V2025

පුවත්

චිත්‍රපට සංස්ථාව වහයි : කොමිසමක් එයි !

දැනට ක්‍රියාත්මක වන චිත්‍රපට සංස්ථාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුනොවන නිසා සංස්ථාව අහෝසි කිරීමට බලධාරීන් තීන්දු කර ඇත .

ඒ අනුව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ චිත්‍රපට සංස්ථාව වෙනුවට ඉදිරියේදී ජාතික චිත්‍රපට නියාමන කොමිසමක් ගෙනෙන බවය.

ජාතික සිනමා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශයක් අනුව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පවසයි .

චිත්‍රපට නිෂ්පාදනය ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම යන කටයුතු චිත්‍රපට නියාමන කොමිසමට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇති බවද අමාත්‍ය ගුණවර්ධන අවධාරණය කරයි.

ආර්ථිකය ගොඩදාන හර්ෂගේ සැලැස්ම මෙන්න !

පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (14) උදෑසන ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කළේය.

එහිදී, ඔහු සඳහන් කළේ මෙම ආර්ථික සැලැස්ම ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර 10 ක් හඳුනා ගනිමින් සකස් කර තිබෙන බවයි.

ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගීතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මෙම අංශ අතරට ඇතුළත් වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සම්පාදනය කර තිබෙන මෙම ආර්ථික සැලැස්ම ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකය මඟින් අනුමත කර ඇත.

මෙම ආර්ථික සැලැස්ම නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද සහභාගී වී තිබෙන අතර මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරාළ ද මේ සඳහා උපදෙස් ලබාදී තිබේ.

එසේම, මෙය සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් කණ්ඩායම් 08 කගේ යෝජනා පාදක කර ගනිමින් (Advocata ආයතනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඇල්ලේ ගුණවංශ හිමියන්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්, සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය, NPP, SJB , 43 කණ්ඩායම) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ව්‍යාපාරික ප්‍රමුඛයන් ගේ අදහස්ද විමසා සම්පාදනය කර ඇත.

මෙම සැලසුම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .

“මෙය කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ආර්ථික සැලැස්මක්. ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වන අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කර මෙය ගොඩනැගීමේ වගකීම මට පැවරුණා. මේ සඳහා විපක්ෂයේ බොහෝ පක්ෂවල අනුමැතිය තිබෙනවා. මේ නිසා, මම ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලයි. සාමාන්‍යයෙන් ආණ්ඩුව තමයි මෙවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුත්තේ. අපිට දැන් පක්ෂ, විපක්ෂ කිය කිය ඉන්න කාලයක් නෑ. මේ ආර්ථික සැලැස්ම විශේෂඥයින් විසින් සම්පාදනය කරපු එකක්. ඒක නිසා, වහාම මේක ක්‍රියාත්මක කරන්න. නැත්නම්, ආණ්ඩුව ඔවුන්ගේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන්න. අපිට කල් මරන්න කාලයක් නෑ.“

මෙම ආර්ථික සැලසුමෙහි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාද ඇතුළත් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ මේ අවස්ථාවේ රට ගොඩගැනීම සඳහා අකමැත්තෙන් වුවද තිත්ත බෙහෙත් බීමට සිදුවන බවයි.

අදාළ යෝජනාවලිය පහත දැක්වෙයි .

විදුලි කප්පාදුවේ වෙනසක් !

අගෝස්තු 15 සහ 16 යන දෙදින තුළ විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව සංශෝධනය කර තිබේ .

ඒ අනුව හෙට සහ අනිද්දා පැයයි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව A සිට L දක්වා වූ කලාපවලට සහ P සිට W දක්වා කලාප වලටත් හෙට පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව සඳහන් වෙයි .

සංවිධාන 6කට පුද්ගලයන් 316 කට : පනවා තිබූ තහනම ඉවතට !

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත්කර ඇත .

මේ ආකාරයට තහනම ඉවත් කර ඇති ජාත්‍යන්තර දෙමළ සංවිධාන වන්නේ ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍යය දමිළ සංසදය නම් සංවිධානයි.

තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස සංවිධාන 15 ක් හා පුද්ගලයින් 316 ක් නම් කර අසාධු ලේඛණගත කර තිබේ .

අසාධු ලේඛණයට තවත් සංවිධාන 03 ක් ද එක් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත .

ඒ අනුව දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය එලෙස අසාධු ලේඛණගත කර ඇත .

ජනාධිපතිව පිළිගන්න කාදිනල්ගෙන් කොන්දේසියක් !

ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ඒ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි .

ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි ද කාදිනල් හිමි පවසයි .

කාදිනල් හිමි මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදල පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබාදීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) පැවති උත්සවයට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස පාප්වහන්සේ ද කිහිප වරක් ඉල්ලා ඇතත්, ශ්‍රීලංකාවේ යුක්තිය ඉටුවීම ඉතාමත් දුර්ලභ බවත් එයට හේතුව දේශපාලන නායකයන් නීතියට ඇඟිලි ගැසීම බවත් කාදිනල් පැවසීය .

පොලීසියේ උසස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සුදානම් ව සිටියදී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ල කර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බවත් කාදිනල් හිමි වැඩිදුරටත් පැවසීය .

සර්ව පාක්ෂික ආණ්ඩුවකට : විපක්ෂයේ 16ක් ආණ්ඩුවට !

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 16 දෙනෙක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලනඅංශ ආරංචි මාර්ග කියයි

එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන් වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වෙතත් එළඹෙන සතිය අවසානයේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගන්නා බවත් ඉන් පසුව එන සතියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවත් කම්කරැ අමාත්‍ය මනූෂ නානායක්කාර දේශයට පැවසීය.

-Deshaya

චීන නැව ගැන විදෙස් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !

ශ‍්‍රී ලංකාව බලා එන ‘යුවාන් වැන්ග් 5’ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

455 2 768x1494

22 නම් මොනාද ? රනිල් රාජපක්ෂ මාව ඇරෙස්ට් කරං ඩෝ !

 සමහර දේශපාලන සරණාගතයන්ගේ මේ මොහොතේ වෛරයට බඳුන්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඒ වෛරය කොතරම් ද කියතොත් ඔවුන් ජනාධිපතිවරයා හඳුන්වන්නේ රනිල් රාජපක්ෂ නමිනි.

ඔවුන්ගේ මූලික ආරෝව ලෙස ප්‍රසිද්ධ චෝදනාව වන්නේ රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරනවා කියාය. ඔවුන් නොකියන්නේ රාජපක්ෂවරුන් එල්ලා මරන්න සඵත වූ දේශපාලනඥයා කවුද කියාය. එසේම නොදන්නා අරගල කරන්න ගිහින් වරිගේ නහගත් පිරිසක්ද ඔය පස්සේ වැටී " මරුවා සමග වාසේ" රංගනයකට බැස සිටිනු පෙනෙන්නට ඇත. ඒ හැසිරීම පෙන්නුම් කරන්නේ " අඩෝ රනිල් රාජපක්ෂ ! මාව ඇරෙස්ට් කරං ඩෝ !" වැනි අර්ථයක් මිස ඊට වඩා දෙයක් නොවේය. ඒ නම් අර්බුදය විසඳීමට මැදිහත් වීම හෝ අරගලය පන්නරය තැබීම කෙසේ වෙතත් ,දේශසීමාවෙන් එපිට, දේශපාලන සරණාගත බව ලබන්න බව පැහැදිලි ය.
 
🎯 ජනාධිපති රනිල් රාජපක්ෂ !
 
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුව රනිල් රාජපක්ෂ වන්නේ කෙසේද ? ඊට මේ කඳවුරේ ඇති අතාර්කික කරුණු දැක්වීම නම්, රනිල් පොදුජන පෙරමුණ පාර්ශ්වයේ එකඟතාව ඇතුලේ ජනාධිපති වීමය.
 
බල දේශපාලනය ගැන නොදන්නා මේ තොත්ත බබාලා , මොත්තේ දාන්නේ ජනතාවටය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ, රාජපක්ෂ කඳවුරේ සහයෙන් බව ඇත්තය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා කියා "රාජපක්ෂ වාදය" වැළඳ ගත්තේ නැත. ඊනියා දේශප්‍රේමය, අන්ත ජාතිවාදී , ආගම්වාදී තක්කඩි දේශපාලනය රනිල් පොරවා ගත්තා නම් අන්න එහෙනම් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ වෙනුවට ජනාධිපති  රනිල් රාජපක්ෂ යන්න වලංගුය.
 
අඩුම තරමේ පොදුජන පෙරමුණේ ජනවරම හිමිවූ 20 වන ව්‍යවස්ථා සංශෝධනය රකින්න ජනාධිපති  වික්‍රමසිංහ කටයුතු කළා නම් රනිල් රාජපක්ෂ නම වලංගුය. 
 
අරගලය අස්සේ තම තමන්ගේ පෞද්ගලික දේශපාලන ඇජෙන්ඩා සහ ප්‍රොජෙක්ට් අවුල් කරගෙන ඉන්න දේශපාලන සරණාගතයන් තවත් අසරණ වෙන්නේ වික්‍රමසිංහ ජනාධිපති විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත  ගැසට් කර පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති නිසාය.
 
ඒ කියන්නේ  20 වන සංශෝධනය ගෙනෙමින් සහ එය වලංගු කරගන්නට රාජපක්ෂවරුන් ගොඩනැගූ මිත්‍යාව ඒ කඳවුරේ තබා කුඩු කරන්න ජනාධිපති වික්‍රමසිංහ සමත්ව ඇත. පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් නව ජනාධිපති ගේ දර්ශනය පිළිගෙන ඇත. එසේ නම් දැන් ඇත්තේ එතනින් ඉදිරියට යාම නොවේද ?
 
🎯 බලයෙන් ඔද්දල් වෙන ජනාධිපති වෙනුවට බලතල අත්හරින ජනාධිපති !
 
සාමාන්‍යයෙන්  විධායක ජනාධිපති ධූරය ලැබූ විට එකී පුද්ගලයාගේ ඔලුව අවුල් වෙන කතාවක් ඇත. එයින් කියන්නේ මෙරට විධායක ජනාධිපති සතු අසීමිත බලය හේතුවෙන් ඔහු උම්මත්තක වන බවය. බලය පිස්සුවක් වන බවය.
 
ඉතිහාසයේ  ජනාධිපති අපේක්ෂකයන් ජනාධිපතිවරණ වේදිකාවේ  විධායක ජනාධිපති ධූරය අවසන් කරන්න පොරොන්දු දී, ජනාධිපතිවරණය අවසානයේදී එය කඩවුණු පොරොන්දුවක් කරේ ඒ නිසාය. කොටින්ම ගෝඨාභය රාජපක්ෂ නම් බලය ඉල්ලුවේම විධායකය ශක්තිමත් කරන්න ය. 
එහෙත් ඒ කඳවුරේ සහයෙන් බලය තහවුරු කරගත් ජනාධිපති වික්‍රමසිංහ , 22 හරහා විධායකය සතු බලතල තවදුරටත් කප්පාදු කිරීමට යොමුව ඇත. ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට ඉහළින් විධායකය තිබිය යුතුය කියන මිත්‍යාව කුඩු කිරීම අරඹා ඇත. විධායකය සතු අසීමිත බලය පාර්ලිමේන්තුව වෙත පවරා ගත යුතුය යන දීර්ඝ කාළීන අරගලය තමන් ජනාධිපති ලෙස පත්ව ඉදිරියට ගෙන ඇත.
 
මේ 22 ව්‍යවස්ථා සංශෝධනය 20 තිබූ පසුගාමී සියල්ල ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නොව  , වැදගත් දේ වන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඉදිරියට ගිය සංශෝධන මේ තුළ සිදුකර තිබීමය. එහිත් විශේෂත්වය වෙන්නේ , ජනාධිපතිගේ විධායක බලතල තවදුරටත් කප්පාදු කර එම බලය පාර්ලිමේන්තුව සතු කිරීමය.
 
🎯 19න් එහාට ගිය 22 ගැන මේ කරුණු දන්නවාද ?
 
මේ පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් සිදුකර තිබූ කරුණු පැහැදිලි කිරීමක්.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (41) (ආ) අවස්ථාව):

අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාමාජිකයන් ලෙස පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව තෝරා ගැනීම වෙනුවට,

I) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා ගැනීම.

2) විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අයත් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරු විසින් බහුතරයේ එකඟත්වය මත මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.

3) ඉහත කී දේශපාලන කණ්ඩායම් දෙක නොවන අනෙකුත් කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු  තෝරා පත්කර ගැනීම.

ආ) සමාජයෙන් පත් කරනු ලබන තිදෙනා පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමකින් තොරව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇතිව නිර්පාක්ෂික විද්වතුන් පත්කර ගැනීම.

1) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම (41) ඇ)  ව්‍යවස්ථාව)

මහ බැංකුවේ අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය. ( මූල්‍ය මණ්ඩලයේ නිල නොවන සාමාජිකයන් පත් කිරීමේදී එසේ අනුමැතිය ලබා ගත යුතු බවට ප්‍රතිපාදන 2002 මූල්‍ය මණ්ඩල සංශෝධන පනතේ ඇතුළත්ව ඇත. )

2) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවකට ජනාධිපතිවරයාට අන්තර්කාලීන ජාන මගින් ආරක්ෂක මහවැලි සහ පරිසර අමාත්‍යාංශය දැරිය හැකි ව තිබුණි. 22 වන සංශෝධනය මගින් එය ආරක්ෂක අමාත්‍යංශයට පමණක් සීමා කර ඇත.

3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලබන්නන් ගේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට දින හතක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. (121(1) ව්‍යවස්ථාව) 22වන සංශෝධනය මගින් එය දින 14ක් දක්වා දිගු කිරීම මගින් ව්‍යවස්ථා සම්පාදනයට මහජනතාවට සහභාගි වීමට ඇති ඉඩකඩ පුළුල් වී ඇත.

4) දූෂණයට එරෙහි නීති

විසි දෙවන සංශෝධනය මගින් ශ්‍රී ලංකාව පාර්ශවයක් වන දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කරන බවට ඇති ප්‍රතිපාදන අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එමගින් අල්ලස් දූෂණ කොමිෂන් සභා නීතිය සහ වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය යාවත්කාලීන වනු ඇත.
 
5) ලේකම්වරුන්ගේ ධූරකාලය (52 ව්‍යවස්ථාව)

52(3) අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ධූර දැරීම අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට නතර විය යුතු නමුත් යෝජිත සංශෝධනය අනුව ඔවුන් දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇත.

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම නුසුදුසු භාවය ඇතුළත් කොට ඇත.
 
🎯 20 වුණත් හොඳම ටික 22 ට !

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් ගුණාංග රඳවා තබා ගැනීම:

1) 78(3) ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ දී පනත් කෙටුම්පතක ට සංශෝධන ඉදිරිපත් කිරිමේ දී පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිර සංශෝධනයක් ඇතුළත් නොකළ යුතුය යන ප්‍රතිපාදන එලෙස ම පවත්වාගෙන යනු ලැබේ.

2) 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් ශ්‍රේෂ්ඨාකධිරණය ඉදිරිපත් කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයකට ලක්කළ හැකි බවට ප්‍රතිපදාන සැලසුණි.

එහෙත් 20 වන සංශෝදධනයෙන් හඳුන්වා දුන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(3) අනුව ජනාධිපතිවරයාගේ විෂයකට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කුමන හෝ අධිකරණ බලය ඇති අධිකරණයක නඩු පැවරීමේ බලය ඇති බවට පුළුල් කර ඇත. එය එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.

3) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂඨාකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 ක්  දක්වා ද වැඩි කරන ලදී. එය එසේම පවත්වා ගෙන යනු ඇත.
 
මේ ඇත්තටම 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොවේය. නමුත්  විධායක ජනාධිපති ධූරය ලැබූ අනෙක් සේරටම වෙනස් ගමනක් වෙනුවෙන් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ පදනම් සකස් කරන බව තේරුම් ගන්න බාධාවක් නැත.
 
22 යනුම තමන්ට ව්‍යවස්ථාව මගින් මේ මොහොතේ පැවරී ඇති බලය , එහි අසීමිත බලතල , සංවරණ සහ තුළන සම්බන්ධ කඩා ඉහිරවන අත්තනෝමතිකත්වය ඉවත් කරමින් සම්ප්‍රදායික ජනාධිපති භූමිකාවෙන් ඉවතට යාමකි. 
 
 අසීරුම අවස්ථාවේ පවා ඔහු සීරුවෙන් රැකගත්, දර්ශනය , ප්‍රතිපත්තිය මේ ලෙස හෝ ලැබුණු අවස්ථාවේ  ඉදිරියට ගැනීම වරදක්ද ? රාජපක්ෂවරුන් කාලයක් තිස්සේ ගොඩනැගූ මිත්‍යාව ඒ කඳවුරේ සහයෙන් හෙළිකර , ඒවා කුඩු කිරීම වරදක්ද ? 
 
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ට, රනිල් රාජපක්ෂ නම තැබූවන් , බොරු හුරතල් නැතුව මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනය. නැත්නම් පිළිගන්න වෙන්නේ මේ උදවියට ඇත්තේ පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්නයක් බවය. සැබවින්ම රාජපක්ෂවරුන් ගොඩනැගූ රාජපක්ෂවාදයේ නියම ආරක්ෂකයන් වීමට මේ හැර තවත් සුදුසුකම් මොකටද ?
එස්.එල්.ශ්‍යාම් 
 

බොර තෙල් නැවක් අදත් එනවා : QR සිස්ටම් කැඩුවොත් බලාගෙනයි !

බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද(13) රාත්‍රී කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි .

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ හෙට (14) එහි ප්‍රමිති කටයුතු සිදුකෙරෙන බවය.

එසේම බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් රැගත් නෞකාවක් අගෝස්තු 23-29 අතර පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි .

මෙම නෞකා දෙකම රුසියානු යුරල්ස් බොරතෙල් වන අතර කඩිනමින් පිරිපහදුව ආරම්භ කිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මේ අතර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද උදෑසන කොලොන්නාව ඛණිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේදී පවත්වන ලදි.

මෙහිදී සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කිරීමත් එය පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදු කර ඇති බව වාර්තා වෙයි .

QR ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි .

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර,කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

සතියේ දින 05 ම පාසල් යන්න : 15 සිට ලෑස්ති වෙන්න !

එළැඹෙන අගෝස්තු 15 (සඳුදා ) සිට සතියේ දින 5 සුපුරුදු ආකාරයට පාසල් පැවැත්වීමට තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමත්‍යංශයේද පවත්වා ඇත .

එහිදී ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙන බවත් වාර්තා වෙයි .

එමෙන්ම සඳුදා සිට ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බවත් දැනුම්දී ඇත .

මේ අතර ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙයි .

පසුගිය කාලයක් තිස්සේ පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුනොවනු අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි විවේචන එල්ල විය.

එසේම ආර්ථික අර්බුදය හමුවේ පවා පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට පියවර ගැනීම ජනතාව තුළ ධනාත්මක එළැඹුම් ඇතිකරන්නක් බව විචාරක මතය වී තිබේ.

ඔවුන් පවසන්නේ තම කඩාකප්පල් වූ දෛනික ජීවිතය නැවත ඇරඹීම හරහා මිනිසුන් අර්බුදය හමුවේ කඩාවැටීම වෙනුවට අර්බුදය සමනය කරගන්න සක්‍රීය දායකත්වයක් සපයනු ඇති බවය.

රන්ජන්ගේ නිදහස ඉක්මන් වෙයි !

සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපි ලේඛන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , රංජන් රාමනායක අත්සන් තබා ඇති බව වාර්තා වෙයි .

එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කර ඇත.

රන්ජන් රාමනායක සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් පසුගිය සමයේ දිගින් දිගටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලා සිටිනු ලැබුවත් ඒ කෙරෙහි ඔහු අවධානය යොමුකළේ නැත.

කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලනය අත්හැර රටින් පළායාමෙන් පසුව ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ බලය ලද සැනින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නිදහස වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත දැනුම්දී තිබිණ .

ඒ අනුව නිසි ක්‍රමවේදය අනුව රන්ජන් රාමනායක ගේ නිදහස් වීමේ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර තිබිණ .

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන ( සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කරයි !

ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරීම සිදුකෙරෙන ඛනිජ තෙල් විශේෂ විධිවිධාන ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ගේ උපදෙස් අනුව නිකුත්කර තිබේ.

මේ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණ .

ෆොනී ආයෙත් අරගලයට ගිනි පිඹියි !

මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නැති බවත් අරගලය ප්‍රතිසංවිධානය විය යුතුව ඇති අතර ඊට කාලයක් ගතවනු ඇති බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි .

එසේම අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් ඔහු පවසයි .

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

අරගලයේ දරුවන් මේ රට නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ දැරූ බවත් රටේ සියලු දෙනා ඒ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම උදව් උපකාර කළ යුතු බවත් ඔහු එහිදී පැවසීය .

දරුවන්ගෙන් පළිගන්න එපා යැයි තමා ජනාධිපතිවරයාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලීමක් කරන බව පැවසූ හදිසි නීතිය ට මුවා වී දරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයෙන් පැපොල් කෑල්ලක් කාපු දරුවනුත් අද අත්අඩංගුවට ගන්නා බවට ඔහු චෝදනා කළේය.

මේ රටේ අනාගතය විනාශ කළේ රාජපක්ෂවරුන් බවත් විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට දූෂිත දේශපාලඥයන්ගේ දේපළ රටට නැවත ගෙන්වා ගැනීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

අද රටේ පෝලිම් නැත්තේ තෙල් නැති නිසා බවද ඔහු සඳහන් කළේය.

පොහොට්ටු මන්ත්‍රීවරුන් ෆීල්ඩ් මාර්ෂල් ගැන මීටරෙන් !

මේ අතර අරගලකරුවන් උසිගන්වමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි අවධානයකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අරගලය අස්සේ ෆීල්ඩ් මාර්ෂල් ලෙස නිල ඇඳුමක් සහ වරප්‍රසාද භුක්ති විඳින සරත් ෆොන්සේකා හමුදාවට පවා නිවේදන නිකුත්කරමින් සිය පෞද්ගලික බල දේශපාලන උවමනාවන් වලට කටයුතු කළ බවටත් ඔවුන් චෝදනා නගයි.

මේ ආකාරයට තවදුරටත් ගෞරවනීය නිලයක් දරන අතරේ ආරක්ෂක හමුදා වෙත රටේ සිවිල් තත්ත්වයක් ඇතිවන පදනමේ ප්‍රකාශ කිරීමට සරත් ෆොන්සේකා ක්‍රියා කළහොත් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ : සභාපති හර්ෂ !

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි .

මීට පෙර එම ධුරය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසිනි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කිරීමත් සමඟ එහි තිබූ කමිටු හැත්තෑවකට ආසන සංඛ්‍යාවක් අහෝසි වූ අතර පාර්ලිමේන්තුව යලි රැස් කිරීමෙන් පසු එම කාරක සභා පත් කිරීම මේ දිනවල සිදුකරමින් ඇත.

කෙසේ වුවත් කෝප් සහ කෝපා වැනි කමිටු සඳහා තවමත් සභාපති හෝ සාමාජිකයන් නම් කර නොමැත.

හර්ෂට වැඩ පෙන්නන්න අවස්ථාවක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා හට සිය හැකියාව ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අවස්ථාවක් හිමිව ඇති බවයි.

එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් , එහි නායක සජිත් ප්‍රේමදාස මෙන් කොහෙන්හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැටලෙන්න කොණක් හොයනු වෙනුවට වෘත්තීයමය දේශපාලන පරිචයක් පෙන්වාදීමේ වගකීම හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ වගකීම බවත් ඔවුන් පවසයි.

එසේම පසුගිය සමයේ අඛණ්ඩව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික අර්බුදය විසඳීමට සිදුකරන යෝජනා සියල්ල අගය කරමින් ප්‍රසංශාත්මකව අදහස් දක්වමින් සිටිය බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

උදයංගගේ විදෙස් ගමන් තහනම තවදුරටත් !

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග හට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (12) ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙයි .

මෙරට නියෝජනය කරමින් වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍යව ඇති හෙයින් අධිකරණය මඟින් පනවා ඇති එම ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන මෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ .

කෙසේ වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සැකකරු මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශ ලබා ලබාදී නැති බවත් අවශ්‍ය ලේඛන නොමැති බැවින් තමන්ට එසේ ප්‍රකාශ දිය නොහැකි බව සඳහන් කර ඇති බවය.

මේ හේතුවෙන් සැකකරු විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධාවක් වන බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබන දාහත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කරමින් සැකකරුගේ විදෙස් ගතවීමේ අවසරය පිලිබද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත .

චීන නැවට හම්බන්තොට වරායට එන්න අවසර දීලා ?

යුවාන් වැන් 5’ චීන නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ දීම සඳහා පසුගියදා රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ජනාධිපතිවරයා ද එකඟතාවය පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග ද පවසයි .

එසේම මෙකී නෞකාව ලංකාවේ හම්බන්තොට වරායට ඇතුල්වීමෙන් ඉන්දියාවට ඇතිවන තර්ජනය කුමක්දැයි ලිඛිතව දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි .

නමුත් එම ඉල්ලීමට ඉන්දියාව විසින් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බවත් දැනගන්නට ඇත .

එසේම චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනියද ජනාධිපතිවරයාට සිය කනස්සල්ල පළකර ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන් ලෙසයි.

එමෙන්ම එම පණිවිඩය අඟහරුවාදා දිනයේ විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දීය රාජතාන්ත්‍රිකයන් වෙතද දැනුම් දී ඇත.

මෙම දෙපාර්ශ්වය ම ඒ පිලිබද පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ නොකළ නිසා ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙම නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට ඇතුළු වී එහි නැංගුරම් යාමට නියමිතව තිබේ.

මේ වන විටත් එය අඩාල කරන ලද වේගයකින් හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරමින් ඇති බවත් වාර්තා වෙයි .

 

රවී වැඩට බහියි !

2019 මහ චන්දෙන් UNP එක නන්නත්තාර වෙලා ගියාට පස්සේ , දේශපාලනේ පැත්තක තියල පවුලේ බිස්නස්වලට බැහැල හිටපු රවී කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා ඔන්න ආයෙත් පොලිටිකල් ෆීල්ඩ් එකේ පුවත් මවන්නෙක් වෙලා.

අයෝජනකයෝ කීප දෙනෙකුත් අරන් ප්‍රයිවෙට් හෙලිකොප්ටරෙකින් ඊයේ පෙරේදා මන්නාරමට ගියපු කතාව ශෝෂල් මිඩියා එකේ වයිරල් වෙලත් තිබුනා.

ආරංචියේ හැටියට ලංකාවේ ආයෝජකයෝ ගේන වැඩේ ලීඩ් කරන්න කියල , කියල තියන්නේ ලොක්ක ලු. ඒ කියන්නේ ඩොලර් ගේන අරගලය ...

ඒ එක්කම ලොකු නඩේකුත් අරන් කතරගම වන්දනාවේ ගිහින් තිබුනා. වන්දනාවේ ගිය එක නෙමෙයි වැඩේ , පොහොට්ටුවේ දිලුම් අමුණුගම ත් රවී එක්ක කතරගම ගමනට එකතුවෙලා හිටිය එක.

දිලුම්ගේ අම්ම තාත්ත , එයාගේ අධාරකාරයෝ කීප දෙනෙකුත් ඔය වන්දනා ගමනට එකතුවෙලා හිටිය.

ජුලි 20 පාර්ලිමේන්තුවේ තිබුන ජනාධිපති චන්දෙට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙච්ච වෙලාවේ රවියි, දිලුම් අමුනුගමයි කතරගම දෙයියන්ට බාරයක් වෙලා.. ඒ බාරේ ඔප්පු කරන්න ලු කතරගම ගියා කියන්නේ..

ඔය චන්දෙ වෙලාවේ රවී, CWC එකේ ජීවන් තොන්ඩමන් එක්කත් බාරයක් වෙලා. ඔන්න එක ඔප්පුකරන්න තිරුපති යන කතාවකුත් කියනවා.. CWC එකේ සභාපති සෙන්දිලුත් යනවලු.. ඔය චන්දෙට ඒ දෙන්නත් බැහැලාම වැඩ කළා.

දිලුම්ටයි - ජීවන් ටයි- සෙන්දීල් ටයි කොහොම වුනත්, රවිට නම් දැන් තියාම බාර හාර වල ප්‍රතිපල ලැබිච්ච පාටක් තමයි පේන්න තියන්නේ..

මොකද දැන් තියාම ලංකාවට ඩොලර් ගේන අරගලේ ලොකු වැඩකොටසක් රවිට පවරලා කියල ආරංචියි..

ඒ විතරක් නෙමෙයි , ඊළඟ අයවැය ට යෝජනා ගණනාවක් ම ලොක්කට දීල තියෙන්නෙත් රවී ලු.

ඒ අස්සේ බයිසිකල් අරගලේ ඉස්සරහට ගෙනියන්නත් යෝජනාවක් කරලා කියල මුදල් අමාත්‍යංශය පැත්තෙන් ආරංචි වෙනවා.

රවී , යෝජනා කරලලු, පුස් බයිසිකල් පිටරටින් ගෙන්නද්දී ගහන සියයට 30ක බද්ද ඉවත් කලොත් බයිසිකල් අරගලේ ට හයියක් කියල.

දේශපාලන වාර්තාකරු

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නවා : ජනාධිපති රනිල් !

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළයුතු බව ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් දක්වා සිටියේ ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ (12) පස්වරුවේ පැවති උත්සවය අමතමිනි .

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය මෙසේද සඳහන් කර ඇත .

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියඩන නිලමේ නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවය.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපතිතුමා ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය
“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ උතුම් වගකීම ඉෂ්ට කිරීම ගැන මම පළමුවෙන්ම දියවඩන නිලමේතුමාට ප්‍රශංසා කරනවා. මේ ඓතිහාසික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට හැකි වූයේ වසර කිහිපයකට පසුවයි. පසුගිය වසර දෙකේ එය උත්කර්ෂවත්ව පවත්වන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ.

මෙවර ඉතා අලංකාරවත් සහ සංවිධානාත්මකව පෙරහර පැවැත්වුණා. ඒ වගේම විශාල ජනතාවක් ඊට එක් වුණා. ඒ කටයුතු සංවිධානය කළ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

රටට අලංකාරවත් පෙරහරක් නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සමගම දෙවිනුවර සිට නල්ලූර් දක්වා පෙරහර පැවැත්වුවා. සතර මහා දෙවිවරුන්ට පමණක් නොව “ශිව” දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පෙරහර පැවැත්වුණා. ඒ හැම පෙරහරකටම විශාල ජනතාවක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ පෙරහර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. හැම ප්‍රදේශයකම ජනතාව නුවරට එකතු වෙන්නේත් දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහරින් වැඩම කරවන්නේත් උන්වහන්සේගේන් අපේ රටට ආරක්ෂාව ඉල්ලලා. දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලලා. මේ රට විපතින් බේරගන්න කියලා කරන ඉල්ලීම කරමින්. ඒක අපේ රටේ සම්ප්‍රදායට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ඉතා වැදගත් මාසයක් ලෙස ඇසළ මාසය අපි සලකනවා.

මෙවර පෙරහර මංගල්‍ය වැදගත් වන්නේ එයා ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි. අනෙක් අතට මේ රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැම දෙනාටම බලපාලා තිබෙනවා. අපි මෙතනින් මේ කාලය අවසන් කළ යුතුයි. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන, අපි සූදානම් වෙන්න ඕන ඉදිරියට ඇවිල්ලා එපේ රටට අලුත් ආර්ථිකයක් ගොඩනගා ගන්න.

මට කිසිම සැකයක් නැහැ දළදා වහන්සේ උදෙසා මහනුවර පැවැත්වූ මේ ඇසළ මහා පෙරහර, රටේ පැවැත්වූ අනෙකුත් පෙරහර ඇතුළු ආගමික උත්සව නිසා අපට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. එය අපට විශාල ශක්තියක්, ආරක්ෂාවක්. මගේ ප්‍රාර්ථනාව මේ විපතින් රටේ ආර්ථිකය ගොඩගැනීම. මේ ආගමික උත්සවවලින් ලැබෙන ආශිර්වාදය ඊට විශාල ශක්තියක්.
ඒ ශක්තිය සමග අපි ඉදිරියට යමු. රටට හොඳ අනාගතයක් ඇති කරමු. දන්ත ධාතුන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ “නා” පැළයක් රෝපණය කිරීම රනිල් වික්‍රමසිංහ ජනාධිපති අතින් සිදු විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර නගරාධිපති කේසර සේනානායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සතර මහා දේවාල හා පිටිසර දේවාල නියෝජනය කරන බස්නායක නිලමේවරු හා සෙසු නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Page 212 of 383