවේදීය.

එහිදී අතුරු අයවැය සහ රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස සංශෝධිත අයවැය පනත් කෙටුම්පත ලබන 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

එදින පස්වරු 1:00 සිට 2:00 දක්වා ජනාධිපතිවරයා අයවැය කතාව කිරීමෙන් අනතුරුව අගෝස්තු 31 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිත බවත් වාර්තා වෙයි .

ඊට අදාළ අයවැය විවාදය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 1 හා 2 පෙරවරු 9: 30 සිට පස්වරු 5:30 දක්වා ය.

විදුලි යතුරු පැදි , පාපැදි ඇතුළු භාණ්ඩ කිහිපයක් : ආනයනයට අවසර !

විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත .

ඊයේ (24) සිට මෙම අවසරය බලාත්මක වෙයි.

ඊට අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට නියමිත ය.

මේ අතර ඊයේ සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇත .

එලෙස ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහාය.

ආනයන සිදුකිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිශ්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.

මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

gazett 1 5

රන්ජන් අධිකරණයෙන් සමාව ගනියි ! දිවුරුම් ප්‍රකාශය මෙන්න ! අද හෙට නිදහස් !

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද ඇති බව වාර්තා වෙයි .

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් දැනගන්නට ඇත .

ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත් දැනගන්නට ඇත .

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් බවත් වාර්තා වෙයි .

2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබිණි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගෝස්තු 26 - 29 යන දෙදින හෝ ඊට ආසන්න දිනයක හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට ඉඩ ඇති බවයි.

අදාළ දිවුරුම් ප්‍රකාශය පහත දැක්වෙයි .

Ranjan later 2022.08.25

 

 

 

IMF නියෝජිතයන් ජනාධිපති හමුවෙයි !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබේ.

එම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වන සිකුරාදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එහිදී වැඩිදුරටත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

LGBTQ + අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගෙනා : පනත් කෙටුම්පත ජනාධිපතිට !

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ (23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබිණ.

LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝය.

එසේම ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝනය වූ අවස්ථා ද වාර්තා වී ඇත.

ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි. නමුත් නූතන මනෝ - වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි.

එසේම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ‍ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් යොමු කර තිබේ.

සනත් මිලාන් ඩෑන් ගේ දුරකථන CID යට : අධිකරණ නියෝගයක් !

ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළණ ගමගේ විසින් අද (24) මේ නියෝගය නිකුත්කර ඇත .

ජංගම දුරකතන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසත් දුරකතන භාරදීමෙන් පසුව අදාළ සැකකරුවන් මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .

කෝප් කෝපා සභාපති පත්කිරීමට : පොහොට්ටුවෙන් බාල්දියක් !

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පිටින් කෝප් සහ කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීමට යෝජනා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පොපෙ. ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විරෝධය පලකර ඇති බව වාර්තා වෙයි .

මන්ත්‍රීවරයා මෙසේ විරෝධය පලකර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ය.

අදාළ කමිටු පිහිටුවීමටත් කලින් සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු යෝජනා කර ඇති බවත් ස්ථාවර නියෝගය අනුව එසේ කළ නොහැකි බවත් ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ පලමුව එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු බව යැයිද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .

එහි දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාගැනීමට කතානායකවරයා මීට පෙර පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී එකඟ වූ බවයි.

රාජ්‍ය සේවකයින් රට යනවානම් මාසිකව ඩොලර් ප්‍රමාණයක් එවිය යුතුයි.....

රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

rata yema gazzat

මේ මගේ රට නිසා - මට සිහිනයක් තිබේ : සම්මන්ත්‍රණය අගෝස්තු 25 !

මේ රට ලෝකයේ ලස්සනම රටක් කිරීම ලාංකික අප වැඩිදෙනෙකුගේ සිහිනයයි.

ඒ සිහිනය වෙත යා යුතුව තිබෙන්නේ අප අද වැටී සිටින ස්ථානයේ සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි.

රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි.

අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි.

අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.

එමෙන්ම, ඒකාධිපතිවාදය පිටුදකින, සියලු ප්‍රජාවන් වෙත සාධාරණ අන්දමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පක්ෂ අභ්‍යන්තරය හරහා සමාජය හා පවුල දක්වාම විහිදෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකි. බලහත්කාරයන් හා ප්‍රචණ්ඩත්වය වෙනුවට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත දේශයකි.

මේ සිහින වෙනුවෙන්, පසුගිය කාලය තුළ විවිධ සංවිධාන හා කණ්ඩායම් කිහිපයක් එක්ව පැවති දීර්ඝ සාකඡාවන් කිහිපයකින් පසුව රටට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රථිසංස්කරණ ඉලක්ක කරමින් කටයුතු කිරීම සදහා ''මට සිහිනයක් තිබේ'' නමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

එම එකමුතුවේ පළමු පියවර වශයෙන් අගෝස්තු 25 සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇති අතර, ඒහි දී මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥ දුලාන් දසනායක, චින්තන ධර්මදාස හා අජිත් පැරකුම් ජයසිංහ යන අය එහි දී මූලික අදහස් දැක්වීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා සහභාගී වන ලෙසත්, මෙහි ඉදිරි කටයුතු වලදී ඔබගේ පුර්ණ සහාය අපේක්ෂා කරන බවත් සංවිධායක කමිටුව කියා සිටියි.

PHOTO 2022 08 24 12 13 11 1

රන්ජන්ගේ නිදහස ගැන : ජනාධිපති කිව්ව කතාව හරීන් මාධ්‍යට කියලා !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සහතික වු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පලවී ඇත.

ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන බව ජනාධිපතිවරයා කියා සිටි බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසූ බවත් අදාළ මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.

මංගල මතක ආවර්ජනය 26 මාතර දී

මංගල සමරවීරයන් දැයට අහිමි වී අගෝස්තු 24 වන දිනට වසරක් ගතවේ.

ඒ වෙනුවෙන් 24දා බොල්ගොඩ නිවසේ විශේෂ පින්කමක් පැවැත්වෙන අතර 25 දිනයේ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

අනතුරුව මංගල මතක ආවර්ජන සැමරුම අගෝස්තු 26 වනදා සවස 03 ට මාතර නුපේ පැරණි ඕලන්ද වෙළද මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී මහාචාර්ය රොහාන් සමරජීව සහ ශෙහාන් මාලක ගමගේ සම්බන්ද වන සංවාදාත්මක කතිකාවක් පැවැත්වීමට නියමිත අතර එය මෙහෙය වීම රන්දුලා ද සිල්වා විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම අනුෂ්ක උදාන ද ( වස්ති Production) සම්බන්ද වන විශේෂාංගයක් ද මීට ඇතුලත් කර තිබේ.

1bhjbhhbibj

Page 208 of 383